ආණ්ඩුවම යූ ටර්න්

9

මෛත්‍රී – රනිල් ආණ්ඩුව පටන් ගත්තේ 2015 ජනවාරි 08 වැනිදා ය. ඊට කලින් අවුරුදු දහයක් පැවැතියේ, රාජපක්ෂ පාලනයයි. රාජපක්ෂ පාලනය පටන් ගත්තේ, 2005 වසරේ දී ය. ඒ වන විට රටේ ණය ප්‍රමාණය රුපියල් කෝටි දෙලක්ෂ විසිපන්දහසක් විය. රාජපක්ෂ පාලනය අවසන් වන විට එකී ණය ප්‍රමාණය තුන්ගුණයකින් වැඩි විය. ලංකාවේ ඉතිහාසයේ වැඩි ම ණය වුණු වසර කීපය වුණේ, එකී දස අවුරුදු කාලයයි. නිදහස ලබා ගත් දා සිට ගත් ණය වාගේ තුන්ගුණයක් අවුරුදු දහයක දී ගනු ලැබුවේ, රාජපක්ෂ පාලනයයි. මෛත්‍රී – රනිල් ආණ්ඩුව පිහිටුවපු අලුත රනිල් මේ ණය පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ඒ වාර්තාවට අනුව ගත් මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි දසලක්ෂ පන්සියයක් විය. සෘජුව ම ආණ්ඩුව ණය ගන්නවා වෙනුවට විවිධ ආයතන එනම්, බැංකු, ගුවන් සමාගම වැනි රාජ්‍ය ආයතන හරහා ණය ගත් බව ඉන් හෙළිදරව් විණි. තවත් සොයා ගන්න බැරි ණය විශාල ප්‍රමාණයක් ඇති බවත් රනිල් ප්‍රකාශ කළේ ය. මෙයට සමාන වූ වාර්තාවක් විගණකාධිපතිවරයා හරහා ද ඉදිරිපත් වුණේ ය. කොටින් ම ගත්තොත්, මහින්දලාගේ ආණ්ඩු කාලයේ රට මහා දැවැන්ත ණය අර්බුදයකට තල්ලු කර ඇති බව රනිල් පුන පුනා කිව්වේ ය. බලයට එන්න කලින් රට හදන්න පුළුවන් කියලා කයිවාරු ගහපු කට්ටිය බලය ගත්තාට පස්සේ කිව්වේ, මීතොටමුල්ල කුණු කන්දටත් වඩා උස ණය කන්ද නිසා කියපු දේවල් කරන්න අමාරු බව ය.

පහුගිය පස්වැනිදා මහින්ද රාජපක්‍ෂ ඒ වාගේ ම කතාවක් කළේ ය. එදා රනිල් ණය ප්‍රමාණය කිව්වා වාගේ මෙදා මහින්දත් යූඑන්පීය ගත්ත ණය ප්‍රමාණය කිව්වේ ය. අවසානයේ දී තව තවත් ණය ගත යුතු බව අවධාරණය කළේ ය. දැනට ඇති මූල්‍ය වගකීම් පනත්වලට අනුව ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන හත්සිය විසිඑකකි. එනම්, රුපියල් කෝටි හැත්තෑදෙදහස් එකසියයකි. නීතිමය තත්ත්වය අනුව ණය ගත හැක්කේ, එකී සීමාවට යටත්ව ය. දැන් රාජපක්ෂ මහතා කියා සිටින්නේ, එම සීමාව වැඩි කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා දෙන ලෙස ය. එනම්, රුපියල් බිලියන එක්දහස් හැත්තෑඅටක් දක්වා එය වැඩි කරන ලෙස ය. එනම්, රුපියල් කෝටි තිස්හය දහස් හත්සියයකින් වැඩි කරන ලෙස ය.

මේ වාක්‍යය කියා ගන්න මහින්ද පැයක විතර දිග කතාවක් කළේ ය. ඒ කතාවේ දිගට ම කිව්වේ, හැම ක්ෂේත්‍රයක් ම මුහුණ පා ඇති අර්බුදයන් ගැන ය. ඒ සියලු අර්බුදයන් පසුගිය ආණ්ඩුව කාලයේ ඇති කරන ලද ඒවා බව ය. පසුගිය ආණ්ඩුව අය-වැයෙන් වෙන්කර තිබූ මුදල් පසුගිය

දෙසැම්බර් වන විට ම අවසන් කර තිබුණත්, ඒ අවුරුද්දේ තක්සේරු කර තිබූ ආදායම රුපියල් කෝටි දෙලක්ෂ හතළිස්දහසක් වුවත්, ලැබී ඇත්තේ, රුපියල් කෝටි එක්ලක්ෂ අසූදහසක් පමණක් බව ය. රජයේ ආදායම් බිඳවැටී ඇති බව ය. දෙදහස් විස්ස මුල් මාස හතරට අදාළව සම්මත කර ගත් අතුරු සම්මත ගිණුමට අදාළ වූ ප්‍රතිපාදන ද මේ වන විට අවසන් වී ඇති බව ය.

