ජනපති ඥානක්කාගේ දේදුනු ප්‍රයෝගයට නතු වුණාද ?

72

වර්තමානයේ රට මුහුණ පා ඇති ආර්ථික ඛේදවාචකය සමඟම පැවසෙන පුද්ගල නාම අතරේ ඥානක්කා නමින් හැඳින්වෙන කාන්තා නාමයක් ද තිබේ. අනුරාධපුරයේ ආරූඪයෙන් ශාස්ත්‍ර කියන්නියක බව පැවසෙන ඇගෙන් ශාස්ත්‍ර අසා ඒ අනුව කටයුතු කිරීමේ ඇබ්බැහියාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තුළ ඇතැයි යන්න චිර ප්‍රසිද්ධ කරුණකි. ඒ අනුව ඥානක්කා නමින් හඳුන්වන ඒ කාන්තාව දේව ආරූඪයෙන් පවසන කරුණු මත පදනම් ව ජනාධිපතිවරයා රටේ අනාගතය සම්බන්ධ වැදගත් දේශපාලනික තීන්දු තීරණ ගැනීම නිසා, රට වර්තමානයේ මේ පවතින ඛේදනීය තත්වයට ඇද වැටුණේය යන්න ප්‍රසිද්ධ රහසකි.

ගත වූ වසර තිහකටත් වැඩි කාලය තුළ මම වරින් වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පැවසෙතැ’යි බොහෝ දෙනකු කී ශාස්ත්‍ර පොළ සිය ගණනක් විමසුමට ලක්කොට ඇත්තෙමි. ඒ අනුව එම ශාස්ත්‍රකරුවන් තම ශාස්ත්‍ර මගින් එලෙස ‘සත්‍යය’ ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව මනා වැටහීමක් ලබා ගැනීමට මට හැකිව තිබේ. මීට පෙර අවස්ථා ගණනාවක දී අනුරාධපුර ගුවන් තොටුපළ පාරේ කැටේ හන්දියේ පිහිටි මෙම ඥානක්කා නමැත්තියගේ දේවාලයට යාමට මා අදහස් කළ ද මේ දක්වාම මට ඒ අවස්ථාව උදා වී නැත. ඒ නිසා ඇගේ එම ශාස්ත්‍ර කීමේ ක්‍රමවේදය සම්බන්ධ යම් විමසුමක් කිරීමට නොහැකි විය.

මා හට දැනගැනීමට ලැබී ඇති අන්දමට මේ ඥානක්කා ශාස්ත්‍ර කියන බව ප්‍රකාශ වනුයේ කාලි දෙවඟනගේ බලයෙනි. අප ජන සංස්කෘතියට අනුව සෑම විටම මෙවැනි ශාස්ත්‍ර කියැවෙනුයේ මෙම විශ්වයේ ඇතැයි සිතන මිනිස් බුද්ධියට වඩා අතිශයින් ප්‍රබල බුද්ධි ප්‍රභාවක ආලෝකයෙනි. දේව වරමින් සහ දේවාරූඪයෙන් වශයෙන් දෙයාකාරයකින් හඳුන්වනු ලබනුයේ ද එම විශේෂ බුද්ධියයි. මේ අතර දේවවරම, දේවාරූඪය යන පැරණි හැඳින්වීම් වෙනුවට මෙම බලය ‘විශ්ව ශක්තිය’ ලෙසම හඳුන්වමින් මෙලෙස ශාස්ත්‍ර කියන්නෝ ද දැන් අප සමාජයේ සිටිති.

