“අපි නම් මීට පස්සේ මේ පැත්ත පළාතේවත් එන්නේ නැහැ, දේශපාලනය අප්‍රසන්නයි”

62

තමාට මේ දේශපාලනය අප්‍රසන්න බවත් අපි නම් මීට පස්සේ මේ පැත්ත පළාතේවත් එන්නේ නැතැයි ද හිටපු මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ රටේ පසුගිය දිනවල ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

ඔහු පැවසු කරුණු සැකෙවින් මෙසේය.

“රුපියල අවපාතවීම නිසා ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. මේක දේශපාලන අර්බුදයක් පමණක් නොව ආර්ථික අර්බුදයකුත් වෙනවා. ඒක නිසා තමයි සියලු පක්ෂවලට එක්ව කටයුතු කරමු කියන්නේ.

මේ ධුරය බාර ගන්න පෙර අවුරුදු පහකට ආදායම් බදු විදියට මම රුපියල් මිලියන 42 ක් ගෙවා තිබෙනවා. හැම සතයක්ම ගෙවා තිබෙනවා. මගේ ආදායමෙන් සියයට 10 ක්වත් මේ සියලු වරප්‍රසාදත් එක්ක මට ලැබිලා නැහැ. රටට‌ කුමක් හෝ කරන්න ඕන කියන අදහස ඇතිව තමයි අපි මේ දේශපාලනයට පැමිණියේ. අනෙක් මිනිසුන්ගේ ගෙවල් ගිනි තියන විට සතුටු වෙලා උඩ පනින මිනිසුන් සිටින රටක්ද මේක. මොකද්ද මේක. ගිනි තිබ්බාම මේක විසඳෙනවාද. මගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත නැත්නම් ඒ සම්බන්ධයෙන් අපි බයයි. මගේ ජීවිතය ගැන නම් මට බයක් නැහැ.

රටට තිබෙන ආදායම වගේ 3.4 ගුණයක් වියදම් තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය බරපතලයි. 1948 මේ රට නිදහස ලබන විට 113 කුට එක රාජ්‍ය සේවකයයි හිටියේ. අද 13 කට එක රාජ්‍ය සේවකයෙක් සිටිනවා. මේක බරපතල ගැටලුවක්. රාජ්‍ය සේවාවට මුදල් හොයන්නේ කෙසේද. විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආකාර තුනක් තිබෙනවා. ඒ සියල්ල මේ වන විට වැහිලා. සංචාරක ක්ෂේත්‍රයෙන් 2018 දී ඇමරිකානු ඩොලර් බිලියන 4.4 ක පමණ ආදායමක් ලැබුණා. 23 ලක්ෂයක් ලංකාවට ආවා. ඒ සියල්ල නැවතුණා. එකිනෙකාට ඇඟිල්ල දිගු කරලා වැඩක් නැහැ. නැවත සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවන්න ඕන.”

“අපි ආවේ මේවාට නොවේ”

“සත්‍ය තත්ත්වය තේරුම් ගන්න. මගේ රියදුරන් පවා ඉන්ධනහල් වලට ගොස් පැය ගණන් සිට පෙට්‍රල් ගහගන්න බැරිව පැමිණියා. මේ කැංටින් එකෙන් අපි කන්නේ නැහැ. මේ කාලය තුළ දවස් 10 ක් වත් මම මේ කැංටින් එකෙන් කාලා නැහැ. මගේ ගෙදර අය මේකට ඇවිත් කන්නේ නැහැ. මැති ඇමැතිවරුන්ගේ ගෙවල්වල අය මේ පාර්ලිමේන්තුවට ඇවිත් කෑම කන බවට වැරදි මතයක් සමාජගත කර තිබෙනවා. අඩු ගාණේ මගේ දරුවෙක් පාර්ලිමේන්තුවට තියා අමාත්‍යාංශටවත් ගිහිං නැහැ.

සිහින මාලිගාවල සිටිමින් පාරවල උද්ඝෝෂණය කළා කියලා මේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ. මම නම් මේ පාර්ලිමේන්තුවේ පැත්ත පළාතවත් බලන්නේ නැහැ. අපිට එපා මේවා. අපි ආවේ මේවාට නොවේ. රටට ආදරේ කවුරු හරි තමන්ගේ බදු හරියට ගෙවූ පුද්ගලයන්ට මේ ස්ථානයට පැමිණීමට පාර සැදිය යුතුයි.”

“අපේ ආණ්ඩුවත් වැරදි කළා”

“අපි නම් මීට පස්සේ මේ පැත්ත පළාතේවත් එන්නේ නැහැ. මගේ ක්ෂේත්‍රයේ සිටින නීතිඥවරුන් පුත්තලම අලි සබිරි මන්ත්‍රීවරයාගේ ගේ ගිනි ගත් විට මගේ ගේ කියලා හිතලා ෂෙයා කරමින් සතුටු වුණා. බුදුන් වැඩි මේ රටේ කොහොමද එහෙම සතුටු වෙන්නේ. මොන තරම් තිරිසන් සමාජයකද අපි මේ ඉන්නේ. මේ රටේ හැම මිනිසාම වග කියන්න ඔ්න මේකට. තමන්ගේ රැකියාට හරියට කරනවාද කියලා තම තමන්ගෙන් අහන්න. අපි මහන්සි වෙලා වැඩ නොකළොත් පරම්පරා ගණනකට මේ ණය ගෙවා ඉවර කරන්න බැරි වෙයි. තමන්ගේ යුතුකම් රටට ඉටු කරන්න. එවිට රට දියුණු කළ හැකියි. ආණ්ඩුව පන්නලා අලුතින් ආණ්ඩු හදන්න හිතුවා මිස රට හදන එක ගැන හිතුවේ නැහැ. අපිත් මේ ගැන අධ්‍යයනය කරන විට ප්‍රමාද වැඩියි. ඒ ගැන දැන් කියලා වැඩක් නැහැ. අයි.එම්.එෆ්. නොගිය එක, බදු අඩු කළ එක අපේ ආණ්ඩුවත් කළ වැරැද්දක්. මට මේ දේශපාලනය අප්‍රසන්නයි. පමා වෙලා හරි සියලුදෙනා එක්ව මේ රට ගොඩදාන්න. මේ අමාරු අවස්ථාවේදී එක්ව රට ගොඩදාන්න කියලා විපක්ෂ නායකවරයාගෙනුත් ඉල්ලා සිටිනවා.”

Previous articleහරීන් සහ මනූෂ සජබයෙන් දොට්ට දමයි
Next articleමන්ත්‍රී මිලාන් සහ සනත් නිශාන්ත විශේෂ ආරක්ෂාව යටතේ පාර්ලිමේන්තුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here