චීනය දවස් 6 කින් රෝහලක් හැදුවේ කොහොමද?

7

මනුස්සයකුට ඉන්න පුළුවන් විදියේ ගෙයක් තියා සෙල්ලම් ගෙයක් හදන්නත් අපිට දවස් හයකට වඩා ගත වෙනවා. එහෙම එකේ චීනය දවස් හයක් තුළ රෝගීන් 1,000කට ප‍්‍රතිකාර කළ හැකි සම්පූර්ණ පහසුකම් සහිත රෝහලක් හැදුවේ කොහොම ද? අපිට නම් හිතෙන්නේ, කොන්කී‍්‍රට් ස්ලැබ් එකක් හොඳට වේළිලා ශක්තිමත් වෙන්නත් දවස් 20කට වඩා යනවා නම්, මෙච්චර විශාල රෝහලක් දවස් හයෙන් හදන එක විශ්වකර්ම වැඩක් විදියටයි. නමුත්, චීන ඉංජිනේරුවන් ඒ විශ්වකර්ම වැඬේ කළා. ඒ මෙන්න මේ විදියටයි.

මේ රෝහල ඉදි වෙන්නේ කොරෝනා වෛරසය නිසා මුළු ලෝකෙම ප‍්‍රසිද්ධියට පත් වුණු, එක්කෝටි දසලක්ෂයක ජනගහනයක් ජීවත් වන වූහාන් නගරයේ ම ‘හුෂෙන්ෂැං’ කියන ප‍්‍රදේශයේ. අක්කර 2ක ප‍්‍රමාණයේ වාහන අංගනයක් ද ඇතුළුව අක්කර 8ක භූමි ප‍්‍රදේශයක ඉදි වන මේ රෝහලේ අභ්‍යන්තර ප‍්‍රදේශය වර්ග මීටර් 25,000ක විතර ප‍්‍රමාණයක්. ඒ තුළ නාන කාමර සහිත සාමාන්‍ය වාට්ටු සංකීර්ණ, දැඩි සත්කාර ප‍්‍රතිකාර ඒකක, එක්ස්රේ කාමර, සීටී ස්කෑන් කාමර, වෛද්‍යවරුන්ගේ කාමර, වෛද්‍ය උපාංග සඳහා වන කාමර, පර්යේෂණාගාර ආදිය ඉදි කළ යුතු වුණා.

මේ භූමිය චීන රජයට අයත් ප‍්‍රදේශයක් වුණු නිසා ඉදිකිරීම් වෙනුවෙන් අවසර ලබා ගැනීමේ ප‍්‍රශ්න ඇති වෙලා තිබුණේ නැහැ. ඒ ප‍්‍රදේශය භාර නියෝජිතයාගේ ලිඛිත අවසරය ලබා ගන්න බලධාරීන්ට ගත වෙලා තිබුණේ දුරකථන ඇමතුමක් ලබා ගන්න ගත වෙන කාලය විතරයි. ඉන් පස්සේ වූහාන් නගරයට කිලෝ මීටර් 50ක් ඇතුළත ප‍්‍රදේශවල ඉන්න සියලූ ම වැඩබිම් කළමනාකාරවරුන්ට ඔවුන්ගේ වැඩබිම්වලින් සිවිල් ඉංජිනේරුවන් සහ කම්කරුවන් මුදාහැර පැය දෙකක් තුළ ඔවුන් නව රෝහල් වැඩබිමට අනුයුක්ත කරන්න කියලා මාධ්‍ය ඔස්සේ නිවේදන නිකුත් කෙරුණා. ඒ අතර ප‍්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් රෝහල සඳහා සැලැසුම් ඇඳීම සිදු වුණා. ඒ බිම් මහලක් සහ පළමු මහලක් සහිත දෙමහල් ගොඩනැඟිල්ලක් සඳහායි.