ඥානක්කා ද “කාලි වරමින් “ශාස්ත්‍ර කියන බව පැවසෙන තවත් එක් චරිතයක් පමණි

කෙසේ හෝ මෙම ශාස්ත්‍ර කීම ක්‍රම දෙකකින් සිදුවේ. ඒ ප්‍රකෘති මනැසින් හා මවා ගන්නා ආරූඪයකිනි. මෙම ආරූඪය(Possession )යනු දිව්‍යමය හෝ වෙනත් බාහිර ගුප්ත බලයක් යමකුගේ ශරීරය තුළට පිවිසීමක් නොවේ. ඒ පුද්ගලයා තුළින්ම ද්විතීය පෞරුෂයක් ඉස්මතු වීමකි. බොහෝ විට මෙය යමකුගේ මානසික රෝගයක් හෝ මානසික අර්බුදයක් විදහා පාන්නකි. එහිදී ඒ පුද්ගලයාගේ හැසිරීම් රටාව වෙනස් වී වෙනයම් පෞරුෂ ලක්ෂණ පළ වීම මත ඒ තැනැත්තා තුළට දෙවියකු, භූතයකු හෝ වෙනත් අමනුෂ්‍යකු ඇතුළු වී ඇතැයි සමාජය සිතයි. අධික කෝපයක දී වුව සාමාන්‍ය හැසිරීම් වෙනස් වීම “යකා වැහීම” යනුවෙන් හඳුන්වනු අපි අසා ඇත්තෙමු. නමුත්, මෙම ආරූඪයෙන් ශාස්ත්‍ර කීම්වලදී සිදුවනුයේ ස්වභාවික ආරූඪයකට වඩා තමන් විසින් මවාගන්නා ද සමාරෝපණ තත්ත්වයක් (Impersonation) බව පසුගිය කාලය තුළ මට නොයෙක් වර නිරීක්ෂණය වී තිබේ.

අප රටේ මෙසේ ආරූඪයෙන් ශාස්ත්‍ර කීමේ සංස්කෘතිය තුළ දැකිය හැකි විශේෂත්වයක් තිබේ. එනම් මෙම ආරූඪයෙන් ශාස්ත්‍ර කීම බොහෝ විට කාන්තාවන් කෙරෙන් දැකිය හැකි වීම ය. ඔවුන්ගෙන් ද සියයට අනූවක්ම “කාලි වරමින් “ශාස්ත්‍ර කියන බව පැවසෙයි. මෙම සටහනට අදාළ ඥානක්කා ද එබඳු එක් චරිතයක් පමණි. මොවුන් බොහෝ විට මෙම කටයුත්ත කරනුයේ තමන්ගේ පෞද්ගලික දේවාල තුළ ය. ඥානක්කා ද එබඳු දේවාල හිමිකාරියකි. මේවා පවත්වා ගෙන යන්නියන් ජනතාවට සියුම් ලෙස ඒත්තු ගන්වන කරුණක් තිබේ. එනම් එම සුවිශේෂ බලය, ශක්තිය ස්වභාවික ලෙස ජනනය වන අවස්ථාවලදී හැර සිතූ සිතූ වේලාවන්හිදී අපට මෙම ශාස්ත්‍ර ඇසීම කළ නොහැකිය යන්න ය.

මෙම ශාස්ත්‍ර කියන ස්ථාන සම්බන්ධ පරිසරයන්හි දී තද රතු, තද නිල්, තද කහ වැනි තද පැහැති තිර පට විවිධ පැහැයන්ගෙන් යුතු මල් ආදී වර්ණ විෂමතා තුළින් ද ශාස්ත්‍ර අසන්නවුන්ගේ මනැස් තුළ තීව්‍ර මානසික ඇණවුම් පිබිදවීම සිදුවෙයි. මීට අමතරව තම ආගමික සංස්කෘතික පදනම අනුව මනැසට තීව්‍ර බලපෑම් ඇතිකරන ධූපමය ආඝ්‍රාණයන් මෙම ස්ථානවල නොඅඩුවම භාවිත කෙරෙන බව ඔබ ද අත්දැක තිබෙන්නට පුළුවන.

ඊටත් අමතරව මෙම ශාස්ත්‍රය කීමට පෙර අසන්නාට තබා කියන්නාටවත් එකම වදනක්වත් නොවැටහෙන දේව භාෂාව නම් වන අමුතුම ශබ්ද මාලාවක් මුවින් පිටකරන ශාස්ත්‍රකරුවෝ බොහෝ විට ඒ සමග තියුණු නාද නිකුත් වන සීනු සහ බෙර ද හඬවති. මෙම සියලු තත්ත්වයන් යටතේ ඒ වන විට ශාස්ත්‍ර පිළිබඳ විශ්වාසයකින් යුතු තැනැත්තාගේ මනැස හොඳ හැටි ‘හිරිවැටී’ ඇති බව රහසක් නොවේ. බොහෝ ශාස්ත්‍ර පොළවල දේව වරමින් හෝ දේවාරූඪයෙන් ශාස්ත්‍ර කීම ඇරඹෙනුයේ ඉන්පසුව ය.

