ගෝඨාගේ මෙහෙයුමෙන් ගැටුම ඇවිළෙයි

44

නීතිපති දප්පුල ද ලිවේරා සහ වැඩ බලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න අතර ඇති වී තිබෙන ගැටුමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෘජුව ම පොලිස්පතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් සිටී. මීට අදාළ
උපදෙස් රැසක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පොලිස්පතිවරයාට ලබා දී ඇති අතර, ලබන මාර්තු මාසයේ දී නව පොලිස්පතිවරයා පත් කිරීමට අදාළ පොරොන්දුවක් ද ඒ අතර වේ.

දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන මාර්තු මාසයේ දී විශ‍්‍රාම ගැනීමට නියමිත ය. මීළඟ පොලිස්පති ධුරයට වර්තමාන වැඩ බලන පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති.ජගත් අබේසිරිගුණවර්ධන අතර තරගයක් ඇති වී තිබේ. දැනට වැඩ තහනම් කර ඇති ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා විසින් දිගින් දිගටම වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුණ ද, වැඩ බලන පොලිස්පතිවරයා තීරණය කර ඇත්තේ කිසිදු හේතුවක් මත විනිසුරුවරයා අත්අඩංගුවට නොගැනීමටයි.
මේ සම්බන්ධයෙන් වන පූර්ණ විමර්ශන තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපති ලේකම්, පී.බී. ජයසුන්දර වෙත පොලිස්පතිවරයාගේ පාර්ශ්වයෙන් යොමු කර තිබිණි. පොලිස් දෙපාර්තමේන්තුවේ එවැනි ක‍්‍රමවේදයක් නොමැති අතර, විමර්ශන වාර්තා හුවමාරුව සිදු වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව අතර ය.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර, රන්ජන් රාමනායක සහ විනිසුරු ගිහාන් පිලපිටිය අතර සිදු වූ දුරකථන සංවාද හේතුවෙන් අධිකරණ සේවා කොමිසම මඟින් ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබුණේ, විනිසුරුවරයාගේ වැඩ තහනම් කිරීමට ය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් විනිසුරුවරයාගේ වැඩ තහනම් කරන ලද අතර, විමර්ශන වාර්තාවල තොරතුරු මත එම තීරණය ඉදිරියේ දී යළිත් සලකා බැලීමට නියමිත ය.

රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා තමන්ට කරන ලද බලපෑම් සම්බන්ධයෙන් 2015 – 2016 කාලයේ දී කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ලෙස ගිහාන් පිලපිටිය පොලිස් මූලස්ථානයට සහ අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර තිබේ. හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් සහ අදාළ පැමිණිල්ල විමර්ශනය කළ සහකාර පොලිස් අධිකාරී, කේ. ඞී. එල්. සිරිවර්ධන මේ බව තහවුරු කර තිබේ. ඉන්පසුව ඉදිරි විමර්ශන කටයුතුවල පහසුව සඳහා විමර්ශන අංශ මඟින් විනිසුරුවරයාට ලබා දුන් උපදෙස් අනුව ගිහාන් පිලපිටිය දිගටම මන්තීී‍්‍රවරයා සමඟ දුරකථනය ඔස්සේ සම්බන්ධ වී තිබේ. මේ සම්බන්ධයෙන් වන සියලූ‍ කරුණු සාක්ෂි සටහන් සහිතව වැඩ බලන පොලිස්පතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත පසුගිය 08 වැනිදා යොමු කර ඇත. අධිකරණ සේවා කොමිෂන් සභාවට ද එම විමර්ශන වාර්තාව යොමු කර ඇති අතර, ඉදිරියේ දී කොමිෂන් සභාව රැස් වී ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරන ලද නිර්දේශය පිළිබඳව වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

මේ අතර දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම නීතිපතිවරයාට දන්වා තිබුණේ, ඔවුන්ගේ විමර්ශනවලට අදාළ නඩු කල් තබන ලෙසයි. නීතිපතිවරයා එය ප‍්‍රතික්‍ෂේප කළ අතර, ඉන් පසු වැඩ බලන පොලිස්පතිවරයා විසින් ද මෙම යෝජනාව නීතිපතිවරයා වෙත ලිඛිතව යොමු කර තිබිණි. ඊට ද නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් ලබා දී තිබුණේ, පෙර පිළිතුර ම ය.

කෙසේ වෙතත්, දිගින් දිගටම නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කරමින් සිටින අතර, පසුගිය 12 දා ඒ පිළිබඳව විමර්ශන නිලධාරියකු මඟින් වරෙන්තුවක් ලබා ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ ජානක බණ්ඩාර ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී තිබිණි. එහෙත්, ඊට පෙර රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයාගේ නඩුව මෙහෙයැ වූ නීතිපති දෙපාර්තමේන්තුවේ දිලීප පීරිස් එවැනි ඉල්ලීමක් කර තිබුණේ නැත.

Previous articleශවේන්ද්‍ර සිල්වාට සහ පවුලට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් !
Next articleමරියසෙල්ගේ ගීත ශෛලිය කළ දේශපාලනය සංස්කෘතික පෙරලිය අතිශයින් රසවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here