ඉදි කිරීම් සඳහා අවශ්‍ය වුණු අමුද්‍රව්‍ය සැපයීම පෞද්ගලික අංශයට පැවරුණා. දින හයක් තුළ රෝහලක් ඉදි කරන්න ඕනෙ කියන තීරණය අරගෙන පැය හතරක් යන්න කලින් අවශ්‍ය උපකරණ සහ අමුද්‍රව්‍ය ඇණවුම් කර තිබුණා. තවත් පැය දෙකක් යද්දි පොළොව කණින යන්ත‍්‍ර 12ක්, බුල්ඩෝසර් 6ක් සහ බැකෝ යන්ත‍්‍ර 25ක් සැලැසුම්වලට අනුව පොළොව සැකසීමේ කටයුතුවල නිරත වෙමින් තිබුණා. පළමු දවසේ මධ්‍යම රාත‍්‍රිය ගෙවිලා යද්දි මුළු බිම් ප‍්‍රදේශයේම පොළොව සකස් කිරීමේ වැඩ අවසන් කරලා දෙවැනි අදියරේ වැඩ පටන් ගත හැකි මට්ටමින් පැවතුණා.

චීනය, ජපානය වගේ රටවල වඩාත් ම ප‍්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ වෙනත් ස්ථානයක සකස් කරන කොන්කී‍්‍රට් කණු, කොන්කී‍්‍රට් ස්ලැබ් ආදිය කොටස් විදියට අරගෙන ඇවිත් අදාළ වැඩබිමේ දී ‘එසෙම්බල් කිරීම’ ඒ කියන්නේ එකලස් කිරීමේ ඉදිකිරීම් ක‍්‍රමවේදය. ඒ අනුව ගොඩනැඟිල්ලේ පාදමට කළාල ආකාරයේ කොන්කී‍්‍රට් ස්ථර යොදනු ලැබුවා. මේ කොන්කී‍්‍රට් කළාල ජලය සඳහා ප‍්‍රතිරෝධී කළාට පස්සේ ඒ මත ‘ජියෝටෙක්ස්ටයිල්’ තාක්ෂණයෙන් යුතු ස්ථර සකස් කෙරුණා. ඊට පස්සේ බිත්ති සඳහා කුලූනු එකලස් කරද් දී, තවත් දවස් එකහමාරක් විතර ගත වෙලා. නමුත් ඒ වෙද් දී සම්පූර්ණ වැඩෙන් පහෙන් එකක් අවසන්.

තුන්වැනි දවසේ රාත‍්‍රිය වෙද් දී සම්පූර්ණ ගොඩනැඟිල්ලේ ම කුලූනු සවි කරලා, ඒ මත අඩි 20×8 ප‍්‍රමාණයේ කොන්කී‍්‍රට් ස්ලැබ් එකලස් කරලා ඉවරයි. ඒ කියන්නේ බිම් මහලේ වැඩවලින් සියයට 60ක් අවසන්. බිම් මහලේ කාමර එකිනෙකින් වෙන් කිරීම්, පළමු මහලේ කුලූනු සවි කිරීම් සහ වහල නිම කිරීම් ආදිය ඊ ළඟ දවසේ සිදු වුණා. මේ වැඩබිමේ ප‍්‍රධාන වශයෙන් ගෘහ නිර්මාණ ශිල්පීන් 12 දෙනකුත් සිවිල් ඉංජිනේරුවන් 150 දෙනකුත්, විදුලි ඉංජිනේරුවන් 130 දෙනකුත්, කම්කරුවන් 3000කට අධික පිරිසකුත්, විවිධ සේවකයන් 1000ක පමණ පිරිසකුත් සේවය කළා. මේ සියලූ ම දෙනා පැය 24 පුරා ම සිදු කළ සේවයේ ප‍්‍රතිඵලයක් විදියට තමයි, මේ රෝහල පසුගිය 3 වැනිදා විවෘත කරනු ලැබුවේ. කොරෝනා වෛරසයේ අවදානම නැති වුණාට පස්සේ මේ රෝහල වෛරස සඳහා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරන්නත් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ විදියට දවස් කීපයක් තුළ ඉදි කරපු චීනයේ පළමු ගොඩනැඟිල්ල මෙය නෙවෙයි. සාර්ස් වෛරසය පැතිරුණු කාලේ චීනයේ බීජිං රෝහලත් දවස් හතක් තුළ ඉදි කරනු ලැබූවක්. එය මේ දක්වාත් සුඛෝපභෝගී ආකාරයේ රෝහලක් විදියට පවතිනවා

දුලංජලි මුතුවාඩිගේ

Previous article“ගිවිසුම් අත්සන් කරන තුරු ආදරයෙන් පිළිගත්ත”
Next articleප්‍රධාන පරිසර දූෂිතයා – ඇමසන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here