ජනපතිවරයාත් ඇබ්බැහියාවක

දැන් අපි මඳකට එවන් තැනකින් ශාස්ත්‍රයක් ඇසීමට යන තැනැත්තා පිළිබඳව විමසා බලමු. යමකු මෙවන් ගුප්ත ශාස්ත්‍රයක පිහිට පතනුයේ තම ජීවිතය සම්බන්ධ කුමක් හෝ නිරාකරණය කරගත නොහැකි ප්‍රශ්නයක්, ගැටලුවක්, අර්බුදයක් හමුවේ පමණි. එසේම ඒ තැනැත්තා එම ශාස්ත්‍රය ඇසීමට යනවිට ඒ ගැටලුව මනැසේ මස්තකප්‍රාප්ත කරගනියි.

එමෙන්ම ඒ වන විට තරමක හෝ මානසික ආතතියකට පීඩාවකට පත්ව හිඳින එම තැනැත්තා තුළ ශාස්ත්‍රයේ පිහිටෙන්වත් තම ප්‍රශ්නයට, ගැටලුවට, අර්බුදයට කිනම් හෝ විසඳුමක්, පිහිටක්, හව්හරණක් ලැබේය යන විශ්වාසය තදින්ම තහවුරු වෙයි. ඒ අනුව යමකුගේ පෞරුෂය සහ ඔහු එදිනෙදා මුහුණපාන අසීරු අමාරු තත්වයන් හමුවේ ඊට විසඳුම් මෙම ශාස්ත්‍රකාරියන් වෙතින්ම සෙවීමේ ඇබ්බැහියාවක් ඇති කර ගන්නා බව පැහැදිලි ය. ජනපතිවරයා ද එවැනි නැඹුරුවකට, ඇබ්බැහියාවකට නතු වී සිටින බවට සමාජය පුරා රාවයක් පවතී.

“‘හරි නම් හරි කියපන් දරුවා නැත්නම් නෑ කියපන්’”

මෙවන් ශාස්ත්‍ර කීම්වලදී බොහෝ දෙනකු නොතකා හරින තවත් වැදගත්ම දෙයක් තිබේ. එනම් ශාස්ත්‍ර වශයෙන් එලෙස පැවැසෙන කරුණු සෘජුවම එක එල්ලේම නොපවසා ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ශාස්ත්‍රකාරිය ශාස්ත්‍රය අසන්නාගෙන්ම විමසා සිටීම ය. ‘හරි නම් හරි කියපන් දරුවා නැත්නම් නෑ කියපන්’ දේවරූඪයෙන් ශාස්ත්‍ර කියන බව පවසන මෑණිවරු ශාස්ත්‍රය වශයෙන් කරුණින් කරුණ පවසන අතරේ එසේ විමසන්නට අමතක නොකරති.

මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ වලදී මමද ශාස්ත්‍ර කරුවන් සියයකට වැඩි ප්‍රමාණයක් හමුවේ ශාස්ත්‍ර අසන්නෙකු ලෙස පෙනී සිට ඇත්තෙමි. නමුත් ඒ කිසිම ශාස්ත්‍රකරුවෙකුට හෝ කාරියකට මා මේ කරන්නේ ව්‍යාජයක් බවත්, ඔවුන් පිළිබඳ ගවේෂණයක් බවත් තමන්ගේ දේවාරූඪය තුළින් දකින්නට නොහැකි වූ බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. මෙසේ මා ශාස්ත්‍ර අසන්නට ගිය සෑම අවස්ථාවකදීම මගෙන් ද එසේ ”හරි නේද දරුවා නැත්නම් නෑ කියපන්” යනුවෙන් යළි යළිත් ඔවුන් විමසීම මම අත් දුටුවෙමි . ඒ අනුව ශාස්ත්‍ර කීමක් ලෙස සමාජයේ බොහෝ දෙනකු හඳුන්වන මෙම තත්ත්වය, වඩාත් නිවැරදි ලෙස අර්ථකථනය කළ හැක්කේ ශාස්ත්‍ර කීමක් ලෙස නොවේ. ශාස්ත්‍රකාරිය විසින් ශාස්ත්‍රය අසන්නාගෙන් කරනු ලබන ප්‍රතිවිමසීමක් ලෙසිනි.

