හෘදය සාක්ෂියට අතුල් පහරකි; නාරි සූත්‍රය

110

රට තුළ ඇත්තේ පොතක් පතක් කියවන්නට ඉස්පාසුවක් ලබාදෙන වාතාවරණක් නොවෙයි. ක්‍රමය පෙරළා දැමීමේ අවශ්‍යතාව ඇසිල්ලෙන් ඇසිල්ලට තීව්‍ර වෙමිනි. එවන් මොහොතක අතට ගත් අනුරාධා නිල්මිණි දෙටු කිවිඳියගේ ‘නාරි සූත්‍රය’ කාව්‍යාලේඛය ගිනි පුපුරකි… අරගලයට ජීව හුස්මකි… පරාක්‍රම කොඩිතුවක්කු කීවාක් සේ මනුෂ්‍යත්වයේ හදවත සපාකන නර රකුසන්ගෙ කන්අඩි පුපුරුවන මේ ගිගුමකි…

නාරි සූත්‍රය තනිකරම ස්ත්‍රීන් ගැන කවි පොතකි; නැත, එය පුරුෂ ලෝකයක අධම අර්ධය පිළිබඳ කවි පොතකි… ඇය ස්ත්‍රීන් දහසය දෙනෙකු අප ඉදිරියට කැඳවයි. ඔවුන්ගේ හෘදවාචක දිගහැර පෙන්වයි. ඒ හෘදවාචක ඔස්සේ විදාරණය කරන්නේ ආලෝක පිරිමින්ගේ අන්ධකාර ඇතුළු ගැබ ම නොවේ ද?
මේ ඇය මහත්මා ගාන්ධිගේ බිරිඳ ‘කස්තූර් බා’ ගැන ලියන කවි පෙළේ අවසාන කවියයි.

තුල්සි පැළයකි දිවා රෑ කඳුළ පිසුවේ
කල්පෙකින්වත් කෙනෙක් නෑ මොකද ඇසුවේ
කල්ප කල් දරාගත් ගැහැනු හිත් පැතුවේ
ආදරය පමණමය!
ඔව්, ඔබත්
මහත්මා කෙනෙකු නම්
මෙතැන් සිට එය හොඳින්
සිහි තබා ගත යුතු වේ

මෙහි ‘ඔබත් මහත්මා කෙනෙකු නම්’ ලෙසින් ඇය කරන ආමන්ත්‍රණය පුරුෂෝත්තමවාදී ලෝකයට ගසන අතුල් පහරකි. හිට්ලර්ගේ බිරිඳ – ඊවා බ්‍රවන්, විජේවීරගේ බිරිඳ – චිත්‍රාංගනී, මාක්ස්ගේ බිරිඳ – ජෙනී, ප්‍රභාකරන්ගේ බිරිඳ – මදිවද්නී,වැනි බිරින්දෑවරුන් රැසකගේ හෘදවාචක ගෙනඑමින් ඇය සමස්ත පිරිමි වර්ගයාම විත්ති කූඩුවට නංවයි…

කාල් මාක්ස්
බලගතු මාක්ස්වාදයේ
මුවහත
ඒත්
කවදාවත් ම නොදැක්ක
ජෙනීගෙ පුංච් හදවත

(පි. 52)

එක අතකින් නාරි සූත්‍රය යනු ඉතිහාසය නැවත ලිවීමකි. මෙහි එන ස්ත්‍රී චරිත දහසය අප පසු කර ආ ඉතිහාසය යි. අපට මගහැර යා නොහැකි ඉතිහාසය යි. අප ඉදිරියේ සිටගෙන සිටින ඉතිහාසය යි. අනුරාධා ම ඒ බව මෙසේ පවසයි…

ඒත්
මතක තියාගන්න
ඉතිහාසය ලියන්නට සිද්ධ වෙයි
අනාගතයෙදි වුණත්
මෙහෙම
විසි තිස් වතාව
( පි.78)

මේ කවි කිසිවක් අනුවේදනීය අන්තයක නතර වන කවි නොවෙයි. මේ කවි ඉදිරියේ හෘදය සාක්ෂියක් ඇති පිරිමින් නම් හැකිළී යා යුතු ය. මේ ගැහැනු කිසිවෙකුට තෙතබර හඬක් නොදීමට තරම් කිවිඳිය දේශපාලනික වී තිබේ. කෙළින්ම කීවොත් අනුරාධා නිල්මිණි කවි පොතකින් අපගේ හෘදය සාක්ෂියට දමාගසා තිබේ…

කොතැනින් පටන්ගත්තත්
අන්තිමට ඔබ කැමති
දකින්නට මගේ නිරුවත
හැබැයි මම කියන්නෙ
හුඟක් ලස්සන
නරක ගෑනුන්ගෙ
නිරුවතට යටින් තියෙන
හදවත…!!
(පි. 64)

– ලහිරු කරුණාරත්න

Previous articleනව ඇමතිවරු 09ක් පත්කරති, ඉතිරි හත් දෙනා පොහොට්ටුවෙන් !
Next articleහරීන් සහ මනූෂ සජබයෙන් දොට්ට දමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here