අද අරගලයට දින 50 යි – එදා “ඔව්හු ග්‍රීක දෙවියා මරා කැළණි ගඟට ඇද දැමූහ”

179

– රිචඩ් ද සොයිසා –
අරගලයට දින 50 සපිරෙයි. තරුණ පිරිස් තවම සටන් වැද සිටිත්. ඉතිහාසය නැවත ලියැවෙයි.
මෙයට දශක තුනකට පෙරද මෙවන් සමයක් වීය.එකල මම රඟපෑමේ පිපාසයෙන් පෙලුන
තරුණයෙක් වීමි. අවස්තාවන් සොයමින් සැම තැන නිදැල්ලේ හැසිරුන මට ” ලයනල් වෙන්ඩ්ට්හි” පැවැත්වෙන නාට්‍ය වැඩමුළුවක් ගැන තොරතුරක් ලැබිණ.එය ” වඩු මඩුව”
නමින් හැඳින්වින. එය මෙහෙයවූයේ “රිචඩ්” නම් තරුණයෙකු විසිනි. මුල් දිනයේදී මා සෙනෙහසින් පිලිගත් “රිචඩ්” මට වඩා වයසින් වැඩිමහල් වුවද පලමුව මාගේ ගුරුවරයාද; දෙවනුව මිතුරාද ;තෙවනුව සොයුරාද විය.
එවිටද 88-90 තරුණ පිබිදීමේ ගිණිදැල්
නිවීගොස් නොතිබිණි.”පියාණෝ”දැහැමෙන්
සෙමෙන් රාජ්‍ය විචාල සමය විය එය.කුප්‍රකට
“බටලන්ද ” පසෙකින් ක්‍රියාත්මකව තිබිණ.
මතකය නිවැරදි නම් අරවින්ද හෙට්ටිආරච්චි,
නිර්මලා මාටිස් ඇතුලු විස්සක පමණ කණ්ඩායමක්” වඩු මඩුවේ” පුහුණුව ලැබූහ.
දැන් අපි නාට්‍යයක් නිර්මාණය කිරීමේ
අවස්තාවට එලැඹ සිටිමු. අප නිදහස් ආරේ විචිත්‍ර නාට්‍යයක් නිර්මාණය ඇරඹීමු.එයින්
බරපතල ලෙස ;පැවති පාලනය හාස්‍යයට සහ
උපහාසයට ලක්විය හැකිව තිබිණ.”මේ කවුද?
මොනවද කරන්නේ?”යනු නාට්‍යයේ නම විය.
එය පැවති රජයේ මැතිවරණ “තේමා පාඨය”
ඇසුරෙන් සැකසුනි.” ඉන්න හිතෙන රටක්”
මෙනි.
අප සතියට දින කිහිපයක් ලයනල් වෙන්ඩ්ට්හි පුහුණුවීම් කෙරුවෙමු. මා රිචඩ් හට වඩාත් සමීප මිතුරෙකු වීමි. සවස් යාමයේ පුහුණුව අවසන අප දෙදෙනා එවකට ” ලයනල් වෙන්ඩ්ට්”රඟහලේ ඉහල මහලේ වූ සුන්දර “PUB” එකට ගොඩවැදී බියර් වීදුරුවක් තොල
ගාමින් කලාව, දේශපාලනය, ජීවිතය මේ යනාදී
විවිධ මාතෘකා ගැන සැනසිල්ලේ කතා කරමින්
කාලය ගත කලෙමු. පසුව ඔහු සිය යතුරු පැදියෙන් මා බස් නැවතුමට හැරලවයි. සමහර
දිනෙක මා ඔහුගේ වැලිකඩවත්තේ නිවසේ රැය පහන් කරමි. රිචඩ්ගේ දයාබර මව ; මනෝරාණී සරවනමුත්තු මහත්මිය මට දරුවෙකුට මෙන් සංග්‍රහ කරන්නීය.

