පොලිසිය විසින් අරගලකරුවන් රිමාන්ඩ් කිරීමට ඉල්ලූ පමණින් එවැනි නියෝග ලබාදීමට අධිකරණය බැඳී සිටී ද?

70

අප මේ ගත කරමින් සිටින්නේ දේශපාලනමය වශයෙන් ඉතා සුවිශේෂී වූත් ආර්ථික වශයෙන් අස්ථාවරවූත් සාමාජීය වශයෙන් අවදානම් සහගත් වූත් කාලපරිච්ඡේදයකි. සැම අතින්ම අසන්නට තිබෙන්නේ උද්ඝෝෂණ, පහරදීම්, අත්අඩංගුවට ගැනීම් වැනි දේය. රට පුරා විහිදුණු අරගලයක අරගලකරුවන් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූවා යැයි සැක කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන පුවත් කීපයක් හෝ දිනය අවසානයේ අසන්නට ලැබේ. මෙම අධිකරණ කටයුතුවල දී සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට පොලීසිය ඉල්ලීම් කරන අවස්ථා එමටය. එවැනි ඉල්ලීම් සදහා එයාකාරයෙන්ම නියෝග නිකුත් කිරීමට අධිකරණය බැඳී සිටීද යන්න දැනගැනීම සියලු පුරවැසියන්ට ඉතා වැදගත් ය.

පොලිසිය විසින් ගොනුකරනු ලබන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතුවලදී පැමිණිල්ල ලෙස සලකන්නේ පොලීසියයි. පැමිණිල්ල කරනු ලබන ඉල්ලීම් සම්බන්ධව මහේස්ත්‍රාතවරයා සහය විය යුතු බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තියේ සදහන් වේ. පළමුව මාගේ අවධානය එම වගන්තිය කෙරෙහි යොමු කරමි.

124.විමර්ශනයක් පවත්වාගෙන යාමට සහය දෙන ලෙස ඉල්ලීමක් යම් මහේස්ත්‍රාතවරයෙකු වෙත කරනු ලැබූ විට ඒ මහේස්ත්‍රාත්වරයා විසින් නිසි ආඥා කිරීමෙන් සහ අධිකරණ නියෝග නිකුත් කිරීමෙන්, ඒ විමර්ශනය පැවැත්වීම සඳහා සහය දිය යුතු අතර විශේෂයෙන්ම වරදකරු නිසැකව හඳුනාගැනීමේ කාර්‍ය සඳහා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීම හෝ පැවැත්වීමට බලය දීම සහ ඒ කාර්‍ය සඳහා ඒ පෙරෙට්ටුවට සහභාගි වන ලෙස සැකකරුවෙකුට හෝ වෙනත් තැනැත්තෙකුට නියම කිරීම, සාක්ෂිකරුවෙකුට සැඟවුණු තැනක සිට හඳුනාගැනීමට අවසර දීම සහ ඒ පෙරෙට්ටුවේ කටයුතු පිළිබඳ වාර්තාවක් පිළියෙල කිරීමට සැලැස්වීම හෝ කළ හැකිය ”

මෙම වගන්තිය අනූව මහේස්ත්‍රාතවරයා විසින් විමර්ශනය සදහා සහය දිය යුතුය.එවැනි සහය දීමක දී පැමිණිල්ල විසින් කරනු ලබන සියලු ඉල්ලීම්වලට එයාකාරයෙන්ම ඉඩ දිය යුතු ද යන්න මීළඟට විමසා බැලිය යුතුය.

