බුරන අය බුරද්දී අපි හරියට වැඬේ කරනවා

10

සුනිල් හඳුන්නෙත්ති මහජන දේපළ කොල්ලකාලා නැහැ නේ. රජයේ භාණ්ඩාගාරයේ ‍මුදල් ගෙදර ගෙනිහින් නැහැ නේ. ඔහුගේ පෞද්ගලික හෝ මාපියන්ගේ හෝ දේපළක් හරි ගෙදර දොරක් හරි ඔහු පරිහරණය කරන්නේ කොහොම ද කියලා ඔහු තීරණය කර ගනියි. ඒ ගැන වෙනත් අයට අමාරුවක්, කැක්කුමක් හැදෙන්න අවශ්‍ය නැහැ

■  ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ජනතාවගෙන් යැපෙනවා කියන එක අවලාදයක් විදියට මේ දිනවල ප්‍රචාරය වෙනවා. මේ ප්‍රචාරවල පදනම මොකක්ද?

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ, ස්වේච්ඡා සංවිධානයක් බව මේ කෑ ගහන අය පළමුවෙන් ම තේරුම් ගත යුතුයි. මේ පක්‍ෂයට සහාය දී වැඩ කරන පූර්ණ කාලීනයන්, අර්ධ කාලීනයන් හා ඊට ආධාර උපකාර කරන සියල්ලන් එය කරන්නේ, ස්වේච්ඡාවෙනුයි. ඒ සඳහා ඔවුන් පෙරළා පෞද්ගලිකව කිසිවක් බලාපොරොත්තු වන්නේ නැහැ. එය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සංස්කෘතියක්. එහි පූර්ණ කාලීනයන් කියා යම් පිරිසක් දේශපාලනය සඳහා වෙන් වී සිටිනවා. මමත් එවැනි කෙනෙක්. පූර්ණ කාලීනයකු දේශපාලනය කරනවා හැර වෙනත් ආදායම් ලබන වෘත්තියක යෙදෙන්නේ නැහැ. එසේ ආදායම් නොලබා ස්වේච්ඡා සේවකයන් ලෙස වැඩ කරන අය ජනතාව දෙන ආහාර පාන, ඇඳුම් පැළඳුම් ආදියෙන් ලැබෙන ආධාර, අනුග්‍රහවලින් තමන්ගේ වැඩකටයුතු ටික කර ගන්නවා.  නමුත්, ඔවුන් පූර්ණ කාලීන වූවාට ඔවුන්ගේ පවුල්වල අය රැකියා කරනවා. ඔවුන්ට දේපළ තිබෙනවා. ඒ නිසා සාමාජිකයා පූර්ණ කාලීනයකු වූ පමණින් ඔහු වටා සිටින සියල්ලන් ම ඊට අදාළ වන්නේ නැහැ. එසේ ම කෙනකු පූර්ණ කාලීනයකු වන්නේ උපතින් නොවේ. ඔහු පූර්ණ කාලිනයකු වන විට ඔහුට ඉඩමක්, ගෙයක්, දොරක්, මාපියන්ගෙන්

ලැබුණු දෙයක් තිබිය හැකියි. උදාහරණයක් ලෙස මා ගතහොත්, මට මාපියන්ගෙන් ලැබුණු හොඳ ගෙයක් තිබෙනවා. එසේ ම මට අක්කර ගණනක ඉඩමක් මාපියන්ගෙන් ලැබී තිබෙනවා. ඒවා මේ රටේ කවුරුවත් දීපු ඒවා හෝ අප පූර්ණ කාලීනව වැඩ කරන විට ජනතාව දී තිබෙන ඒවා නොවේ. අනෙක් පූර්ණ කාලීනයන්ටත් එහෙමයි.

■  ජනතාව කල්පනා කරන්නේ, හොරු අල්ලන්නට ඉන්නා අයත් මෙහෙම කරනවා කියලා නේද?

හොරු අල්ලන්න කියලා අපි කියන්නේ, රටේ බදු මුදල්, පොදු ජනතාවට අයත් රජය සතුව පවතින පොදු සම්පත් දේශපාලනඥයන් හොරෙන් ගෙන ඒවා දූෂිත, අයථා කටයුතුවල යොදවන විට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන්න කියන එකයි. එහෙම කියන සුනිල් හඳුන්නෙත්ති මහජන දේපළ කොල්ලකාලා නැහැ නේ. රජයේ භාණ්ඩාගාරයේ මුදල් ගෙදර ගෙනිහින් නැහැ නේ. ඔහුගේ පෞද්ගලික හෝ මාපියන්ගේ හෝ දේපළක් හරි ගෙදර දොරක් හරි ඔහු පරිහරණය කරන්නේ කොහොම ද කියලා ඔහු තීරණය කර ගනියි. ඒ ගැන වෙනත් අයට අමාරුවක්, කැක්කුමක් හැදෙන්න අවශ්‍ය නැහැ.

■  එහෙමනම්, මේ වැරැදි ප්‍රචාර කරන අයට විරුද්ධව නෛතික පියවර ගන්න බැරිද?

ඔය කෑ ගහන අයට කෑගහන්න ඇරලා අපේ කාර්යය විය යුත්තේ, තමන්ගේ වැඩකටයුතු ටික හරියට කරගෙන යන එකයි. ඒ කාර්යය අපි මැනැවින් කරගෙන යනවා. ඒ කෑ ගහන අය කෑගහපුවාවේ. මාධ්‍යවේදියකු හෝ වෙනත් කවුරුන් හෝ ප්‍රශ්නයක් ඇසූ විට අපේ ජීවිත ගැන අපි කියනවා. එහෙ ම නැතුව ඒවා ගැන අපට කියා ගන්න අවශ්‍යතාවකුත් නැහැ.

■ ‍කොහොම වුණත්, ඔය පහර ගහන අය අහන්නෙත්, මන්ත්‍රීවරයකු ලෙස වැටුප් ගන්නෙත් නැතිනම්, ජවිපෙ මන්ත්‍රීවරුන් ජීවත් වන්නේ ‍කොහොමද කියලයි?

ඒක බලන්න ලොකු අමාරුවක්, වුවමනාවක් තිබෙන කෙනකුට මාත් එක්ක මාසයක් එකට ජීවත් වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඒ අමාරුව තිබෙන පුද්ගලයාට ඒක හරියට ම බලා ගන්න පුළුවන් හොඳ ම විදිය තමයි, අපිත් එක්ක සතියක් දෙකක්, මාසයක් එකට වැඩ කරගෙන යන එක. අපි වැඩ කරන්නේ කොහොමද කියලා අප වටා ඉන්න අය දන්නවා.

● සංවාදය:  පද්මාවේරගොඩආරච්චි

Previous articleආණ්ඩුව ඇමරිකාවට සැර වෙයි !
Next articleලසන්ත ඝාතනය – සාක්ෂි වසන් කළ DIGගේ විදෙස් ගමන් තහනම ඉවතට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here