ටෝකියෝ මැරතන් අවලංගු කරයි

චීනයෙන් ආරම්රාභ වූ මාරාන්තික කොරෝනා වයිරසය ජපානය තුළ ද ව්‍යාප්ත වීම නිසා මාර්තු 1 වැනිදා ආරම්භ වීමට තිබු ටෝකියෝ මැරතන් තරගාවලියේ ආධුනිකයන් වෙනුවෙන් පැවැත්වෙන ධාවන තරගාවලිය අවලංගු කිරීමට එහි බලධාරීහු ඊයේ (17) පියවර ගෙන ඇත. කොරෝනා වයිරසය පෙරට වඩා වේගයෙන් ජපානය තුළද ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි ජපන් රජය නිවේදනය කිරීමත් සමඟ සංවිධායකයෝ මෙම තීරණයට පැමිණ ඇත.

ටෝකියෝ මැරතන් පදනම මෙවර ධාවකයන් 38,000ක් පමණ බලාපොරොත්තු වූ බවද පවසයි.
මේ අතර පසුගිය දින කිහිපය තුළ ටෝකියෝ නුවරින් කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු පිළිබඳ සිදුවීම් කිහිපයක් වර්තා වීම හේතුවෙන් මෙම තීරණය ඉක්මන් වූ බවද ටෝකියෝ මැරතන් සන්විදායකයින් පවසයි.

කෙසේ නමුත් මෙම තීරණයෙන් රෝද පුටු භාවිත කරමින් මැරතන් තරගයට එක්වන ධාවකයන් ඇතුළු ප්‍රවීණ ධාවකයන්ට බලපෑමක් සිදු නොවන බව ද සංවිධායකයෝ කීහ. රෝද පුටු මැරතන් තරගකරැවන්ට ඒ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේ මාර්තු 1 වැනිදා පැවැත්වීමට නියමිත මැරතන් ධාවන තරගයට ලියාපදිංචි වූ ධාවකයන් දස දහස් ගණනකින් ධාවකයන් 200කට පමණි.

පසුගිය සතියේදී ටෝකියෝ මැරතන් තරගයට ඉදිරිපත් නොවන්නැයි එහි සංවිධායකයෝ චීන තරගකරැවන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ වසරේ පැවැත්වෙන ධාවන තරගයට ලියාපදිංචි වූ චීන තරගකරැවන් ද ඇතුළුව ආධුනික ධාවකයන්ට 2021 වසරේ පැවැත්වෙන ටෝකියෝ මැරතන් තරගයට සහභාගී වීමට අවස්ථාව උදා වේ.
මේ වසරේ පැවැත්වෙන මැරතන් ධාවන තරගයට ගෙවූ ඇතුළු වීමේ ගාස්තුව නැවත නොගෙවන බව ද සංවිධායකයෝ කීහ.

අද වන විට කොරෝනා වයිරසය ආසාදනය වීමේ සිදුවීම් 65ක් පමණ ජපානයෙන් වාර්තා වී ඇත. ඊට අමතරව ජපානයට ආසන්නයේ රඳවා ඇති ‘ඩයමන්ඩ් ප්‍රින්සස්’ නෞකාවේ සිය ගණනකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෙබරවාරි 23 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබූ ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ උපන්දිනය වෙනුවෙන් උත්සවයක් ද අවලංගු කර තිබේ.

Comments are closed.