පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී තනතුරට තමන්ට සමීප නිලධාරියකු පත් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර තිබූ සීතල යුද්ධයෙන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ජයග්‍රහණය කළේ ය. ඒ පසුගිය 06 වැනිදා ජාතික පොලිස් කොමිසමේ පැවැති රැස්වීමෙන් පසුව ය.
විශේෂ කාර්ය බළකා ප්‍රධානී තනතුරට වැඩ බලන පොලිස්පතිවරයා විසින් නිර්දේශ කර තිබුණේ, බස්නාහිර පළාත් උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ය. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සමීප නිලධාරියෙකි. එහෙත්, අගමැති මහින්ද රාජපක්ෂ විසින් එම තනතුරට නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකගේ නම යෝජනා කර තිබිණිි. මහින්ද පාර්ශ්වයෙන් අවධාරණය කර තිබුණේ, විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් එම බළකායේ සේනා විධායක තනතුර දරන කාලයේ එහි නියෝජ්‍ය සේනා විධායක තනතුර දැරුවේ ද ලයනල් ගුණතිලක බවයි. මේ ආකාරයට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ නම් පොලිස් කොමිසමට ඉදිරිපත් වී තිබූ අතර, 06 වැනිදා පැවැති කොමිසමේ රැස්වීමේ දී වැඩ බලන පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබුණේ, අදාළ තනතුරට ලයනල් ගුණතිලක පත් කිරීමට ය. මෙම පත් කිරීම කළ යුත්තේ, පොලිස්පතිවරයා විසිනි.
මෙම අර්බුදය නිසා පොලිස් විශේෂ කාර්ය බළකායේ ඉහළ නිලධාරීන් ද කොටස් දෙකකට බෙදී ඇති අතර, ඔවුහු විවිධ උපක්‍රම යොදා ගනිමින්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාගේ සුදුසුකම් පිළිබඳව ප්‍රචාරය කරමින් සිටිති.
පුවත්පත මුද්‍රණයට යනතුරු පොලිස්පතිවරයා මෙම පත්කිරීමට අදාළ අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කර තිබුණේ නැත.
ලසන්ත වීරකුලසූරිය