“මල්වාන ඉඩම මගේ නෙමෙයි” – බැසිල් – “මල්වාන ඉඩම බැසිල්ගේ තමයි” – පොලිසිය

88

මහින්ද රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකර සිටිමින් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් ඊයේ (22) පෙරවරුවේ කොළඹදී පැවත්වූ මාධ්‍ය හමුවක් අමතමින් අදහස් දැක්වූ නීතිඥ අකලංක උක්වත්ත

“ආණ්ඩුව සහ රාජ්‍ය මාධ්‍ය සියල්ල එකතු වෙලා ගෙනයන අසත්‍ය ප්‍රචාර රැසක් තිබෙනවා. මෙම අසත්‍ය ප්‍රචාර තුළම ඇති පරස්පරයන් අපිට පැහැදිලි වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එක් උදාහරණයක් සුප්‍රසිද්ධ මල්වාන නිවාසය සම්බන්ධව ඉදිරිපත් කරන්නම්. ගම්පහ මහාධිකරණයේ විභාග වෙමින් පවතින 26/2017 නඩුවට අදාළ දේපොළ මේ වන විට නඩු භාණ්ඩයක්. 10 වැනිදා දහවල් 1.00 සහ සවස 5.00 අතර තුර මේ දේපළ ගිනිතබා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් බී 58890/2022 යටතේ පූගොඩ අධිකරණයට දොම්පේ පොලිස් ස්ථානාධිපති විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. 12-2 අතර මුල් සිදුවීමත් ඊට පසුව සවස 5.00ට පමණ තුන් සියයක් විතර පිරිස ඇවිත් ඇති බවත් සඳහන් වෙනවා. දොම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත නමැති නිලධාරියා ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය මම දක්වන්නම්.”

“2022.05.10 දින පොලිස් ස්ථානයට 119 මධ්‍යස්ථානය මගින් පැය 12.20ට ලද තොරතුරක් මත මල්වාන ප්‍රදේශයේ ඇති බැසිල් රාජපක්ෂ මහතාගේ නිවසට පිරිසක් පැමිණ දේපළ අලාභහානි කරන ලද බවට” කියලා සඳහන් වෙනවා. මෙච්චර කල් අපි දැනගෙන හිටියේ ඔය ඉඩම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නොවෙයි කියලා. මොළ හතේ මහත්තයා කීවෙත් එහෙමයි. යුදහමුදා මූලස්ථානයේ සැලසුම අඳින්න දීලා තිබුණ ජයකොඩි කියන මහත්තයාට අයිති ඉඩමක් කියලයි මේ දක්වා කියලා තිබුණේ. දොම්පේ පොලිස් ස්ථානාධිපතිට ඒ බව අමතක වෙනවා. ඇත්ත මතක් වෙනවා. ගරු අධිකරණයට කරුණු වාර්තා කරන්නේ බැසිල් රාජපක්ෂගේ ගෙදරට ගිනි තබලා ඇති බවයි. මෙපමණ කල් කීව කතාව සම්බන්ධයෙන් දොම්පේ පොලිස් ස්ථානාධිපති ගෙනල්ලා ප්‍රශ්න කරන්න බැසිල් රාජපක්ෂට පුළුවන්. මේ නඩු වාර්තාවේ මහේස්ත්‍රාත්තුමා ලබාදී තිබෙන නියෝග මා උපුටා දක්වන්නම්.”

“මෙම අපරාධයට අදාළව ගම්පහ මහාධිකරණ නඩු අංක 26/2017 දරන නඩුවට අදාළ නඩු භාණ්ඩයක් වන අදාළ දේපළ ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් දොම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාව සැලකිල්ලට ගැනීමේදී මෙම අපරාධය 2022.05.10 වන දින සිදුවී ඇති බවත්, පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් පවා මෙම අපරාධය පරීක්ෂා කිරීමට පැමිණ ඇත්තේ ඊට දින දෙකකට පසුව, 2022.05.12 වන දින බව පැහැදිලිව පෙනී යයි. තවද මේ වන තෙක් රජයේ රස පරීක්ෂකවරයා මෙම ස්ථානයට කැඳවීමට නොහැකි වී ඇති බව පෙනේ. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මේ පිරිස් මෙල්ල කිරීමට වෙඩි උණ්ඩ තුනක් එල්ල කළ බවට ‘බී’ වාර්තාවේ සඳහන් කර ඇති නමුත් ඒ සඳහා උපයෝගී කර ගන්නා ලද ගිනි අවිය නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීම මෙතෙක් සිදුකර නොමැත. තවද මෙම වරද 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා ගැනෙන පනතේ දෙවැනි වගන්තිය යටතට ගැනෙන වරදක් බවට පැමිණිලිකරු දක්වා ඇත. කෙසේ වුවද මෙම දේපළ මෙතෙක් රාජසන්තක කරන ලද දේපළක් නොවන බවත් ගම්පහ මහාධිකරණ අංක 26/2017 දරන නඩුවේ නඩු භාණ්යක් වන බවත්, ඉදිරිපත් වූ කරුණු අනුව පැහැදිලිව පෙනී යයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා පොදු දේපළ පනතේ ලා සැලකෙන 8වැනි වගන්ති ප්‍රකාරව වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මෙයින් පෙනී යන්නේ සහකාර පොලිස් අධිකාරීවරයාද නිසි විමර්ශනයක් සිදුකොට එම වාර්තාව ඉදිරිපත් කර නොමැති බවයි. මෙම අපරාධය දිවා කාලයේ සිදුකර ඇති අතර, මහාධිකරණයේ නඩු භාණ්ඩයක් වන දේපළක් ආරක්ෂා කර ගැනීමට දොම්පේ ස්ථානාධිපතිවරයාට නොහැකි වීම කනගාටුවට කරුණකි. ඒ අනුව පැහැදිලිව පෙනී යන්නේ මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් දොම්පේ පොලිස් ස්ථානාධිපති විසින් සිදුකිරීම මගින් වැඩි ගැටලුකාරී තත්වයක් මතුවී ඇති බවයි.”