ඒ වාගේ ම පසුගිය අවුරුද්ද අවසන් වන විට ගෙවා අවසන් කළ යුතුව තිබූ බොහෝ ගෙවීම් සිදුකර නොමැති බවද ඔහු ප්‍රකාශ කළේ ය. ජනාධිපති ඡන්දයට අදාළ වියදම්, රෝහල්වල බෙහෙත් ගැනීමට අදාළ වියදම්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සහනාධාර, පොහොර සහනාධාරය, මහා මාර්ග ඉදි කිරීම්වලට අදාළ ගෙවීම්, පාසල් සංවර්ධන කටයුතුවලට අදාළ ගෙවීම්, ජලසම්පාදන ව්‍යාපෘති ගෙවීම්, වාරිමාර්ග සඳහා වූ ගෙවීම් ආදී වූ ලයිස්තුවක් ඉදිරිපත් කළේ ය. ඒ කියන්නේ, පසුගිය ආණ්ඩුව බොහෝ ගෙවීම් සිදු කර නොමැති බව ය.

එදා රනිල් කිව්වේ ඊට කලින් රාජපක්ෂලාගේ ණය හා වියදම් නිසා ආර්ථිකය ගෙන යන්න අමාරු බව ය. අද මහින්ද කියන්නෙත් ඒ කතාව ම ය. රනිල්ලා ගත්ත ණය හා වියදම්වල පව් කරගහන්න වෙලා ඇත්තේ, තමන්ට බව ය. ඒ පව් ගෙවන්නට දැනටමත් තියෙන නීතිමය සීමාවට යටත්ව ගන්න ණය ප්‍රමාණය හොඳට ම මඳි බව ය. ඒ සඳහා තව අලුතින් පස්ගුණයකින් වැඩි කර ණය මුදලක් ලබා ගත යුතු බව ය. එය හදිසියේ එකපාරට ම කරන්නට බැරි බව ය. ඒකට යම් කාලයක් ගත වන බව ය. එතෙක් ඉවසීමෙන් ඉන්නා ලෙස ය.

ඡන්දයට කලින් මුලින් ම පොහොර නිකම් දෙනවා යැයි කිව්වේ ය. ඒ වෙලාවේ මාධ්‍යවේදියකු ඒකට කොහොම ද සල්ලි හොයා ගන්නේ යැයි ඇසුවේ ය. මහින්ද ගත් කටට ම කිව්වේ, “අපි කොහො ම හරි හොයා ගන්නවා” කියා ය. ඒත්, අද මහ ලොකු අඳෝනාවක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට කියන්නේ, තමන්ගේ අලුත් වියදම් සඳහා පරිපූරක ඇස්තමේන්තු ලෙස මුදල් අනුමත කර දෙන ලෙස ය. එනම්, අමාත්‍යාංශ සඳහා පුනරාවර්තන ප්‍රතිපාදන රුපියල් කෝටි දසදහස් එකසියයකින් වැඩි කර දෙන ලෙස ය. ප්‍රාග්ධන වියදම් සඳහා කෝටි පන්දහස් පන්සියයකින් වැඩි කර දෙන ලෙස ය. මේ වැඩි කරන වියදම් සඳහා අවශ්‍ය මුදල් මහා

භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට අවසර දෙන ලෙස ය. මහා භාණ්ඩාගාරයේ ද සල්ලි ඉවර වී ඇත. ළඟ දී ඉදිරිපත් වුණු වෝහාරික විගණන වාර්තාවෙන් එය හෙළිදරවු විය. එනම්, රාජපක්‍ෂ පාලන කාලයේ රුපියල් කෝටි 1047 මුදලක් විනාශ කර ඇති බව ය. රනිල්ගේ පාලන කාලයේ තවත් රුපියල් කෝටි 1762ක මුදලක් විනාශ කර ඇති බව ය. දෙගොල්ලෝ ම වෙන වෙන ම එහි තිබූ සල්ලි ටික විනාශ කර දමා ඇත. ඇත්ත කතාව නම්, මහා භාණ්ඩාගාරයට සල්ලි එන්න රටේ නිෂ්පාදනයක් තිබිය යුතු ය. නිෂ්පාදනයක් නැති තත්ත්වය හමුවේ පවා මිනිස්සු රස්සා කරලා හම්බ කරපු පඩියෙන් කොටසක් කපාගෙන අරමුදලක් දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන එන්නේ ය. ඒ කියන්නේ, සේවක අර්ථසාධක අරමුදල ය. මේකේ තියෙන සල්ලි මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන්, වතු අංශයේ සේවකයන්, අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් දුක්මහන්සියෙන් හම්බ කරපු සල්ලි ය. මහ බැංකුවේ ඒ අරමුදල පරිස්සමට තියා ඇත. පරිස්සමට තියපු සල්ලි ටිකට දෙගොල්ලෝ ම එකතු වෙලා සූදු කෙළලා, පාඩු සිදු කර ඇත. එහෙ ම ගත්තා ම වියදම් කරන්න මහා භාණ්ඩාගාරයේත් සල්ලි නැත. ඒ නිසා මහින්ද තව තවත් ලබා ගන්න ණය ප්‍රමාණය වැඩි කරන්න අවසර ඉල්ලන්නේ ය. 