දයානන්ද එරෙහිව වීරසිංහ [ 1983 (2) SLR 84] නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරන ලද කරුණු මෙහිදී සදහන් කිරීම වැදගත් වේ. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරනු ලැබූ දයානන්ද නම් පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට සම්බන්ධ වීම යන චෝදනාව මත අත්අඩංගුවට පත් වී මාස තුනක් රිමාන්ඩ් බන්ධනාගාරගත් වී සිටියේය. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 (1) වගන්තිය අනූව සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක විමර්ශනයේදී සටහන් කර ගනු ලැබූ ප්‍රකාශ පිළිබඳ සාරාංශයක් ඉදිරිපත් කළ යුතු බවයි.නමුත් මෙම පෙත්සමට අදාල නඩුවේ එසේ කොට නැත. තවද මහේස්ත්‍රාතවරයෙකු සැකකරුකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන විට ඒ සදහා හේතු සදහන් කළ යුතුය. මෙහි “විමර්ශන අවසන් නැත” යනුවෙන් පමණක් සදහන් කොට ඇත.පෙත්සම්කරුගේ පුද්ගලික නිදහස මාස තුනක් තිස්සේ ඔහුට අහිමි වී ඇත.මහේස්ත්‍රාතවරයෙකු ඉතා සුපරික්ෂාකාරි විය යුතු බවත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමේ නියෝග ලබා දෙන විට නීතියේ අවශ්‍යතා වලට අනුගත විය අතර හුදු රබර් මුද්‍රාවක් ලෙස කටයුතු නොකළ යුතු බව තීරණය කරන ලදි.

මහානාම තිලකරත්න එරෙහිව බන්දුල වික්‍රමසිංහ [1999(1) SLR 372] නම් මූලික අයිතිවාසිකම් පෙත්සම ද සාකච්ඡා කළ යුතු නඩුවකි.මෙම පෙත්සම සදහා මහානාම තිලකරත්න නම් මහාධිකරණ විනිසුරුවරයා පුද්ගලයෙකුට පහර දීම සහ ඒ පුද්ගලයා දෙසට වෙඩි හතරක් තැබීම යන කරුණු මත අධිකරණයෙන් නිකුත් කරනු ලැබූ වරෙන්තුවක් මත අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිදුවීම මුල් විය.මෙහිදී

“වරෙන්තුවක් නිකුත් කිරීම පුද්ගල නිදහස හා සම්බන්ධ අධිකරණමය ක්‍රියාවකි.පැමිණිලිකරු හෝ විමර්ශකයා අවශ්‍ය බව සිතූ පමණින් සැහැලුවෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් නොකළ යුතුය.නීතියට අනූව මහේස්ත්‍රාතවරයා ඉදිරියේ සාක්ෂි ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාතවරයා සෑහිමට පත්වන විටෙක වරෙන්තුවක් නිකුත් කිරීම කළ යුතුය.තම මතයේ දැඩිව එළඹී සිටින විමර්ශකයෙකුගේ හෝ පැමිණිල්ලේ නිර්දය සතුට (Sardonic Pleasure ) තෘප්තිමත් කිරීම සදහා මහේස්ත්‍රාතවරයෙකු එවැනි නියෝග නිකුත් නොකළ යුතුය.”

යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරන ලදි.ඉහත නීතිමය මගපෙන්වීම මහේස්ත්‍රාතවරයෙකු විසින් සැකකරුවෙකු රිමාන්ඩ් කිරීමේදීද එලෙසම අදාල වේ.මහේස්ත්‍රාතවරයෙකු විසින් පොලිස් නිලධාරීන් සතුටු කිරීමට සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත නොකළ යුතු බවත් එවැනි නියෝග දීමට පෙර නීතිම අවශ්‍යතා අනූව කටයුතු කළ යුතු බවත් මින් පෙනී යයි.

