නිලධාරීන්ට අනුව වැඩ කළොත් මුකුත් කරන්න බෑ

9

නියෝජ්‍ය ධීවර අමාත්‍ය

සනත් නිශාන්ත

පසුගිය 07 වැනිදා ‘කලපු සංවර්ධනය’ යන තේමාව යටතේ මීගමුවේ පැවැති රැස්වීමක දී ගම්පහ වන අඩවි නිලධාරිනී, දේවානි ජයතිලක විසින් ධීවර නියෝජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට දැඩි විරෝධයක් එල්ල කරන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වෙයි.  මීගමුව, මුන්නක්කරය, රෙජිනා පාර ආසන්නයේ කලපු දූපතක කඩොලාන කපා ක්‍රීඩාපිටියක් ඉදි කිරීමට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් ද පවරා ඇතත්, එම තත්ත්වය ද නොසලකා හරිමින්, ආණ්ඩුවේ දේශපාලකයන් මෙම ඉදි කිරීම සිදු කිරීමට සූදානම් වෙමින් සිටී. අදාළ ඉදි කිරීම සම්බන්ධයෙන් ධීවර නියෝජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමඟ කළ කෙටි සංවාදය මෙසේ ය:

■  මීගමු කඩොලාන රක්‍ෂිතය කපා ක්‍රීඩා පිට්ටනියක් සකස් කිරීමේ සූදානමක් තියෙනවාද?

මීගමුව නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් 2015ට පෙර පැවැති රජය ක්‍රියාත්මක කළා. එය නැවත ආරම්භ කරලා තියෙනවා. ඒ ව්‍යාපෘතිය පසුගිය යහපාලන ආණ්ඩුව නවතා දමා තිබුණා.

■  මේ සම්බන්ධයෙන් පසුගියදා මීගමුවේ පැවැති සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම ව්‍යාපෘතියෙන් සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් විරෝධය පළ වුණා නේද?

එහෙම පරිසර හානියක් වෙන්නේ නෑ. ඒක වැරැදි මතයක්. මේ ව්‍යාපෘතිය මීට වසර හතකට පෙර ආරම්භ කළේ. ඊට රුපියල් මිලියන දසදහසක් වෙන් කර තිබුණා. නමුත්, මිලියන 3,000ක වැඩ කොටසක් පමණයි අවසන් කෙරුණේ. මේ රජය නැවත මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවා.

■  ප්‍රශ්නය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නොවෙයි. ඒ සඳහා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් කඩොලාන රක්‍ෂිතය එළිපෙහෙළි කිරීමයි.

එහෙ ම දෙයක් මෙතැන වෙන්නේ නෑ. දැන් අලුත් මතයක් හැදිලා තියෙනවා. දේශපාලකයෝ හොරකම් කරනවා. ඒක හින්දා දේශපාලකයන්ගේ වැඩවලට විරුද්ධ වෙන්න ඕනෑ කියලා හිතනවා. ඒ නිසා සමහර නිලධාරීන් මෝස්තරයට දේශපාලනයට විරුද්ධ වෙනවා.

■  ඒ මතය වැරැදි එකක්ද?

හරි වුණත්, වැරැදි වුණත් සෑම තැනකට ම ඔය මතය හරි යන්නේ නෑ. නිලධාරීන් දේශපාලකයන් දිහා බලන්නේ ම වැරැදි විදියට. ඒ විදියට ජනතාව වෙනුවෙන් කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ.

■  ගම්පහ දිස්ත්‍රික් වන සංරක්‍ෂණ නිලධාරීන් විරුද්ධ වෙන්නේ, එම දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් එළිපෙහෙළි කිරීමටයි. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් වගකීමක් තියනවා නේද?

ඔවුන්ට එහෙම වගකීමක් තියෙන බව ඇත්ත. නමුත්, බලයේ ඉන්න ඇමතිවරයෙක් හැටියට මටත් වගකීමක් තියෙනවා, අපේ ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති ගැන හොයලා බලන්න. විශේෂයෙන් ධීවර ජනතාවගේ ප්‍රශ්න ගැන. මම ඔය රැස්වීමට ආවේ සරත් ගුණරත්න මන්ත්‍රීතුමාගේ ආරාධනාවටයි. මට තැන තැන ගිහින් රණ්ඩු බලන්න වෙලාවක් නෑ. ධීවර ජනතාවයි, වන සංරක්‍ෂණයට විරෝධය දක්වන්නේ.

■  එම රැස්වීමේ හිටියේ ධීවර ජනතාවගේ මතය නියෝජනය කරන අයට වඩා ඔබලාගේ පාක්‍ෂිකයන් බවයි සඳහන් වන්නේ. ඔවුන් කියන්නේ, ඔබලාට අවශ්‍ය දෙයයි.

කොහෙත් ම එහෙම දෙයක් නෑ. ඒක වැරැදි අදහසක්. ජනතාවට සහන දෙන්න නම්, මේ වාගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඕනෑ. මීගමුව කලපුව ගොඩ වෙලා තියෙන්නේ. ධීවරයාට බෝට්ටුවක්, ඔරුවක් එහා මෙහා ගෙනියන්නත් බෑ. ඒ නිසා කලපුව සංවර්ධනය කිරීම අවශ්‍යයි.

අනික මීගමුවේ ළමයි සෙල්ලම් පිට්ටනියක් හදලා දෙන්න කියනවා. වන සංරක්‍ෂණය විරුද්ධ වෙන්නේ ඒකටයි. රජයේ නිලධාරීන් රජයේ ව්‍යාපෘතිවලට උදැල්ල දැම්මට පෞද්ගලික අංශයේ වැඩවලට එහෙම කරන්නේ නෑ.

■  වන සංරක්‍ෂණ නිලධාරීන් අවධාරණය කරන්නේ, රක්‍ෂිත කඩොලාන එළි කිරීමෙන් සිදු වන හානිය ගැනයි.

එහෙනම් ඉතින්, මුකුත් ම කරන්න වෙන්නේ නෑ. මම කලින් කිව්වේ, ලංකාව පුංචි රටක්. නිලධාරීන් මේක තේරුම් ගන්න ඕනෑ. හැම දෙයකට ම විරුද්ධ වුණා ම කිසි ම දෙයක් කරන්න වෙන්නේ නෑ. කැලේ කපනවාට වැදි ජනයා වාගේ හිතන්න ගියොත්, සංවර්ධනය ගැන සිතන්න බෑ. පරිසරය රකින්න ඕනෑ. නමුත්, ඔය කියන සේර ම පරිසර කතා වැදගත් නෑ●

සංවාදය:   ධනුෂ්ක ලිහිණියාගම

Previous articleආම් ආද්මි පක්ෂය 2020 දිල්ලි මැතිවරණය ජයග්‍රහණය කිරීමට හේතු 7 ක්
Next articleඅධිකරණයට කොකා පෙන්වන කරන්නාගොඩගේ හයිය !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here