DSI සුපර්ස්පෝර්ට් වොලිබෝල්

49

DSI සුපර්ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලිය මෙවරත් පැවැත්වේ. තරගාවලිය අතර තුර තරගාවලියට සහභාගීවන්නන් අතරින් මේ වසරේ ජූලි මාසයේදී බහරේනයේ පැවැත්වෙන 18න් පහළ පාසල් වොලිබෝල් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය තෝරා ගනියි.

පාසල් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ වැඩිම කණ්ඩායම් සහභාගීත්වයක් ඇති මේ පාසල් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, පාසල් වොලිබෝල් සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ එකතුවෙන් සංවිධානය කෙරෙන්නේ 20වැනි වරටයි.

මේ තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පෙරේදා කොළඹදී පැවැති අතර රට පුරා කණ්ඩායම් 5000 ක් පමණ මෙවර තරගාවලියට එක්වේ. පාසල් 198ක සහභාගීත්වයක් ලැබූ මේ තරගාවලිය දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් අදියර දෙකක් යටතේ පැවැත්වේ. දිස්ත්‍රික් මට්ටමෙන් ශූරතාව සහ අනු ශූරතාව දිනා ගන්නා කණ්ඩායම් ජාතික මට්ටමේ තරගාවලියට සුදුසුකම් ලබති.

මෙවර දිස්ත්‍රික් මට්ටමේ තරග මේ මස 28 වැනිදා සිට මාර්තු මස 31 වැනිදා දක්වා ද, ජාතික මට්ටමේ තරග අප්‍රේල් 27 වැනිදා සිට මැයි 07 වැනිදා දක්වාද පැවැත්වීමට කටයුතු යොදා ඇත. අවසන් මහා තරග මැයි 24 සහ 25 දෙදින පැවැත්වීමට කටයුතු සුදානම්කර තිබේ. තරගාවලිය වයස අවුරුදු 11න් පහළ, 13 න් පහළ, 15න් පහළ, 17 න් පහළ සහ 19න් පහළ යන වයස් කාණ්ඩ ඔස්සේ බාලක බාලිකා දෙඅංශයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක පැවැසූවේ සෑම වසරකම පවත්වන මේ පාසල් වොල්බෝල් තරගාවලිය ජාතික ක්‍රීඩාව ඉහළ නැංවීම උදෙසා විශාල දායකත්වයක් සපයන බවයි.

“නිමාවූ දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී වොලිබෝල් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියා. එය දකුණු ආසියාවේ තවත් රටකට අබිබවා යා නොහැකි දක්ෂතාවක්. බීච් වොලිබෝල් ක්‍රීඩාවෙන් රන් පදක්කම් සියල්ල අප දිනා ගත්තා. එහි දක්ෂතම ක්‍රීඩිකාව මේ පාසල් වොලිබෝල් තරගාවලියෙන් බිහිවූ අයෙක්. ඒ නිසා ජාතික ක්‍රීඩාවට. ඩී. එස්. අයි. ආයතනය විශාල සහයෝගයක් ලබාදෙන බව ප්‍රායෝගීකව ඔප්පුවී තිබෙනවා. ඒ පිළිබඳ වොලිබෝල් සම්මේලනයේ ස්තූතිය එම ආයතනයට හිමි වෙනවා” නාලක පැවැසීය.

රටපුරා දක්ෂ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන හඳුනා ගැනීමේ තරගාවලියක් සංවිධාන කිරීමට හැකිවූ හෙයින් තම ආයතනය සතුටට පත්වන බව DSI කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ පැවසීය. ජාතික ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේදී හා සංවර්ධනයේදී තීරණාත්මක කාර්යයක් ඉටු කිරීමට තම ආයතනය පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.  

තරගාවලිය සඳහා වන අයැදුම්පත් අදාළ පාසල් මගින් සහ දිවයින පුරා පිහිටි DSI ප්‍රදර්ශනාගාරවලින් මේ මස 15 වැනිදායින් පසුව ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත. සම්පූර්ණ කරන ලද අයැදුම්පත් ළඟම ඇති DSI ප්‍රදර්ශනාගාරය වෙත භාර දිය හෝ නැතහොත් අංක 257 හයිලෙවල් පාර, නාවින්න, මහරගම යන ලිපිනයේ පිහිටි DSI අලෙවි අංශය වෙත යොමුකළ හැකිය. අයැදුම්පත් භාර ගැනීම මේ මස 25 වැනිදායින් අවසන් වේ.

Previous articleකතරගමට කුණු
Next articleඔස්කාර් සම්මානය“Parasite” ට හිමිවීම වාර්තා පොත අතරට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here