මරියසෙල්ගේ ගීත ශෛලිය කළ දේශපාලනය සංස්කෘතික පෙරලිය අතිශයින් රසවත්

78

ඒ නවසිය අසූ ගණන්වල තරමක් සාම්ප්‍රදායික ගැමි මැද පන්තික නිවසක මගුල් ගෙදරක හෝම්කමීන් දා රාත්‍රියයි. ගෙදර සාලයේ කැසට් එහෙකට බෆල් හයි කරලා සින්දු දාලා මනමාලයා ඇතුළු පිරිමි ටික නටන අවස්ථාවයි. නටන්නේ නිහාල් නෙල්සන්ගේ බයිලා කැසට් පටයකට. මේ නටන පිරිමි අතර හිටිය, සමහරවිට මේ කැසට්පටිවල අයිතිකාරයා වෙන්නත් පුළුවන්, පදමට වෙරිවුණ පිරිමියෙක් එතන අවට හිටිය ගැහැණුන්ට කියන්න ගත්තා, ‘හා හා ඒ ගොල්ලෝත් නටන්න එන්න’ කියලා. ඒ පාර එතන හිටිය තරමක වයසක පහේ කාන්තාවක් විරෝධය පලකලා ‘පිරිමි නටන තැන්වල ගැහැණු නටන්න ඕන නෑ’ කියලා. ජුවල් ගිය වෙරි වුනු මිනිහා, ‘යකෝ ඒක මාර කතාවක්නෙ’ කියල වහාම නිහාල් නෙල්සන්ගේ කැසට් එක නැවැත්තුවා. ඊළඟට මිනිහා දැම්මා මරියසෙල් ගේ කැසට් පටියක්, දාලා කෑ ගහලා කිව්වා ‘මේත් ගෑණියක්, පිරිමි එක්කයි සින්දු කියන්නෙ, ඒකිට නං උඹලට වෙලා තියන හෙනයක් වෙලා නෑ.’ කියලා.වෙරි වූ මිනිහා කරපු වැඩේට ගැහැණඅන්ට කටඋත්තර නැති වුණා වගේ වුණා. කවුරුත් ඊට පස්සේ මුකුත් කියන්න ගියේ නෑ. දැන් ඔන්න කැන්ඩි ළමිස්සී නැගලා යනවා. ඒ සමඟම ගැහැණියකට සින්දු කියන්න පුළුවන් නං ඒ සිංදුවට ගැහැණන්ට නටන්න බැරි ඇයි වගේ පහසු තත්ත්වයක් ඇති වුණා. ක්‍රමයෙන් ගැහැණුත් එකා දෙන්නා අර බයිලා මුමුණමින් නටන්න එන්න ගත්තා. මෙසේ පාටිය පිරිමි හඬක සිට ගැහැණු හඬක පාලනය දක්වා පරිවර්තනය වුණු අතර දැන් ගැහැණියක් සින්දු කියනවා ගැහැණු මිනිසුන් සියල්ල එක ගොඩට පෙරට වඩා පහසුවෙන් නටනවා.
You are my one and only one
and my ලපටි කෙසෙල් කැන්
I’m your one and only කැන්ඩි ලමිස්සි
You are my ඇටසැකිල්ල
and your ලස්සන කෙල්ල
Oh I’m your one and only කැන්ඩි ලමිස්සි

එදා ඔය සිදුවීම වෙන තැන අහම්බෙන් වගේ ඉන්නකොට මම කුඩා ළමයෙක්, මට ඒ සිදුවීමේ බරපතළ දේශපාලනික යථාර්ථය තේරුනේ ඊට බොහෝ කාලයකට පසුයි. මරියසෙල් ගේ ගීත කලාවේ ඇය ගීතය තුලින් කිව්වේ මොකක්ද කියන එකට වඩා ඇගේ ගීත ශෛලිය විසින් කළ දේශපාලනය සංස්කෘතික පෙරලිය මොකක්ද කියන කාරණය අතිශයින් රසවත්.

ශ්‍රී ලංකාවේ අතිශය සාමාන්‍ය පන්තියේ පිරිමියා භුක්ති විදිමින් සිටිය සමාජශීලී ජීවිතයට සාමාන්‍ය සාම්ප්‍රධායික කාන්තාව ද එක හා සමානව කැඳවීමට මරියසෙල්ගේ කාන්තා බයිලා හඬ කළ දායකත්වය සැලකිය යුත්තේ ලාංකේය ගීත කලාවේ පමණක් නොව සමාජය තුලම කල විශාල දේශපාලන පෙරළියක් ලෙසටයි. ඒ සිංහල ප්‍රධාන ධාරාව තුළ ගැහැණියක් විසින් නැටීම සඳහාම සුවිශේෂයෙන් නිර්මාණය කළ බයිලා කියූ පළවෙනි අවස්ථාවයි. (යොවුන් සිහින ලෝකේ, කැන්ඩි ලමිස්සි, ඹබ ලබාගන් ඔබ ලග) ගීතය පැත්තෙන් ගැහැණියක් බයිලා ගයන්නට ඒම වගේම ඒ කාන්තා බයිලා ඇහීම ගැහැණුන්ටත් ප්‍රසංගික අවකාශවල සමාජශීලී වීමට එක හා සමාන ධෛර්යයක් ඇති කිරීමයි මෙතන වැදගත්කම.