මෙම ශාස්ත්‍ර කීමේ ක්‍රමය ලෝකයේ බොහෝ රටවල විවිධ ජන සංස්කෘතීන් හා බද්ධව සිදු කෙරේ. එහෙත්, මෙහි කිසිදු ගුප්ත ශාස්ත්‍රයක් නොමැති බවත් මෙහි ඇත්තේ හුදෙක් උපාය මාර්ගික ක්‍රමවේදයක් බවත් ලෝකයාට පිළිගත හැකි ආකාරයට ඉදිරිපත් කරන ලද්දේ දහනව වන සියවසේ ඇමරිකාවේ විසූ ප්‍රදර්ශන ශිල්පියකු, ගත්කතුවරයකු, ව්‍යාපාරිකයකු සහ දේශපාලනඥයකු ද වූ ෆීනිගස් ටේලර් බානම් විසිනි. එනිසාම මෙය ‘බානම්ගේ බලපෑම’(Barnum Effect) ලෙස හඳුන්වනු ලැබේ.
එමෙන්ම යමකු මෙලෙස සියුම් ලෙස මනෝමය ග්‍රහණයට නතු කරගනිමින් ඒ තැනැත්තාට ලබා දෙන මානසික ඇණවුම් මගින් එලෙස සිත කියැවීමේ ක්‍රමය සීතල කියැවීම( Cold Reading) යනුවෙන් ද හැඳින්වෙයි.

ඒ අනුව ඇතැම් ශාස්ත්‍රකරුවෝ ශාස්ත්‍රය ඇසීමට පැමිණෙන තැනැත්තා ගේ ස්ත්‍රී පුරුෂ භාවය, වයස් පරාසය, ඇඳුම් පැළඳුම්, කතාබහ, හැසිරීම් සේම දේහ භාෂාමය ලක්ෂණ ද සැලකිල්ලට ගනිමින් තම ශාස්ත්‍රය නිවැරදිව පැවසීමට තරම් දක්ෂ වෙති. ශාස්ත්‍ර කීමේ යෙදෙන බොහෝ දෙනකුට මෙම හපන්කම උප්පත්තියෙන්ම හිමි වීම ද විශේෂත්වයකි.
එමෙන්ම ඔවුන්ගේ මෙම ප්‍රශ්න කිරීම්වල ද පහසුවෙන් හඳුනාගත හැකි මාදිලියක් තිබේ. එනම් ඔවුන් අසන එක් ප්‍රශ්නයක් තුළ වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකු මුහුණ දෙන පොදු ප්‍රශ්න කට්ටලයක්ම මනාසේ ගොනුව තිබීම ය.
ඒ ඔස්සේ ශාස්ත්‍ර කීමේ පළමු වටය නිමා කරන ශාස්ත්‍රකාරියට ඉන්පසු දෙවෙනි වටයට පැමිණීමට පුළුවන. මෙලෙස ශාස්ත්‍ර කීමේ මුවාවෙන් ශාස්ත්‍ර අසන්නාගෙන් ඉතා සූක්ෂ්ම අයුරින් දැනගන්නා කරුණු මතින් තමන් පවසන ශාස්ත්‍රය ගොඩ නගා ගන්නා මෙම උපාය, අනුයාත බැහැරලීමේ ක්‍රමෝපාය(Process of Elimination) නම් වන විද්‍යාත්මක සිද්ධාන්තය මත පදනම් වෙයි.

“ජනපති ඥානක්කාගේ දේදුණු ප්‍රයෝගයට නතු වෙලා”

එමෙන්ම දේදුනු ප්‍රයෝගය (Rainbow Ruse) නමින් හැඳින්වෙන උපාය මාර්ගය ද සමහරෙක් මෙහිදී ප්‍රයෝජනයට ගනිති. දේදුන්න යනු වර්ණ කිහිපයක සංකලනයකි. එබැවින් එහි නිශ්චිත වර්ණයක් නොමැත.

