අපායට යන පාරේ ආර්ථික සංදර්ශන

29

මේ දක්වා බලයේ සිටි ආණ්ඩු කයිවාරු ගැහුවේ, තමන්ගේ පාලන කාලයන් තුළ ආර්ථිකය මනා සේ කළමනාකරණය කරන ලද බව ය. ණය වාරික ආපසු ගෙවීම පැහැර හැරීමක් නොකළ බව ය. නමුත්, දැන් මූල්‍ය අරමුදල අනතුරු අඟවන්නේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳව රතු එළි දැල් වී ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය පිමි පනිමින් ඉදිරියට ගෙන යන ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙන්වන්නේය. වැට් ඇතුළු බදු සංශෝධන, රැකියා විරහිත උපාධිධාරීන් 53,000කට රැකියා ලබා දීම, දුප්පත් පවුල් ලක්ෂයකට රැකියා ලබාදීම, වී මිලට ගැනීම සඳහා රුපියල් කෝටි 10,000ක් වෙන් කිරීම වැනි කැබිනට් තීරණ ගැනීම් සහ ක්‍රියාමාර්ග යනාදී විවිධාකාර දේ ඒ අතර ය. 

ඇතැම් ක්‍රියාමාර්ගවල ප්‍රතිවිපාක දැනටමත් ඇති වී හමාර ය. හොඳම උදාහරණය බදු සංශෝධනය කිරීම්ය. ජනතාව සහ ව්‍යවසායකයන් යන දෙපිරිසට ම කිසි ම යහපතක් අත් නොවී රුපියල් කෝටි 55,000ක පමණ රජයේ ආදායම් අහිමි වී ඇත. රැකියා ලබා දීමට ජනාධිපතිවරයා විශේෂ කාර්යසාධන දෙපාර්තමේන්තුවක් පිහිටුවා ඒ වෙනුවෙන් අමතර මුදල් වියදම් කරමින් ඇත. ඒ අතර රජයේ සේවකයන්හට වැඩි වීමට නියමිතව තිබූ වැටුප් වර්ධක අහිමි කර අවසන් ය. බඩු මිල ඉහළ යාම රොකට් වේගයෙන් ය. මේ ආදී ප්‍රතිවිපාක රැසක් ආර්ථිකය තුළින් පිළිබිඹු වේ.

ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳව අතිශය බියජනක අනතුරු ඇඟවීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පවා දැන් නිකුත් කරමින් පවතී. ලෝක බැංකුවේ  ඉහළ පෙළේ නියෝජිතයන් මෙහි පැමිණ ගියේ ජනවාරි 31 වැනිදා ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් පැමිණ ගියේ පෙබරවාරි 07 වැනිදා ය. මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා ඇතුළු සිව්දෙනකු ඉන්දියාවට ගියේ පසුගිය සති අන්තයේ ය. ජනාධිපති ලේකම්, පී.බී. ජයසුන්දර විසින් විශේෂ නියෝගයක් අගමැතිවරයාට, ඇමතිවරුන්ට හා රාජ්‍ය ඇමතිවරුන්ට නිකුත් කළේ ද මේ අතර ය. එහි විශේෂයන් අගමැතිවරයා දක්වමින් සඳහන් කර තිබුණේ, පෞද්ගලික කාර්ය මණ්ඩල විසින් යෝජනා කරන විවිධ වියදම් කටයුතුවලට ඉඩ නොදෙන බව ය. ආර්ථිකය පෙන්වා දේශපාලන අභ්‍යන්තර ගේම් යන්නේ මෙසේය.

මේ සියල්ල දැන් බලන විට පෙනී යන්නේ අපායට යන පාරේ මල්වෙඩි සංදර්ශන පැවැත්වීමක් සේ ය. මහින්ද රාජපක්ෂ මුදල් ඇමති ඉන්දියා නිල සංචාරයේ දී එම රජයේ ඉහළ පෙළේ නායකයන් ගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඉන්දියාවට ලංකාවෙන් ගෙවිය යුතු ණය වාරික සඳහා වසර තුනක සහන කාලයක් ලබා දෙන ලෙස ඉල්ලීම ය. වැඩි දුරටත් පැහැදිලි කර තිබුණේ, ‘ලොකු අයියා’ ලෙස ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් මෙම සහනය ලබා දුනහොත්, චීනය ඇතුළු අනෙකුත් රටවලට ද එම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට සිදු වන බව ය.

