“පෙට්‍රල්, ගෑස්, භූමිතෙල් නැතිව මිනිස්සු පෝලිම් වළ, මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටර්වලින් එනවා”

54

මහින්ද රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකර සිටිමින් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් ඊයේ (22) පෙරවරුවේ කොළඹදී පැවත්වූ මාධ්‍ය හමුවක් අමතමින් අදහස් දැක්වූ නීතිඥ චරිත් ගල්හේන

“අපි අද මේ හමුවෙන්නේ ලංකා ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයක අඳුරුතම හෝරාවකට පසුවයි. ජනතාවට අවශ්‍ය මූලික අවශ්‍යතා ලබාගන්න දවසේ වැඩි කාලයක් පෝලිම්වල දුක්විඳිනවා. ඒ අතර දවස් 4ක් පාර්ලිමේන්තුවේ විවාද කර ජනතාවගේ ප්‍රශ්න විසඳීම ගැන අවධානය යොමුකරනවා වෙනුවට තමන්ගේ අඳෝනාවන් ගැන කතාකරන්න යොමු කළා. මේ රටේ ජනතාව ඇතිතරම් භීෂණය දැකලා තිබෙනවා. පසුගිය දවස්වල ඇතිවුණු භීෂණයක් ඊට පෙර තත්වයනුත් අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. 83නේ කළු ජූලියේදී ජනතාවගේ නිවාස ගිනිගන්නා දිහා දේශපාලකයා බලාගෙන සිටියා. රට පුරාම පැතිරවූ වෛරය අනුව ගිනිගන්නා දිහා දේශපාලකයා බලාගෙන සිටියා. මැතිවරණයකින් පස්සේ වෛරය වපුරා ගිනිගන්නා දිහා ජයග්‍රාහී දේශපාලකයා බලාගෙන සිටියා. මේ අවස්ථාවේ මිනිසුන් තම වෛරය දේශපාලකයා මත මුදාහැරියා. නමුත් අපි කිසිම අවස්ථාවක ප්‍රචණ්ඩත්වය අනුමත කරන්නේ හෝ ඒ පැත්තේ හිටගන්නේ නැහැ. නමුත් මේ රටේ පාලකයා දැන්වත් අඩුමතරමින් ප්‍රචණ්ඩත්වය පිටුපස තිබෙන කතාව තේරුම් ගන්න ඕනෑ.

මේ රටේ ජනතාව සමග තරුණයන් මාසයක් පුරා සාමකාමී අරගලයක් ගෝල්ෆේස් පිට්ටනියේ ගෙනගියා. නමුත් අගමැතිවරයාගේ නිවසට රැස්වුණු පාක්ෂිකයෝ නාලාගිරි ඇතා මුදාහැරියා වගේ රටේ මාධ්‍ය සහ අන්තර්ජාතික මාධ්‍ය ඉදිරියේ පවා සජීවී විකාශන අවස්ථාව නොතකා ම්ලේච්ඡ ප්‍රහාරයන් මුදාහැරියා. පොලිසිය අත්වැල් අල්ලාගෙන මැරයන් නවත්වන්න හදන බව පෙන්නුවත් බැලූ බැල්මට ප්‍රචණ්ඩත්වයට ඉඩදීලා තිබුණා. නීතිය අතට ගත් මැරයන් ඒ බව පැහැදිලිව කියා තිබුණා. යම් කෙනෙක් නීතිය අතට ගත්තාම ඉබේම අනෙක් අයටත් ඒ වෙනුවෙන් පාර කැපෙනවා. ජනතාවගේ ප්‍රශ්න නොතේරෙන පාර්ලිමේන්තුව සමාජගත කරන්න උත්සාහ කරන්නේ මේ රටේ තරුණ පරපුර සහ නැගීගෙන එන විකල්ප දේශපාලනය ගැන ජනතාව නොමග යවන්නයි. මේ අයගේ වැඩවසම් දේශපාලන ක්‍රමයට පහර වැදිලා තිබෙන්නේ. ප්‍රවේණිදාසයෝ විදිහට ජනතාව දිගටම තියාගන්න මේ ගොල්ලන්ට ඕනෑකම තිබෙනවා. දවස් ගණන් ජනතාව පෙට්‍රල්, ගෑස්, වගේම භූමිතෙල් ටිකක් නැතිව පෝලිමේ ඉන්නකොට පාර්ලිමේන්තුවට හෙලිකොප්ටර්වලින් එන අය ඉන්නවා. ඒ හෙලිකොප්ටර් වතුරෙන් දුවනවාද කියලා අපි දන්නේ නැහැ. අපි එක ඉල්ලීමක් කරනවා. දැන්වත් අවම වශයෙන් සංවේදී වෙන්න. එහෙම නොවුණොත් ඊගාවට ගෙදර බල්ලන් හපාකන්න පටන් ගනීවි. යම් යම් මන්ත්‍රීවරුන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවා ඔවුන්ට පහරදී ඇති බව අපි දැක්කා. ඉදිරියේදී තත්වය ඊටත් වඩා බරපතළ වෙනවා.

පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ හරි අමුතු ආකාරයකට. සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ආකාරය පසුගිය කාලයේ අපි දැක්කා. මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප ගන්න බැරිවෙන විදිහටයි මේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේ. ඒ පනත මේ අවස්ථාවේදී පොලිසියට අමතක වෙලා. ඒ පනතේ තුන්වන වගන්තිය, ආගමික සහ ජාතීන් අතර වෛරය වැපිරීමට විරුද්ධව ක්‍රියාකිරීමේ විධිවිධාන මේ පනතේ තිබෙනවා. නමුත් මේ වගන්තියේ ඇත්තටම අවශ්‍ය අවස්ථාවලදී ඉදිරියට ගන්නේ නැහැ. ඒ බව නීතිපතිටත් අමතකවෙලා. ගෝඨාගෝගමටත්, මයිනාගෝගමටත් පහර දුන් අය අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස් දෙන අතර, ප්‍රාදේශීයව ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න උපදෙස් දෙන්නේ ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලකයන්. විරෝධතා ව්‍යාපාරයකට කෑමටිකක් දුන්න මනුස්සයාත් අත්අඩංගුවට ගන්න තත්වයක් උදාවෙලා තිබෙන්නේ. දැන් පිහිටුවාගෙන තිබෙන ආණ්ඩුවෙන් ජනතාවගේ අවම ප්‍රශ්නවලටවත් උත්තර ලැබෙන්නේ නැහැ.

රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රශ්නවලට උත්තර දෙයි, සාධාරණ පරීක්ෂණ පවත්වයි, ඩොලර් ගලාගෙන එයි, ඉන්දන සහ ගෑස් ප්‍රශ්නය විසඳෙයි කියලා බලාගෙන ඉන්නවා නම්, එහෙම එකක් වෙන්නේ නැහැ. එතුමා විසඳා ගත්තේ එතුමාගේ ප්‍රශ්නය විතරයි. සිරිකොත බේරාගන්න එතුමාට තිබුණු ප්‍රශ්නය යන්තම් විසඳාගෙන තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේනට කළ දේ මෙවර ඔහුට පාරාවළල්ලක් වී එනවා. රාජපක්ෂ රෙජීමයට එල්ල වුණු ප්‍රහාරයෙන් තාවකාලිකව ගැලවීම සඳහා රනිල් වික්‍රමසිංහව පාවිච්චි කරනවා. මේ අයට අපි අවධාරණය කරන්නේ දේශපාලන දඩයම් නවත්වන ලෙසයි. පොලිසිය නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන ලෙසයි. නිල ඇඳුම ඇතුළේ මිනිස්සු වෙන්න. පොලිස් නිල සුනඛ අංශය නොවෙයි, පොලිසියේ රාජකාරිය කරන්න. ජනතාවගේ ආරක්ෂාවට මිස දේශපාලකයාගේ බැලමෙහෙවරකම් කරන්න, ඔවුන්ගේ කකුල් හෝදන්න නෙවෙයි පොලිසිය ඉන්නේ.”

Previous article“මල්වාන ඉඩම මගේ නෙමෙයි” – බැසිල් – “මල්වාන ඉඩම බැසිල්ගේ තමයි” – පොලිසිය
Next article“හැමෝම අතරමං වෙන්න පුළුවන්”– සහසලා හුණුකුඹුර(මේ මොහොත වන විට ඇය මෙලොව හැර ගිහින් පැය ගණනක් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here