“මේ කවුද? මොනවද කරන්නේ?” 1990-පෙබරවාරි 20 දින දෙහිවල එස්.ද එස්. සමරු රඟහලේ වේදිකාගත වීමට සියල්ල සූදානම්ය. අප නගරය පුරා පෝස්ටර් ඇලවීමු.සියල්ලෝ දැඩි උනන්දුවෙන් මංගල දර්ශණයට සූදානම් වීමු.
එය බිහිසුණු රාත්‍රියක් විය.18 දා රාත්‍රියේ රිචඩ්ගේ නිවසට පැමිණි නාඳුනන පිරිසක් ඔහුව
පැහැරගෙන යන ලද බව රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ නොකඩවා ප්‍රචාරය විය.රිචඩ්
අතුරුදහන් විය.
රිචඩ් අතිශය කඩවසම් තරුණයෙකි.
මනාව වැඩුනු පැහැපත් හැඩැති සිරුර ග්‍රීක දේව
ප්‍රතිමාවක් සිහි ගන්වනසුළු විය.පාසල් වියේ
සිටම ඉංග්‍රීසි වේදිකාවේ සම්මානනීය ෂේක්ස්පියර් නාට්‍ය රංගන ශිල්පියෙකු වූ රිචඩ්
“යුගාන්තය” චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා රඟපෑ චරිතය වූ ” සවිමන් කබලාන” ගේ රැඩිකල් පුත්‍රයා ; “මාලින් කබලාන” ලෙස අමරණීය භූමිකාවක් නිරූපණය කළේය.”සත්‍යග්‍රහණය”
“විරාගය” වැනි සිනමාපටද ඔහුගේ රැඟුමින් ඔප වැටුනි.
1958 මාර්තු 18 දින උපන් ඒ වන විට
31 වියැති තරුණයෙකු වූ නමුදු ඔහු සුප්‍රකට ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන කිහිපයකම ශ්‍රී ලාංකේය වාර්තාකරු මෙන්ම; මානව හිමිකම්
ක්‍රියාකාරිකයෙක් ලෙසද බලවත් නාමයක් ගොඩ නගාගෙන තිබිණි.
රිචඩ්ගේ අතුරුදහන් වීමත් සමඟ ඔහුට හානියක් නොකරන මෙන් බලවත් ජාත්‍යන්තර
ඉල්ලීමක් ක්‍රියාත්මක විය. නමුදු ඊලඟ දිනයේදී නිරුවත්කොට ; හිසට සහ ගෙලට වෙඩි තබා
ඝාතනය කොට කැලණි ගඟට ඇද දැමුවායැයි
සැක කෙරුණු ඒ සුන්දර තරුණයාගේ සිරුර
අඟුලාන මුහුදු තීරයට ගොඩ ගසන ලදී.
( මේ සිදුවීම ඇසුරෙන් මා ලියූ ” ඩොල්ෆින් පැංචා” කෙටි කතාව මගේ මුහුණු පොතේ පලව ඇත.කරුණාකර ;කැමතිනම් කියවන්න .)
මෙවන් බිහිසුණු වාතාවරණයක් තුල
රිචඩ්ගේ අවසන් කටයුතුවලට සහභාගි වීමට එවකටත් වැඩිහිටියන් භාරයේ සිටි අපට නිවෙස්වලින් තහනම් පැනවුනද නාට්‍යයට
සම්බන්ධව සිටි මා ඇතුළු තරුණයන් සය දෙනෙකු කෙසේ හෝ එයට සහභාගි වීමු.එය
අවසන අප සයදෙනා කොටුව දුම්රිය ස්ථානයට පැමිණි අතර වල්පොල; හුණුපිටිය; වනවාසල වැනි නගරවල පදිංචි මිතුරන් පස්දෙනා නිවෙස්වලට යාමට දුම්රියට නැඟුනහ.
෴ඔව්හු එදින සදහටම අතුරුදහන් විය෴
( දැන් කාලයත් සමඟ මට ඔවුන්ගේ නම් අමතකව ගොසිනි.නැතහොත් ඒ වේදනාබර මතකය මා මනසින් මකා දැමුවා විය හැක.එදා
බසයෙන් යාමට සිදුව නොතිබුනේනම් මාද
ඔවුන් ගිය මගම යනු ඇත)
රිචඩ්ගේ දයාබර ගෞරවණීය මාතාව
මරණීය තර්ජණ මැද සිය දරුවාට සාධාරණය
ඉටුකර දෙනමෙන් අනවරත අරගලයක යෙදුනාය.රිදුම් දෙන ලයට සැනසුමක් දෙමින්
2004 වසරේදී සිය ආදරණීය පුතු සොයා
ස්වර්ගය බලා නික්ම ගියාය.සතුටින් ඉන්න!
අරගලයට දින 50 සපිරෙන
මොහොතේ මේ සටහන තබනුයේ මේ විෂම
චක්‍රය යලි යලිත් ක්‍රියාත්මක වන බව දෙනෙත් ඉදිරිපිට පෙනෙන සමයකය. අද මෙන්ම එ කලද
නිර්භය තරුණ/ තරුණියෝ අසාධාරණයට එරෙහිව සටන් කළහ. වද විද මිය පරලොව
ගියහ. ඒ අද මෙවන් ඉරණමකට මවුබිම මුහුණපානු වලකන අටියෙනි.
මේ කෙටි සටහන
මුහුණු පොතේ සටහන් තබමින් “88-89 මතකද?” යනුවෙන් විමසන ’95 න් පසු උපන්
තරුණ තරුණියනට නෙත ගැටේවා!
යහපත් සමාජයක් වෙනුවෙන් ( අවංකව)
අරගල කරනා තරුණ තරුණියන්ට/ කලාකරුවන්ට අරගලයේ 50 දිනය සමරණ දා
මේ සටහන උපහාරයක්ම වේවා!
– හේමන්ත ප්‍රසාද් (අමතක නොවන මතක (01))

 

Previous articleරාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉවත්වෙන ලෙස දැනුම් දෙයි – ITN සභාපති ඉල්ලා අස්වෙයි
Next articleඅම්මාට අමාරුයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here