රුපියල් දාහේ පුරසාරම් – ඇවිත් බලන්න මේ පාරෙන්

10

තුවක්කු පත්තු වන හඬ ඇසිණිි. රතු කමිසය රතු රුධිරයෙන් තෙමී නැහැවී ගියේ ය. මොහොතකින් ගෝවින්දන් නම් වතු කම්කරුවාගේ අවසන් සුසුම වා තලයට මුසු විය. ඔව්, 1940 සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේ වතු කම්කරු වැටුප් වැඩිකර ගැනීමේ අරගලයක දී පොලිස් නිලධාරියකුගේ තුවක්කු උණ්ඩයට ඒ තරුණ කම්කරුවා ජීවිතය පූජා කළේ ය. එදා සිදු වූ එම අරගලයෙන් පසු වතු කම්කරුවාගේ වැටුප ශත 16කින් වැඩි කරන ලදී .

ශතවර්ෂ දෙකක පමණ ඉතිහාසයක් ඇති මෙරට වතු කම්කරු ප‍්‍රජාවගේ ජීවිත පිළිබඳ අධ්‍යයනයේ දී ප‍්‍රධාන වශයෙන් දක්නට ලැබුණු කාරණා දෙකක් ලෙස ඔවුන්ගේ ආර්ථික අර්බුදය හා වැටුප් අරගලය සඳහන් කළ හැකි ය. එම ඉතිහාසයට එක් වන අලූත්ම පරිච්ඡේදය ‘රුපියල් දහසේ අරගලය’ ලෙස සඳහන් කළ හැකි ය. එහෙත් ජනමාධ්‍යකරුවෝ එම කම්කරුවන්ගේ එසවුණු දෑත් යටපත් කරමින් පාලක අවශ්‍යතා අනුව සිය මාධ්‍ය හසුරුවා ගනිති.

2018 ඔක්තෝබර් මස 28 දින ගාලූමුවදොර දී පැවැති ‘කළු විරෝධය’ ලෙස හැඳින් වූ තරුණ වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ වැටුප් අරගලය එවකට පැවති යහපාලන ආණ්ඩුව තිගැස්සී යාමට තරම් ප‍්‍රබල විය. එයට කම්කරු සංගම්, වතු සමාගම් පවා බියපත් විය. එහෙත් යටත්වීම ප‍්‍රතික්ෂේප කළ ඒ සටන්කාමීන්ගේ හඬ නිසි සැලසුම් සහගත නායකත්වයක මඟපෙන්වීමක් නොමැති වීම නිසා ම යටපත්ව ගියේ ය. මෙම රුපියල් දහසේ වැටුප් අරගලය ආරම්භයේ පටන්ම කඹ ඇදිලිවලට ලක් විය.

පසුගිය කාලයේ පැවැති ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක වේදිකාවල දී වතුකරයේ ජනතාවගේ ඡන්දය ඩැහැ ගැනීම සඳහා ‘අපි පාලන බලයට පැමිණි විට වැටුප් වැඩි කරන්නෙමු’ යි යන්න අපේක්ෂකයන්ගේ ප‍්‍රබල පොරොන්දු පාඨයක් විය. සිහින ලෝකයක පාවෙමින් සිටි සජිත් පේ‍්‍රමදාස මහතා තමන් රුපියල් දහසටත් වඩා වැඩියෙන් වැටුප් ඉහළ නංවන්නේ යැයි හඬ නැඟී ය. එම ප‍්‍රකාශයට වශී වූ වතුකරයේ ජනතාවගෙන් බහුතරයක් ඔහුට සිය ඡන්දය ලබා දුන්හ. අනෙක් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරුමුගම් තොණ්ඩමන් මහතා සංවිධානය කළ වේදිකාවකට ගොඩවැදී තමන් ද වතු කම්කරු වැටුප ඉක්මනින් ම ඉහළ නැංවීමට සූදානම් යැයි පුරසාරම් දෙසාබෑවේ ය.

එහෙත්, අද වන තුරුත් වැටුප් වැඩි වූයේ නැත. ඔවුන්ගේ පොරොන්දු හිස් වාග් ප‍්‍රයෝග පමණක් ම විය.

1992 වසරේ දී රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා විසින් තේ වතු 449ක් බහුජාතික සමාගම් 22කට අත්පත් කර දුන් පසු ‘එකඟතා ගිවිසුම්’ නමැති ජනතාව ‘ගොනාට ඇන්දවීමේ’ ගිවිසුම් ආරම්භ විය. ඉන් පසු වතු කම්කරුවෝ දෛනික කුලීකරුවන්ගේ තත්ත්වයට පත් වූහ.

ඒ අනුව 2000 වසරේ දී වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 101.00ක් ලෙසට නියම විය. 2002 වන විට රුපියල් 121.00ක් විය. එනම් වසර දෙකක දී වැඩි වී තිබෙන්නේ රුපියල් 20ක් පමණි.