ඡන්දයට කලින් ඔය අමාරුකම්, බැරිකම් මොකුත් කියන්නේ නැත. ඒ කාලෙට හැමෝ ම චණ්ඩි ය. කොහො ම හරි සල්ලි හොයා ගන්නවා යැයි කියන්නේ ඒක ය. මහින්දලා ගොඩක් බලාපොරොත්තුවෙන් සිටියේ, චීනයෙන් ණය ඉල්ලා ගන්නට ය. ණය කිව්වාට, නිකම් ම දෙන ණය නොවේ ය. ගිනි පොලියට දෙන ණය ය. ඒත්, කොරෝනා වෛරසයත් එක්ක සියල්ල කණපිට හැරී ඇත. ණය තියා චීන ජාතිකයෙක්වත් පැත්ත පළාතක එන්නේ නැත. මෙහේ කවුරුවත් චීනයට යන්නේත් නැත. ලංකාව හා චීනය අතර ගිය ගුවන් යානා කිහිපයක් ම නතර කර ඇත. කවදා කොරෝනා ඉවර වේ දෝ යැයි කියන්නත් බැරි ය.

ඉන්දියාව වාගේ රටවල්, චීනය වාගේ සල්ලි එකවර පොම්ප කරන්නේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වාගේ ආයතනවලින් ණය ගන්න යම් කාලයක් ගත වන්නේ ය. එහෙ ම බැලුවා ම මහින්දලාට ලෙහෙසියෙන්ම සල්ලි හොයා ගන්න තියෙන එක ක්‍රමයක් නම්, ෂැන්ග්‍රිලා හෝටලය පිටුපස්සේ ඉඩම සිංගප්පූරුවට වික්කා වාගේ තව දේවල් විකුණා දැමීම ය. එහෙමත් නැත් නම්, ලේසියෙන් ම එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම ය. මේ බැරිබැරියාව කියාගෙන එන්නේ, අවසානයේ එතැනට ය. ‘ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නට’ කියන එක දැන් පැහැදිලි ය. පසුගිය කාලයේ ආණ්ඩු වාගේ ම ඉස්සෙල්ලා ම කරන්නේ, තිබුණු ආණ්ඩුවල නාස්තිකාර වියදම් ගැන සංඛ්‍යාලේඛන කියන එක ය. ඊට පස්සේ ඒ ගොල්ලෝ රට වට්ටලා තියෙන තැන ගැන කියන එක ය. ඒකෙන් ගොඩ එන්න නම්. වෙන කරන්න දෙයක් නැහැ, යන්න වෙන්නේ අකැමැත්තෙන් වුණත්, ආපහු ණය ගන්න තැනට ය. නැත් නම්, කොන්දේසි මත හෝ දෙන සල්ලි ටික ගන්න තැනට ය. මහින්ද කරපු කතාවේ හරය ඒක ය. ඉලක්කය ඒක ය. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ, අකමැත්තෙන් වුණත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න වෙනවා කියන කොට කට්ටිය අත්පුඩි ගහන්නේ ය. එතැනට රට තල්ලු කරගෙන යාම කතාවේ අරමුණ බව පැහැදිලි ය.

මාස තුනක් ගත වුණාට පස්සේ දිග පළල ඇතිව මහින්ද ආර්ථිකයේ අමාරුකම් කීවේ ය. ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවේ කියවද් දී, අමාරුකම් ගැන කිව්වේ නැත. ඒක චණ්ඩි කතාවක් ය. ඔක්කො ම තිබුණේ, කෙටි කාලයක් තුළ සියල්ල සිදුකරන බවට වූ දේවල් ය. ඒත්, දැන් දැන් ‘යූ ටර්න්’ එක ගනිමින් සිටී. මහා මැතිවරණය අවසන් වුණාට පස්සේ ඔයිට වඩා අමාරුකම් ගැන කියන්නේ ය. ඒ බව මේ වෙන කොට සිද්ධ වෙන දේවල්වලින් ඉතා පැහැදිලි ය. ගෝඨාභය රාජපක්ෂ නොවෙයි, සක්කරයාගේ පුතා වයිමා ආවත්, මේ ආර්ථික අර්බුදය ගොඩ ගන්න බැරි බව දැන් හරි පැහැදිලි ය. එක් අර්බුදයක් ලිහා ගන්නට තවත් ණය කන්දක් ගොඩ ගසා ගැනීම තවත් විශාල අර්බුදයකට රට ඇදවැට්ටවීමකි●

ජගදාක්ෂි

Previous articleඑක්නැළිගොඩ නඩුව 20 වැනිදා සිට එකදිගට
Next articleඅදත් නීතිපති – පොලිස්පති පැටලෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here