අර්බුදය විසඳන්න විදුලිය තවත් ණය වෙයි ! 

12

ලංකා විදුලිබල මණ්ඩලය තුළ මතුව ඇති මූල්‍ය අර්බුදය විසැඳීම වෙනුවෙන් මේ මොහොතේ කළ හැකි එකම දේ විදුලි බිල වැඩි කිරීම හෝ විදුලි කප්පාදුව බව විදුලිබල මණ්ඩල නිලධාරීන් රජයට පෙන්වා දී ඇත.

විදුලිබල හා බලශක්ති ඇමති ඇතුළු රජයේ ඉහළ ප‍්‍රධානීන් හා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් අතර පාර්ලිමේන්තුවේ දී ඉකුත් බ‍්‍රහස්පතින්දා (06දා) පෙරවරුවේ පැවැති සාකච්ඡාවක දී නිලධාරීන් මේ බව පෙන්වා දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය කෝටි ගණනක ණයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති බැවින්, තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට ඉන්ධන නිකුත් කිරීම නවතා දැමීම හේතුවෙන් පසුගිය දා නොදන්වා දිනකට පැය දෙක බැගින් විදුලිය කප්පාදු කිරීමට මණ්ඩලයට සිදුවිය.

මේ පිළිබඳව මැදිහත් වූ විදුලිබල අමාත්‍යාංශය ණය සීමාව ඉහළ දමා තාවකාලිකව ගැටලූව සමථයකට පත් කළේ ය. ඉන් අනතුරුව ගන්නා ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් පැවැති අතර, එහි දී විදුලිබල මණ්ඩල නිලධාරීන් සඳහන් කර ඇත්තේ, නව විදුලි බලාගාර නියමිත කාලයට ස්ථාපිත නොවීම හේතුවෙන් ඉල්ලූමට සරිලන සැපයුමක් ලබා දීමට වී ඇත්තේ, ඉන්ධන විදුලි බලාගාරවලින් බවයි.

ඒ වෙනුවෙන් අධික වැය බරක් දැරීමට සිදු වන බවද විදුලිබල මණ්ඩලය පෙන්වා දී ඇත. මෙහි දී විදුලිබල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා කියා ඇත්තේ, පවතින ණය ගෙවීම වෙනුවෙන් වෙනත් ණයක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කරන බව ය. එම තීරණය ඉදිරියේ දී දැනුම් දෙන බව ද ඇමතිවරයා කියා තිබේ.

ලසන්ත වීරකුලසූරිය

Previous articleරුහුණු විශ්වවිද්‍යාලයේ විභාග වංචාවක් ?
Next articleආයිබොවන්ඩ මද්දුමේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here