ඒ එක්කම පොලිස්පතිතුමාට නියෝගයකුත් කර තිබෙනවා. මේ විමර්ශනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමු කළ යුතු බව විනිසුරුතුමා දන්වා තිබෙනවා. 20 වැනිදා මේ නඩුව කැඳෙව්වා. නමුත් වැඩිදුර වාර්තාව තාමත් ඉදිරිපත් කර තිබෙන්නේ දොම්පේ ස්ථානාධිපතිවරයා විසින් බව. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් සවිඥාණික නැහැ. ඔහුට තමන්ව ආරක්ෂාවීමටත්, දේශබන්දුව ආරක්ෂා කිරීමටත් තිබෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කර තිබෙන කතා අනුව පොලිස්පතිවරයාගෙන් සහ නීතිය හා සාමය අමාත්‍යාංශය භාර ලේකම්ගෙන් ලැබී ඇති නියෝග අනුව පහරදීම වැළැක්වීමට ක්‍රියාකර නැහැ. දේශබන්දු තෙන්නකෝන් මානවහිමිකම් කොමිෂන් සභාව හමුවේ ලබාදී ඇති කටඋත්තරය අනුව පොලිස්පතිත් අර ලේකම්වරයාත් දණ්ඩ නීති සංග්‍රහයේ 112 වගන්තිය අනුව නීත්‍යානුකූලව ක්‍රියා නොකර හැරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබිය යුතු වරදක් කර තිබෙනවා. පොලිස් ආඥා පනතේ 56වැනි වගන්තිය අනුව ඔවුන් බැඳී සිටින රාජකාරියක් ඉටුකර නැහැ. පොලිස්පතිවරයාට සුජාත වෙන්න ඕනෑ නම් දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගත යුතුයි. ඒ වගේම නව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත ක්‍රියාත්මක කිරීමටත් හැකියි. යහපාලනය කාලේ ඇවන්ගාඩ් සිද්ධිය නිසා ආණ්ඩුව ඇතුළෙන් ආ විරෝධයෙන් ඇමතිකමෙන් අයින් වුණා. ඒ කාලයේ රාජපක්ෂලා ආරක්ෂා කළ අධිකරණ ඇමති නැවත වතාවක් ඒ තනතුරට පත්කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවක් අනුව සනත් නිශාන්ත සමග දේශබන්දු තෙන්නකෝන් සිටිය බව සඳහන් වෙනවා. ඔහු අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මහේස්ත්‍රාත්තුමා ප්‍රශ්න කර තිබුණා. නීතිපතිවරයා වෙනුවෙන් උත්තරදී තිබුණේ තවදුරටත් විමර්ශන සිදුකරන බවයි. සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන දේශබන්දු නොගන්නේ මන්දැයි මහේස්ත්‍රාත්තුමාට ප්‍රශ්නයක් තිබුණා. රාජකාරිය නොකර හැරීම සම්බන්ධයෙන් හැමපැත්තෙන්ම තහවුරු වෙනවා. කටඋත්තරයක් දුන්නා නම් සාමාන්‍ය පුරවැසියන් අත්අඩංගුවට ගන්නවා. නමුත් ඒ ගොල්ලන්ට විමර්ශනය කරලත් විදේශ ගතවීම් නතරකර තිබිලත් අත්අඩංගුවට ගෙන නැහැ. නීතිපතිතුමාටත් තමන්ගේ සුජාතභාවය පෙන්වන්න පුළුවන් නඩු 29ක් අයින්කර ගත් කිලිටි අතීතය තිබුණත්. නාමල් රාජපක්ෂත් නීති විරෝධී රැස්වීම් පවත්වා කළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න පුළුවන්. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පුනරුත්ථාපනයක් ගැන කතා කළා. ඇත්තටම තාත්තා පුනරුත්ථාපනය කිරීමෙන් පටන් ගන්න එක හොඳයි. ඊට පස්සේ තමනුත් එක්ක අයියලා මල්ලිලා පුනරුත්ථාපනය වෙන්න කියන්න.”

 

Previous article“පොලිසිය මේ කරන අනීතික අත්අඩංගුවට ගැනීම් පිලිබඳ අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නව”
Next article“පෙට්‍රල්, ගෑස්, භූමිතෙල් නැතිව මිනිස්සු පෝලිම් වළ, මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටර්වලින් එනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here