ආයිබොවන්ඩ හඳුන්,

14

කෝ්ප් එකේ මුල් පුටුවෙ ආයෙ වංගියක් හඳුන්ව නං ඉන්දවන එකක් නැහැ කියලයි කොයි කවුරුත් කිව්වෙ. මහින්දානන්ද වගේ යකෙකුටවත් බය නැති.., ඕනෑම හොර තක්කඩියකුට කටින් ගහලා උනත් බිම දාන්ඩ ඇහැකි පොරකට ඔය තානාන්තරේ හිමි වෙන එක සිකුරු ය කියලත් සමහරු ඔට්ටු තිබ්බා මතකයි. ඇත්තටම හඳුන්, තමුන්නැහැගෙ හිතෙත් අබමල් රේණුවක තරංවත් විස්සාසයක් තියෙන්ඩ නැතුවැති නේද ආයෙමත් ඔය අසුන දරන්ඩ ලැබෙයි කියන එක ගැන. එහෙම නං ආයිබොවන්ඩ කේස් අදින්ඩ චාන්ස් තියෙන කෝප් සීට් එක ඔහේට ම දීලා දාපු එකේ රහස මොකක් කියල ද තමුන්නැහැ හිතන්නෙ ?

රටේ ලෝකෙ පුරස්නවල දිග පළල ගැන තමුන්නැහැලට තරං දැනුමක් තේරුමක් අපට නැති බව හැබැව. එහෙම වුණත් අපේ දැනුමෙතේරුමේ හැටියට නං ඕකත් රාජපක්ස තුරුම්පු මංඩලෙන් ගහපු තවත් ගේමක් ය කියන එක තමා කොටින්ම කියන්න තියෙන්නෙ. හොඳයි නිකමට වගේ කල්පනා කොරල බලමු මාර්තුවේ විසුරුවනව ය කියන රාජ සබාවෙ ඔය වගේ පුටුවක ඉඳගෙන ඔහේට කොරන්න පු`ඵවන් කෙංගෙඩිය අහවල් එකක් ද කියලා. ඞීල් දේසපාලන ජලාසෙ යට හැංගිලා තියෙන බැඳුන්කරේ හරි පුට්බෝලයක් වගෙ එහාට මෙහාට විසිවෙන වෝහාරිකේ හරි වග විබාගෙට ගන්න කෝප්පෙකට ඇහැක් වෙයි කියල තමුන්නැහැ අවංකවම කල්පනා කොරනව ද හඳුන්?

අයියා-මලෝ දෙන්නම පත් කොරගත්තු නිලදාරි ගොයියලා අවුල් ය කියල තමුන්නැහැල කෑමොර දුන්නා නේද පහුණු දවස්වල? නඩුහබවලට පැටලිච්චි ලලිත්ලා, ජයසුන්දරලා, සෙනරත්ලා වගේම තිරෙන් පිටිපස්සෙ හිටං සිල්ප දක්කපු ඉරාජ්ලා, සංජීවනීලා වගේ ඥාති මිත්තරාදීන්ටත් ලොකු පුටු පිරිනමපු එක ගැන රාජ සබාවෙයි, මාද්දියෙයි එහෙම සෑහෙන සද්දෙකුත් දැම්ම නෙ. අපිට හිතෙන ආකාරෙට නං අන්න ඒ සද්ද-බද්දවලට රිටන් එකක් හැටියට තමා හඳුන්, ඔහේව අල්ලලා කෝප් පුටුවෙ ගැටගහල තියෙන්නෙ. ඔන්න අපි සුදුස්සාට තැන දුන්නා… කෝ ඉතින් හොරු ඇල්ලූවා ද කියලා පාර්ලිමේන්තු චන්දෙදි තමුන්නැහැ ඇතුළු හය කට්ටුව පීචං කොරන්න බලාගෙන අටවපු කෙමනක් නෙමෙයි ද ආයිබොවන්ඩ ඔය තානාන්තරේ ?

දැන් ඉතිං බැඳගත්තු බෙරේට කොහොම හරි තඩිබාන්න පොටක් පාදාගන්න එක තමා හඳුන් ඔහෙලගෙ අලූත් ජන බලවේගෙට පැවරිලා තියෙන අබියෝගය. පහුණු කාලෙ පුරාවට ටයිකෝට්වලිනුයි, සුදු පිරුවට හා සාටක නාටකවලිනුයි වහගෙන උන්නු හොර-මැරකං රටටම පෙන්නුං කොරලා දා ගත්තු ලකුණු ටික මේ දෙතුන් දොහොට කපා ගත්තොත් නං ඊළඟ ඉලැක්සොන් එකෙන් බ්ලාස් වෙලා යන්ඩ ඉඩ තියෙන බවත් අමතක කොරන්න එපා ආයිබොවන්ඩ. එහෙම උනොත් ඉතිං ඒක හෝදලා මඬේ දැම්ම වගේ අබිලික් වැඩක් වෙනවා ඒකාන්තයි.

බුකියෙ සැට් එක කියන විදිහට නං ඔහේව ආයෙත් ඔතනම ඉන්දුවේ උන්දැලා දීපු බකප්පෙක හන්දලූ. ඒත් ඉතිං ජනපති හටනෙදි බුකියෙන් ලැබිච්ච සප් එකයි, අනුර කුමාර උන්නැහැගෙ ප‍්‍රතිසතෙයි දිහා බලපුවහම නං ඒක එහෙම ම ය කියල පිළිගන්නත් අමාරුයි නේද හඳුන් ? හැබැයි ”ජෙප්පො හොරකං කොරන්නෙත් නැහැ කොරන එවුන්ට දෙන්නෙත් නැහැ” කියල ඊයෙ පෙරේදා දවසක කටකාර කොලූ ගැටයෙක් බුකියට දාල තිබුණ පෝස්ටුවෙ යටි අරුත ගැන අවදානය යොමු කොරලා මී ළඟ චන්ද හටනෙ උපාය, උපක්කොරම සකස් කොරගන්න එකනං නුවණට හුරු වග මුන්නැහැලගෙ බුද්දි මංඩලේට දන්නා හිටිංඩ කැමතියි.

විශ්වමිත

Previous articleසෝමාලියාවට අපෙන් සල්ලි
Next articleදරුවෙකු අහිමි වීම යනු තමා ම අහිමි වීමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here