මුදල් ඇමතිවරයාට දැන් සිදු වී තිබෙන්නේ, පෙර දී මෙන් ලෝකය වටේ ගොස් ණය හිඟාකෑමට වඩා වැඩි දෙයක් කිරීමට ය. බරපතළ ම දේ මෙය ය. ණය ආපසු ගෙවීමට සහන කාල ඉල්ලීම ය. තත්ත්වය බරපතළකම වඩාත් හොඳින් කියවෙන්නේ මේ යාදිනි වලටත් වඩා වැඩි තැනක දී ය. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල ප්‍රකාශවලිනි. එම අරමුදලේ දකුණු ආසියානු කලාපය භාර ඉහළ ම නිලධාරියා වන මැනුවෙලා ගොරොති ඇතුළු නියෝජිත කණ්ඩායමක් ජනවාරි 29 වැනිදා සිට පෙබරවාරි 07 වැනිදා දක්වා මෙරට සංචාරය කළේ ය. සංචාරය අවසන් කර නිකුත් කළ නිල නිවේදනය ඉතා පරිස්සමින් කියවා තේරුම් කර ගත යුතු බරපතළ අනතුරු ඇඟවීම් රැසකින් යුක්ත ය.

■  රටෙහි ඉහළ රාජ්‍ය ණය මට්ටම සහ ප්‍රතිමූල්‍යන අවශ්‍යතා හමුවේ සාර්ව ආර්ථික ස්ථායීතාව සහතික කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව, විචක්ෂණ මූල්‍ය ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සංචිත ගොඩනැංවීම සඳහා වන තිරසර ප්‍රයත්නයන් අවශ්‍ය වේ.

ඉතා පරිස්සමින් තේරුම් ගත යුතු බව සඳහන් කළේ කෙටි උපුටා ගැනීම් මඟින් යම් මතයක් විකෘති නොවී තේරුම් ගත යුතු බැවිනි. මෙම උපුටා ගැනීමේ හරය තිබෙන්නේ රජයේ ණය ගෙවීම ඉහළ මට්ටමක තිබෙන බැවින්, දිගුකාලීනව ඒ සඳහා සූදානම් විය යුතු බව ය. වැඩිමනත් අවධාරණය කරන්නේ විදේශ ණය වාරික ආපසු ගෙවීමට නම්, රට තුළ රඳවාගෙන තිබෙන විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඉහළ මට්ටමක රඳවා ගත යුතු බව ය.

■   රටෙහි වර්ධන විභවතාව සහ සාර්ව සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම ඉහළ නැංවීම අරමුණු කර ගත් ව්‍යුහාත්මක සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඉතා තීරණාත්මක වේ.

මෙයින් කියා තිබෙන්නේ, රටේ ආර්ථිකය තව දුරටත් ලිහිල්කරණය (ව්‍යුහාත්මක) සිදු කළ යුතු බව සහ රාජ්‍ය ආයතන විකුණා දැමීම (ආයතනික ප්‍රතිසංස්කරණ) ඉතා තීරණාත්මක බව ය.

■  “දුර්වල ආදායම් කාර්යසාධනය සහ වියදම් හි ඇස්තමේන්තු ඉක්මවා යාම” පිළිබඳ අනතුරු ඇඟවී ය. පෙබරවාරි 05 වැනිදා මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී හෙළි කර තිබුණේ, 2019 වසරේ රජයේ ආදායම් ඉලක්කය රුපියල් කෝටි 2,40,000ක් වුව ද, එයින් සියයට 25ක් එනම්, රුපියල් කෝටි 60,000ක් ලබා ගත නොහැකි වී ඇති බව ය. එසේ ම වියදම් ඇස්තමේන්තුව ඉක්මවා රුපියල් කෝටි 15,600ක ගෙවීමට සිදු වී ඇති බව ය. මෙය මුළු වියදම් වැඩි වීම නොව නිශ්චිත කටයුතු කීපයක වියදම් වැඩි වීම පමණ ය. රජයේ වියදම් ඉහළ යාමේ අවසන් සංඛ්‍යා දැනට හෙළි වී නැත.