සාමාන්‍යයෙන් ලෝකයේ කිසිම දෙයක් හුදෙකලාව බිහි වෙන්නැති අතර මරියසෙල් ප්‍රවේශයට එන්නටත් පෙර කාන්තාවන් බයිලා කෙසේවෙතත් අප්‍රකට සාද වලට හෝ සමාජශාලා වල නටන්නට සින්දු කීම බොහෝවිට ඉංග්‍රීසි සහ සිංහල කණ්ඩායම් සංගීත කලාව හරහා නගරාශ්‍රිතව සිද්ධ වෙමින් තිබිලා තියෙනවා.ඒ් වගේම මරියසෙල්ම අභාශයට ගත්ත ඩැල්රින් හා සූබී වැන්නන්ගේ ක්ල්බ් ගීත කලාව. අනිත් පැත්තෙන් ප්‍රධාන ධාරාව තුළ ගීතයට නැටීම සම්බන්ධයෙන් මරියසෙල් ගැන කතාකරනකොට අනිවාර්යෙන් ඊට යම් පසුබිමක් ඉන්ද්‍රානි පෙරේරා විසින් කරල තිබුණා. හා හා හොරේ දැනුනා දැනුනා, නෙල්ලි කැලේ එන්න සුදා, සුදු අසුපිට නැගලා ආදී වේග රිද්මයේ ගීත ප්‍රසාංගික වේදිකාවට නිර්මාණය කරපු ඒවායි. නමුත් මරියසෙල් ඒ ප්‍රවේශයේම නටන්ඩ ආවෙ නැත්නම් වැරදිකරුවෙක් වෙන තරමට ගීතය කටහඬින් පවා නැටිම උදෙසාම නිර්මාණය කරමින් හුදු වේග රිද්මයට පමණක් සීමා නොවී පියවරක් ඉස්සරහට අරගෙන එනවා. සිංහල දේශීය නම් සංගීතය හරහා ප්‍රසංගික අවකාශවල නැටීමට අනුබලය නොදෙන්නේ නම් එය කලේ බටහිර සංගීතය යි. ඒ අර්ථයෙන් ගත්තහම මරියසෙල්ලාගෙන් එක්තරා විදියකට කූටප්‍රාප්තියට එන ඒ බටහිර සංගීතය හුදෙක් වේගරිද්ම ගීත කලාවක් පමණක් නෙමෙයි එය සාමාන්‍ය සිංහල ගැහැණු සහ මිනිසුන්ට නැටීම නම් විශේෂ සමාජමශීලී අවස්ථාවට කැඳවපු ගීත විශේෂයක් නිසා ඒවා විමුක්ති ගී විශේෂයක් විදියට ද කියවීම සාධාරණයි. අන්න එතකොට මරියසෙල් දැවැන්ත භූමිකාවක් බවට පත් වෙනවා. ඇය ඒ ගීත ගායනා කරන්නේ පිරිමින් පවා බයිලා කීම විදග්ධ නම් සම්ප්‍රදාය විසින් අවතක්සේරුවට ලක් කර අවිචාරවත් කලාවක් විදියට සැලකූ අවකාශයකයි.

මීට පෙර ද මම තැනක කියූ පරිදි මෙවැනි පුරෝගාමී කාන්තා සහ ‘නිර්ප්‍රභූ’ ක්‍රියාකාරකම් බොහෝවිට අපගේ බුද්ධිමය කියවීම සඳහා හඳුනා නොගැනීමට එක ප්‍රධාන හේතුවක් නම් ඒ ක්‍රියාකාරකයින්ට තමන් කරන දේ සම්බන්ධයෙන් දේශපාලනික සහ දාර්ශනික සවිඥානකත්වයක් නැති වීමයි. එවිට ඒ ක්‍රියාකාරකම් දාර්ශනික සහ දේශපාලනික හඳුනා ගැනීම් වලට ලක් නොවීමේ ප්‍රවණතාවයක් පෙනෙන්න තියෙනවා.

විදග්ධ නම් ගීත කලාවේ තිබුණු ප්‍රශ්නයක් නම් ගීතය පිළිබඳව ඇති සම්මත ගුරුකුල කේන්ද්‍රීය කලාත්මක අදහස විනා ගීතය ගැන ඔවුන්ගේ දේශපාලනික වටහා ගැනීම අතිශය දිළිඳු වීමයි. ගීතයක කලාත්මක භාවිතාව කියන්නේ එක අංශයක් විතරක් වන අතර ගීතය නිසා සිදුවන දේශපාලනික හෝ සංස්කෘතික බලපෑම ඇත්ත වශයෙන්ම ස්ත්‍රීවාදී ආදී සමාජ විද්‍යාත්මක භාවිතාවන් වලින් කියවිය යුතුයි. ශ්‍රී ලංකාවේ ගීත පිළිබඳව කලාත්මක භාවිතාවන් පිළිබඳව කියැවී ලියවී ඇති තරමට දේශපාලනිකව කියවා නැති වීමක් දකින්නට ලැබෙන්නේ මේ නිසයි.

මම තරමක් හදිසියේම මේ කෙටි සටහන ගෙනාවෙ අද15/02/2020 හවස සනස්ගලගේ රෝයල් තැප්‍රොබේනියන් ස්ථානයේ මරියසෙල් ඔබ හා පිළිසඳරකට එන අවස්ථාව මතක් වීම නිසයි. හැකිනම් මගේ මේ අදහස එම සාකච්ඡාවේදී ඇගේ අවධානයට ලක් කරන්න.

-ධනංජය කරුණාරත්න (fb)

Previous articleගෝඨාගේ මෙහෙයුමෙන් ගැටුම ඇවිළෙයි
Next articleරනිල්, මහින්ද එකට වැඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here