2013 වසර වන විට දෛනික වැටුප රුපියල් 450.00ක් වූ අතර 2016 වසරේ දී අත්සන් තබන ලද ගිවිසුමකට අනුව තේ සහ රබර් කම්කරුවන්ට නියම කරන ලද රුපියල් 620.00ක මුළු දෛනික වැටුප රුපියල් 730.00ක් දක්වා වැඩි කෙරිණි. මෙම ගිවිසුමට අනුව කම්කරුවකු වසරකට දින 300ක් වැඩ කළ යුතු විය. මෙම අවස්ථාවේ මූලික වැටුප රුපියල් 500.00කි. ඒ අනුව වසර 17ක දී මූලික වැටුප වැඩි වී තිබෙන්නේ, රුපියල් 399.00ක් පමණි. එනම් වසරක දී අවම වශයෙන් රුපියල් 24.00කි.

වසර දෙකකට පසු එනම් 2018දී එකඟතා ගිවිසුමකට අත්සන් කළ යුතු විය. එහෙත් සුපුරුදු පරිදි ම එය ප‍්‍රමාද විය. පාලකයෝ තම ‘ඞීල්’ ඉටු කර ගැනීමේ අරමුණින් වතු සමාගම්වලට එරෙහිව ජනතාව උසිගන්වා ‘ව්‍යාජ වැඩි වැටුප් අරගල’ පෙරට තබමින් කම්කරුවන් පාවා දුන්හ. මූලික දෛනික වැටුප රුපියල් 1,000.00ක් කරන්නැයි බල කර අරගල කළ වතු කම්කරුවන්ට රුපියල් 700.00ක් පමණක් ලබා දී වතුකරයේ ව්‍යාජ කම්කරු නායකයෝ එම ජනතාව රැුවටූහ. ආර්ථික අර්බුදයේ පතුලේ ම සිටි වතු කම්කරුවාට මූලික දෛනික වැටුප ලෙස අවම වශයෙන් රුපියල් 1,300.00ක් වත් හිමිවිය යුතු තත්ත්වයක් තුළ ඔවුන් මෙලෙස මුළාවට පත් කෙරිණි.

ශ‍්‍රී ලංකා කම්කරු කොන්ග‍්‍රසය, ජාතික වතු කම්කරු සංගමය සහ ප‍්‍රධාන වතු ආශ‍්‍රිත කම්කරු සංගම්වල නායකයෝ මෙම අහිංසක ජනතාව තවදුරටත් මුළා කරමින් ‘සාමාජික ගාස්තු’ යැයි පවසා එම දෛනික වැටුපෙන් කොටසක්ද ඩැහැ ගනිති.

පළාත් පාලන මැතිවරණය පැවැති වකවානුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000.00ක් කළ යුතු යැයි අරගල කළ ශ‍්‍රී ලංකා කම්කරු කොන්ග‍්‍රසය මැතිවරණයෙන් ජය ලබා ගත්තේය. පසුව ජනාධිපතිවරණය පැමිණි විට රාජපක්ෂවරුන්ට එකතු වෙමින් යළි රුපියල් දහස දික් කර හඬ නැඟීය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජයග‍්‍රහණය කළ ද, වෙනසක් සිදු වූයේ නැත. වැටුප තවමත් රුපියල් දහස වූයේ නැත. එළැඹෙන මාර්තු මාසයෙන් පසු මහ මැතිවරණය පැමිණෙන බැවින්, තොණ්ඩමන්ලා යළිත් ”මාර්තු මාසයේ සිට වතු කම්කරුවාගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන්නේ යැ”යි පවසනු ඇත. පාර්ලිමේන්තුව විසිරුවන දිනය දක්වා ම වැටුප් කතාන්දරය ද ඇදි ඇදී ගියත් එය පුදුමයක් නොවේ.

පටි තද කරගෙන ජීවත් වන්නැයි බල කරන ගෝඨාගේ පාලනය තුළ ද මූලික දෛනික වැටුප රුපියල් 1,000.00ක් දක්වා වැඩි කිරීම සිහිනයක් පමණක් ම වනු ඇත. යහපාලන ආණ්ඩුව ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. සහ අනෙක් සියල්ල එකතු කර රුපියල් 855.00ක් පෑව ආකාරයටම මොවුහු ද එවැන්නකට සූදානම් වනවා නොවේ ද?

මේ තාක් කාලයක් වතු කම්කරුවන්ට දෙන ලද පොරොන්දුවලින් 90%කටත් වඩා ක‍්‍රියාත්මක නොවී, යටපත් වූ බැවින්, මෙම පොරොන්දුව ද විශ්වාස කළ නොහැකි තත්ත්වයක අද ජනතාව පසුවෙති. බහුතර ශ‍්‍රී ලාංකේය ජනතාව ‘සිංහයකු මෙන්’ සලකන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වතු කම්කරුවාගේ මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරයි ද, නැතහොත් සිංහයා උපක‍්‍රමශීලීව නරියකු මෙන් හඬක් පාවි ද යන්න බලා ගැනීම සඳහා අපි මාර්තු පළමුවැනිදා වන තෙක් බලා සිටිමු.

සදීෂ් සෙල්වරාජ් – පරිවර්තනය: ජී.ජී.සරත්ආනන්ද

Previous articleදරුවෙකු අහිමි වීම යනු තමා ම අහිමි වීමයි
Next articleඉංජිනේරු සංස්ථාව ජනපති නියෝග නොසලකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here