ආයිබොවන්ඩ මද්දුමේ

42

මද්දුමේ කියල ආමන්ත‍්‍රණය කොළාට අහිතක් හිතන්ඩෙපා ආයිබොවන්ඩ. තමුන්නැහැට සජිත් නායකතුමා අලූත් තානාන්තරයක් පිරිනමපු සන්තෝසෙ බෙදා ගන්ඩත් එක්කයි එහෙම ළෙන්ගතු විදිහට ඇමතුවේ. ඊ ළඟ චන්දෙදි රාජපක්ස රජ පෙළපතත් එක්ක පේස් ටු පේස් පයිට් එකක් දෙන්න හිතාන සජිත්තුමාගෙ නායකත්වයෙන් පිහිටුව ගත්ත ය කියන නව සන්ධානෙ මහා ලේකන් පට්ටම හම්බ වෙනවා කියන්නෙ ලේසි-පාසු කෙළියක් ද මද්දුමේ ? අනිත් අතට අනාගතේ අග්ගරාමාත්තිය කිරුළේ උරුමක්කාරයා වෙලා ඉන්න සජිත් කුමාරයා තමන්ගෙ බලතල යටතෙ හාපුරා කියල ප්‍රොදානය කොරපු පළවෙනි පත්වීම හිමි කොර ගන්න වාසනාවක් ලැබීම තමුන්නැහැගෙ හත්මුතු පරම්පරාවටම ආඩම්බර වෙන්ඩ ඇහැකි මංගල නිමිත්තක් වෙනවා සිකුරුය

පක්සෙට බැඳිච්ච දවසෙ හිටන් ම කොටන් ඇදපු පරණ හස්තියෙක් හැටියට වගේම අත්තෙන් අත්තට පනින එදාවේල ලේබලේ අලවා නොගත්තු පොලිටික්කෙක් හැටියටත් ඔය තානාන්තරේ දරන්න තමුන්නැහැට ඕනවටත් වඩා සුදුසුකං තියෙනවා. එහෙම උනත් ආයිබොවන්ඩ නරක ගිරහයෙක් ලබපුවහම අලි රාලහාමිලාගෙ හොඩවැල් අස්සෙත් කටුසුරාලලා රිංගන විත්තිය කුමාරතුංග පඩිතුමාගෙ හීන්සැරේ පොතෙන් මුන්නැහැත් කියවල ඇති නෙ. අන්න ඒ විදිහේ අලකලංචියක් සජිත් කුමාරයටයි, මද්දුම මහා සෙනවිතුමා ඇතුළු අඟුරු කල්ලියටයි සිද්ද වෙන්ඩ යන බව මේ දවස්වල මාද්දිය ඔස්තාර්ලාගෙ පට්ටන්දරවලින් ඕසෙට කියවෙනවා. බාගෙ වෙලාවට ඕවත් සද්දන්ත කුලේ හස්ති රාජයාගෙ අනුදැනුම ඇතුව ඔහෙලට කකුල් මාට්ටු දාන හැබිචෝල් අලින්ගෙ බාල වැඩ වෙන්ඩැති නේද මද්දුමේ ?

කවුරු මොන සන්ධාන අටව ගත්තත් අලියා මාක් එකටයි, අපේක්ෂක ලයිස්තුවලටයි අත තියන්න ආවොත් බලාගන්න ඇහැකි ය කියල ඉන්ස්පැක්ටර රංගෙත් ඊයෙ පෙරේදා තගරියක් දැම්ම නේ ද ලේකම්තුමෝ ? කුත්තියාදිකාරි සබාවේ හස්තිරාජයන් බැහැදැකලා පත්වීම් ලිපිය බාරගන්න කං සජිත් ලොක්කා නිකංම නිකං සොක්කෙක් විතර ය කියල කතාවකුත් ඒ අව්අස්සෙ ප්‍රොචාරය වෙනවා. සන්දානේ මහ ලේකම් ඇතු`ඵ සියලූ තනතුරුවලට සුදුසු නිලදාරීන් තෝරන්න පත් කොළා ය කියන නවීන්-ලක්ස්මන්-රවී තුන්කට්ටුව සජිත්වාදීන්ගෙ බෙලි සිඳින්න අටෝපු කැපිලි මණ්ඩලයක් ය කියන කතාවේ ඇත්තක් තියෙනව ද මද්දුමේ ? මාද්දිය බාස්ලා කියන විදිහට නං රනිල් සෑර්ගේ අපත ලයිස්තුවේ නම් කොරලා ඉන්න අනතුරුදායක පුද්ගලයන් හය දෙනා අතර තමුන්නැහැත් ඉන්න බව පේනවා.

දැන් සිද්ද වේගන යන කුළල් කා ගැනිල්ලෙ හැටියට නං රනිල්-සජිත් බල අරගලය කෙළවර වෙන්නේ නකුටු දෙක විතරක් ඉතුරු වුණ බළල් පොරයක අවසානය වගේ ය කියලයි මුන්නැහලගෙ ද`ගර නැටුම් බලලා හොඳටම හෙම්බත් වෙලා ඉන්න පාක්සිකයො නං කියන්නෙ. හැබැයි ඉතිං රටට හැබෑවටම ආදරය කරන පුරවැසියන්ගෙ අදහස නං රටෙයි, ජනතාවගෙයි පුරස්න ගැන අබමල් රේණුවක් තරංවත් නොතකා තම තමන්ගෙ බඩ-කට ගැන විතරක් හිතන දේසපාලූවන් මොන විදිහට හරි දේසපාලන බූමියෙන් අතුගෑවිල යන එක දුකට නොව සතුටට කාරණයක් කියලයි. ඒ කොයිහැටි උනත් මද්දුමේ තමුන්නැහැගෙ මහලේකම් පයින්ඩෙ යකාට ගියත් අඩුම ගාණේ අපේක්ෂක ලයිස්තුවෙන් නොකැපී සිටීමේ වාසනාවවත් ලැබෙන්න ය කියලා දන්න අඳුරන දෙවි දේවතාවුන්ගෙන් දැන් දැන්ම පිහිටාදාර ඉල්ලා හිටින එක නුවණටහුරු බවත් මතක් කොරලා දෙන්න කැමතියි.

විශ්වමිත‍්‍ර

Previous articleඅර්බුදය විසඳන්න විදුලිය තවත් ණය වෙයි ! 
Next articleලංකා e-paper (2020-02-09)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here