ඒ අනුව දේදුනු ප්‍රයෝගය ඔස්සේ ශාස්ත්‍ර කීමේ දී ද ඕනෑම අයකු තුළ පැනනැඟිය හැකි මානසික ගැටලු, අර්බුද ආදිය පිළිබඳ පොදු දර්ශකයක් ශාස්ත්‍ර අසන්නා වෙත යොමු කිරීම බොහෝ ශාස්ත්‍රකරුවන්ගේ උපාය මාර්ගයකි. “දැන් ඔය දේ හිතින් අයින් කර ගන්නම බෑ නේද?” යනුවෙන් ශාස්ත්‍රකරුවකු වෙතින් නැගෙන ප්‍රශ්නයක් හමුවේ ඕනෑම පුද්ගලයකු තුළ බල පැවැත්වෙන ආත්ම සංවේදීතාව හමුවේ තමන් මුහුණ දී හිඳින කිනම් හෝ පැනයක් සිහියට නැංවෙනු ඇත. ජනාධිපතිවරයා මෙම ශාස්ත්‍ර ඇසීම මඟින් ඥානක්කාගේ දේදුණු ප්‍රයෝගයට නතු වී ඇතැයි යන සාධාරණ අනුමානය අප සිත් තුළ ඇති වන්නේ ඒ අනුව ය.
“කොහොම හරි දියුණු වෙන්න බැලුවට අඩියක් ඉස්සරහට තියන කොට අඩි දහයක් පස්සට යනවා වගේ තේරෙනවා නේද?” යනුවෙන් ද සමහර ශාස්ත්‍රකරුවෝ අසති. ඒ උත්සාහය යනු සෑම විටෙකම අසීරු වූවක් සේම, ඒ අසීරුව වැඩි වන තරමට ඒ පුද්ගලයාගේ මානසික ආතතිය ද ඉහළ නැංවෙන බව ඔවුන් මනාව දැන හිඳින බැවිනි.

“ඥානක්කාට දෙවියකු ගේ ආරක්ෂාව කෙසේ වෙතත් විශේෂ පොලිස් බල ඇනියක බැල්ම”

කෙසේ හෝ ශාස්ත්‍ර ඇසීමට යාමේ දී තමන් පිළිබඳ සත්‍ය තත්වයන් වසන් කරන තරමට එම ශාස්ත්‍ර මගින් පැවසෙන දෑ ද අසත්‍ය බවට පත් වන බව ඒකාන්ත සත්‍යයකි. මා ඒ බව පවසනුයේ ඒ සම්බන්ධ න්‍යායික කරුණුවලට අමතරව එවන් ස්ථානවල ඇති ‘සාත්තර සූත්තර’ පිළිබඳ ලබා ගත් රසවත් අත්දැකීම් රැසක් ද සමඟිනි. නමුදු මේ තත්වය ඥානක්කා නම් කාන්තාවගේ ශාස්ත්‍ර කීම තුළින් කෙසේ විද්‍යමාන වන්නේ දැයි කීමට මට නොපුළුවන. ඒ, මට ඇගේ එම ශාස්ත්‍ර කීමේ කලාව පිළිබඳ වෙනම විමසුමක් කිරීමට අවකාශයක් නොලැබුණු බැවිනි.

නමුත් ඥානක්කා නම් කාන්තාව අප රටේ ගමක් ගමක් ගාණේ සිටින ශාස්ත්‍ර කියන්නියන්ට වඩා විශේෂත්වයකින් යුතු බව නම් අපට පැහැදිලිවම වටහා ගත හැක්කේ ඇයට කාලි දෙවඟනගේ හෝ එවන් වෙනත් කල්පිත දෙවියකු ගේ ආරක්ෂාව කෙසේ වෙතත් මේ වන විට විශේෂ පොලිස් බල ඇනියක සහ වෙස් වලා ගත් බුද්ධි අංශ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ජීවත් වීමට ලැබීමේ වාසනාව උදා වී ඇති බැවිනි.

– තිලක් සේනාසිංහ – විනිවිද

Previous articleදුවෙක් වදනා එකම – අම්මෙකුට හීනයක්!
Next article“20 අවශ්‍යයි කියල පාර්ලිමේන්තුවේ කෑමොර දීපු අයටම 21 වන සංශෝධනය ගේන්න වීමම යම් ඉතිහාසගත සරදමක්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here