අවසාන වශයෙන් ඩැනී එරෙහිව සිරිනිමල් සිල්වා [2001(1) SLR 29] නඩුව කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට මුල් වූ කරුණ වූයේ පෙත්සම්කරු ඔහු සමග ලිංගික ඇසුරක් තිබූ කාන්තාවක් සමග ලැගුම්හලක සිටියදී රාත්‍රි 10.30 ට පමණ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමයි.ඉන් අනතුරුව පෙත්සම්කරුග මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ගණිකාවාස ආඥාපනත යටතේ ඉදිරිපත් කරනු ලබන අතර ලිංගික සංසර්ගය අපරාධමය වරදක් නොවන තත්වයකදී පවා පොලිස් නිලධාරීනගේ ඉල්ලීම මත පෙත්සම්කරු රිමාන්ඩ් බන්ධනාගාරගත කරයි.මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය මහානාම තිලකරත්න එරෙහිව බන්දුල වික්‍රමසිංහ නඩුව කෙරෙහි ද අවධානය යොමු කොට තීරණය කරන ලද්දේ පොලිසිය ඉල්ලා සිටින නිසාම ඔවුන් සතුටු කිරීමට යාන්ත්‍රිකව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමේ නියෝග ලබා නොදිය යුතු බවත් එවැනි නියෝග ලබා දීමේ දී එම නියෝග මගින් පුද්ගලයන්ගේ පුද්ගලික නිදහස සීමා වන නිසා මහේස්ත්‍රාතවරයා තම අධිකරණමය මනස යොදවා කටයුතු කළ යුතු බවයි.මෙම තීන්දුව අනූව ද පෙනී යන්නේ පොලිසිය ඉල්ලු පමණින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමේ නියෝග නිකුත් කිරීමට අධිකරණය බැඳී නොමැති බවයි.

ඉහත සියලු නෛතික කාරණා සාරාංශයක් ලෙස ගතහොත් අප සාකච්ඡා කරනු ලබන මාතෘකාවට අදාලව කරුණු කීපයක් අපට පැහැදිලි වේ.පොලිසිය විසින් අරගලකරුවන් කුමන පනතක කුමන ප්‍රතිපාදන මත අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූවද එම පනත යටතේ සැකකරුවන් ඉදිරිපත් කිරීමට හැකියාව පවතී ද යන්න තීරණය කිරීමට අධිකරණයට බලය පවතී.උදාහරණ ලෙස පොදු දේපල පනත යටතේ ඉදිරිපත් කරනු ලබන සැකකරුවකු සැබෑ ලෙසම එම පනත යටතේ ඉදිරිපත් කළ හැකිද යන්න තීරණය කිරීමට අධිකරණයට බලය ඇත.එයට පදනම් එක් නීතිමය ප්‍රතිපාදයක් ඇත.එනම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 182 වගන්තිය අනූව මහේස්ත්‍රාත් අධිකරණයක චෝදනා පත්‍රය සැකසීමේ බලය ඇත්තේ මහේස්ත්‍රාතවරයාටය.එලෙස චෝදනා පත්‍රයක් සැකසීමට බලය ඇති මහේස්ත්‍රාතවරයාට බී වාර්තාව සම්බන්ධව තීරණය කිරීමේ පූර්ණ බලය ඇති බවට තර්ක කිරීම සාධාරණය.තවද පොදු දේපල පනත යටතේ කරුණු වාර්තා කළ අවස්ථාවක එම පනත යටතේ අසාමාන්‍ය අවස්ථාවලදී පමණක් ඇප දිය හැකි වීම,විමර්ශන අවසන් නොවීම,සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට තිබීම වැනි කරුණු ඉදිරිපත් කරමින් අරගලකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කරනු ලබන ඉල්ලීම්වලට පොලිසිය ඉල්ලා සිටින නිසාම ඉඩ දීමට මහේස්ත්‍රාතවරයා බැඳී නොමැති බවත් සටහන් කරනු ලබන හේතු මත සැකකරුවන් ඇප මත ඕනෑම අවස්ථාවක මුදාහැරීමට බලය ඇති බවත් මැනවින් පෙනී යයි.

– නීතිඥ සාරංග වාදසිංහ

Previous articleකටුගෙවල් හදන එකත්, බිඳින එකත් සිනමාවේ වැඩක්
Next articleදේශබන්දුගෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් : සා.පෙළ සිසුවෙකුත් අත්අඩංගුවට අරන් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here