බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු

37

පසුගිය ජනවාරි මස 31 වැනි සිකුරාදා බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 11.00ට එක්සත් රාජධානිය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත් කළේ ය. එහෙත් ඉන් අනතුරුව මාස එකොළහක සංක්‍රාන්ති කාලයක් ඊට ඇතුළත් වන බව ද සඳහන් විය. මෙම සංක්‍රාන්ති කාලය අතරතුර එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ නීතිරීති අනුව තවදුරටත් කටයුතු කරන අතර, යුරෝපා සංගම් අරමුදල සඳහා මුදල් ගෙවීමට ද නියමිත ය.

කෙසේ වෙතත්, මෙම ඉවත් වීමත් සමඟ ද බොහෝ දේ නොවෙනස්ව පවතින නමුත්, වෙනස්කම් කීපයක් ද සිදු වනු ඇත. එසේ වෙනස් වන දේ අතර යුරෝපා පාර්ලිමේන්තුවේ සිටින එක්සත් රාජධානියේ මන්ත්‍රීවරුන්ට සිය ආසන අහිමි වීම ප්‍රධාන ය. එහි දී එක්සත් රාජධානියේ මන්ත්‍රීවරුන් 73 දෙනකුට යුරෝපා පාර්ලිමේන්තුවේ ආසන අහිමි වනු ඇත. යුරෝපා සංගමයෙන් බි්‍රතාන්‍යය ඉවත් කර ගැනීම සඳහා දැඩි බලපෑමක් කළ නයිජෙල් ෆරාජ් ද ඒ අතර වේ. අනාගත යුරෝපා සමුළුවක දී අනෙකුත් නායකයන් සමඟ එක් වීමට අවශ්‍ය නම්, එක්සත් රාජධානියේ අගමැතිට විශේෂ ආරාධනයක් තිබිය යුතු ය.

මින් පසුව එක්සත් රාජධානියට ලෝකයේ වෙනත් රටවල් සමඟ වෙළෙඳ ගනුදෙනු පිළිබඳ සාකච්ඡා කිරීමට හැකි වනු ඇති අතර, භාණ්ඩ සහ සේවා මිල දී ගැනීමට සහ විකිණීමට අදාළ නව නීති සැකසිය හැකි ය. යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන කාලය තුළ ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමඟ නිල වශයෙන් වෙළෙඳ ගනුදෙනු පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නොහැකි විය. සංක්‍රාන්ති කාලය අවසන් වූ පසු යුරෝපයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අතිරේක මුදලක් අය කිරීම වැළැක්වීම හේතුකොටගෙන එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡාවලට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත. එහෙත් එවැනි වෙළෙඳ ගිවිසුම් සංක්‍රාන්ති කාලය අවසන් වනතුරු බලාත්මක නොවේ.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමඟ මෙතෙක් බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයේ තිබූ තද රතු පැහැති වර්ණය වෙනස් කරනු ලැබේ. ඒ අනුව මීට වසර තිහකට වැඩි කාලයකට පෙර තිබූ නිල් පැහැති ගමන් බලපත්‍රයට එහි වර්ණය වෙනස් කිරීමට නියමිත ය. මාස කීපයක් ඇතුළත නව වර්ණය සහිත ගමන් බලපත්‍ර සැකසීම සිදු කිරීමට තීරණය වී ඇති අතර, වසර මැද වන විට නිකුත් කරන සියලු නව ගමන් බලපත්‍ර නිල් පැහැයෙන් යුතු වේ. එහෙත් දැනට භාවිත කරන තද රතු පැහැති ගමන් බලපත්‍රය ද තව දුරටත් වලංගු ය.

සංක්‍රාන්ති කාලය අවසන් වීමත් සමඟ එක්සත් රාජධානිය සහ යුරෝපය අතර සාකච්ඡා මෙහෙයැවීම සඳහා යෙද වූ කණ්ඩායම විසුරවා හැරීම ද සිදු වේ. මෙම දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද්දේ 2016දී එවකට අගමැතිව සිටි තෙරේසා මේ විසිනි.

යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍යය ගනු ලැබූ තීරණයත් සමඟ යම් අපරාධයකට සැක කරන පුද්ගලයකු ජර්මනියට පලා ගියහොත්, ඔහු හෝ ඇය නැවත බ්‍රිතාන්‍යයට පිටුවහල් කිරීමට තිබූ හැකියාව මින් පසු අවසන් වේ. ඊට හේතුව යුරෝපා සංගමයේ සාමාජික රටකට හැර වෙනත් රටකට සිය පුරවැසියන් පිටුවහල් කිරීමට ජර්මානු ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දී නොතිබීමයි.

සංක්‍රාන්ති කාලය අවසන් වන විට ගමන් බලපත්‍ර පරීක්ෂාවේ දී යුරෝපා සංගමයට අයත් රටවල පුද්ගලයන්ට වෙන් වූ පෝලිමට එකතු වීමට බ්‍රිතාන්‍යයන්ට තිබූ අවස්ථාව ද අහිමි වී යයි. එහෙත්, රියදුරු ගමන් බලපත්‍රය සහ සුරතල් සතුන්ගේ ගමන් බලපත්‍ර ආදිය කල් ඉකුත් වී නොමැති තාක් කල් පිළිගනු ලැබේ.

යුරෝපා සංගමයේ රටවල් මෙන් ම ස්විට්සර්ලන්තය, නෝර්වේ, අයිස්ලන්තය සහ ලෙක්ටන්ස්ටයින් යන රටවල දී බි්‍රතාන්‍ය පුරවැසියකු යම් අසනීපයකට හෝ අනතුරකට මුහුණ දුන් අවස්ථාවක රජයේ සෞඛ්‍ය සේවා වෙත යොමු වීමට යුරෝපා සෞඛ්‍ය රක්ෂණ කාඞ්පත් හිමියන්ට හැකියාව තිබිණි. එය ද සංක්‍රාන්ති කාලය අවසන් වන විට බලරහිත වේ.

යුරෝපා සංගමයට අයත් රටවල් අතර නිදහසේ ගමන් කිරීමේ හැකියාව තිබෙන අතර බ්‍රිතාන්‍යයයන්ට නිදහසේ යුරෝපා සංගමයට අයත් රටවල දිවි ගෙවීමේ සහ රැකියාවල නිරත වීමේ අවස්ථාව හිමි වන්නේ සංක්‍රාන්ති කාලය තුළ පමණි. බ්‍රිතාන්‍යයේ සිටින යුරෝපා සංගමයට අයත් වෙනත් රටවල පුද්ගලයන්ට ද එය එලෙසින් ම අදාළ වේ.

මෙවැනි වටපිටාවක් තුළ යුරෝපා සංගමයෙන් ඉවත් වීම බ්‍රිතාන්‍යයට කෙසේ බලපානු ඇද්ද යන්න පවතින්නේ තවමත් අවිනිශ්චිත තත්ත්වයක යි●

චතුර දිසානායක

Previous articleසයින්දමරුද නව නගර සභාවක්
Next articleපියුමි හංසමාලි සිංහසීවලී නම්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here