■  ණය තිරසරභාවය සඳහා ඇති විය හැකි අවදානම සහ මැදිකාලීනව පවතින විශාල ප්‍රතිමූල්‍යයනය අවශ්‍යතා හමුවේ සාර්ව ආර්ථික ස්ථායීතාව තහවුරු කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව කඩිනම් කිරීම සඳහා වන ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වනු ඇත.

මෙයින් කියන්නේ මොකක් ද? මේ දක්වා බලයේ සිටි ආණ්ඩු කයිවාරු ගැහුවේ, තමන්ගේ පාලන කාලයන් තුළ ආර්ථිකය මනා සේ කළමනාකරණය කරන ලද බව ය. ණය වාරික ආපසු ගෙවීම පැහැර හැරීමක් නොකළ බව ය. නමුත්, දැන් මූල්‍ය අරමුදල අනතුරු අඟවන්නේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳව රතු එළි දැල් වී ඇති බවයි. මෙයට ගත යුතු කෙටිකාලීන විසඳුම් ද අරමුදල යෝජනා කර ඇත.

■  “ආදායම් එක්රැස් කිරීම ශක්තිමත් කිරීමට පියවර ගැනීම ඉහළ රාජ්‍ය ණය ප්‍රමාණය අඩු කර ගැනීමට උපකාරී විය හැකි ය” යනුවෙන් අතිශය දියාරු ලෙස විසඳුම් යෝජනා කර ඇත.

■  ජනාධිපතිවරණයෙන් පසු බදු පහත හෙළීමෙන් ඇති වූ වෙළෙඳපොළ පීඩනය හමුවේ 2019 වසරේ දෙසැම්බර් අවසානය සඳහා වූ ශුද්ධ ජාත්‍යන්තර සංචිත ඉලක්කය ඩොලර් මිලියන 100කින් පහත වැටී ඇති බව දක්වා තිබේ.

මේ සඳහන් කර තිබෙන්නේ, රට තුළ බදු ක්‍රියාවලිය සංශෝධනය කිරීම තුළින් විදේශ සංචිත කෙරෙහි ඇති වී තිබෙන බලපෑම ය. එය ඩොලර් මිලියන 100ක කඩාවැටීමක් බවට ගණනය කර ඇත. ඒ මාස දෙකක් සඳහා වූ බලපෑම ය. ඔවුන්ගේ නිර්දේශය වී ඇත්තේ, “කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව” වර්ධනය කර ගැනීම අවශ්‍ය බව ය.

අද පවතින තත්ත්වයට ආර්ථිකය කඩාවැටීම සඳහා උපදෙස් දුන්නේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ය. පාලකයන් මේ සංවිධාන මතත්, මේ සංවිධාන රටේ පාලකයන් මතත් සහවාසයේ යෙදුණහ. එදා බන්දුල ගුණවර්ධන පොත් ලියුවේ, ‘ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව’ යනුවෙන් ය. ආර්ථික ඝාතකයන් සම්බන්ධයෙන් ඬේවිඞ්සන් එල්බුඩු නම් මූල්‍ය අරමුදලේ හිටපු ලොක්කාගේ පාපොච්චාරණය මුලින් ම මෙරටට හඳුන්වා දුන්නේ, බන්දුල ගුණවර්ධන ය.

එදා ප්‍රගතිශීලී වෙස් ගත් බන්දුල ගුණවර්ධන වැනි අය අද ආණ්ඩුවේ මුල් පෙළේ කෙරුමන් වී සිටින අවස්ථාවේ ආර්ථික ඝාතකයන් ගලවා ගැනීමේ සැලැසුම්කරුවන් වී සිටින අපූරුව මෙයින් පැහැදිලි වේ●

ඉන්ද්‍රසිරි ජයසුන්දර

Previous articleරනිල්, මහින්ද එකට වැඩ
Next articleආණ්ඩුව ඇමරිකාවට සැර වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here