“ප්‍රහාරයේ මහමොළකරු මහින්ද රාජපක්ෂ” – “නාමල්, ප්‍රසන්න, පවිත්‍රා අමතක වෙලා”

75

මහින්ද රාජපක්ෂ ඇතුළු මැර කණ්ඩායම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරන බව සමාජවාදී තරුණ සංගමය අද (17) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති එම මාධ්‍ය හමුව සඳහා එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර, ජාතික කමිටු සමාජිකා නීතීඥ ශානිකා ද සිල්වා සහ ජාතික කමිටු සමාජික මහේෂ් අඹේපිටිය යන අය එක්වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් පල වේ.

“ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආණ්ඩුව ගෙදර යැවීම වෙනුවෙන් රට තුළ මාස ගණනාවක් පුරා අරගලයක් සිදුවෙමින් තිබෙනවා. ගෝල්ෆේස් අරගලය සන්ධිස්ථානයක් වී තිබෙනවා. අද වන විට මහින්ද රාජපක්ෂ නම් මිනීමරුවා මෙම අරගලයට පහරදී දින 08ක් ගතවී තිබෙනවා. මෙම කුමන්ත්‍රණය දියත් කළ රාජපක්ෂ ආණ්ඩුව 1500ක පමණ පිරිසකගේ නාම ලේඛනයක් සකස් කර ඇති බවටත් එයින් 300කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවටත් වාර්තා වෙනවා. මාධ්‍යවලත් සමාජ ජාලා තුළත් මහින්ද රාජපක්ෂ විසින් එවන ලද 2000කට වැඩි පිරිසකගේ පහරදීමේ වීඩියෝ සංසරණය වෙමින් තිබුණත් රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට තාමත් මෙම පිරිසගෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන්නේ තිදෙනෙක් පමණයි. ඊයේ (16) දිනය වන විට නීතිපතිවරයා විසින් මෙයින් 22ක පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට දන්වා තිබෙනවා.

“ඊයේ පොරොන්දු වුණේ දින 07ක් ඇතුළත අත්අඩංගුවට ගන්නවා කියල”

ඊයේ දිනයේ සමාජවාදී තරුණ සංගමය විසින් මීට අදාළ වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානය වටලනු ලැබුවා. මහින්ද, ජොන්ස්ටන්, දේශබන්දු තෙන්නකෝන්, ඇතුළු දේශපාලන මැරයන් අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි අපි පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළා. එම ස්ථානය වැටලීමේදී එම ස්ථානයට පැමිණි නිලධාරියා අපට පොරොන්දු වුණේ දින 07ක් ඇතුළත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවයි. මේ ඔහු අපට කියන ලද දෙයයි. කෙසේ වුවද, සවස් වන විට නීතිපතිවරයා නම් 22ක ලැයිස්තුවක් අත්අඩංගුවට ගන්නා ලෙස ඉදිරිපත්කොට තිබුණා. එසේ වුවද ඔහු මෙහිදී, සාක්ෂි ඇත්නම් යනුවෙන් සටහනක් යොදනවා. මේ රටේ නීතිපතිවරයා සාක්ෂි ඇත්නම් යනුවෙන් ප්‍රකාශ කරන්නේ ඇයි? මාධ්‍ය තුළ සමාජ ජාලා තුළ මීට අදාළ වීඩියෝ සාක්ෂි ඕනෑතරම් තිබෙනවා. එතරම් සාක්ෂි තිබියෙදී නීතිපතිවරයා නම් 22ක් පමණක් ඉදිරිපත් කර, සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගන්නා ලෙස පවසා තිබෙනවා. මේ වන විට පාර්ලිමේන්තුව රැස්වී තිබෙනවා. එම ලැයිස්තුවේ නම් සඳහන් සනත් නිශාන්ත, මිලාන් ජයතිලක, සංජීව එදිරිමාන්න යන තිදෙනා එහි සිටිනවා. මෙම පිරිස අත්අඩංගුවට ගනීදැයි අපි බලාගෙන සිටිනවා. පොලිසිය උනන්දු නම්, ගෝල්ෆේස් අරගලයට පහරදුන් මෙම මැර මන්ත්‍රීන් අත්අඩංගුවට ගත හැකියි.

“මහින්ද, නාමල්, ප්‍රසන්න, පවිත්‍රා අමතක වෙලා”

මෙම නම් 22 තුළට මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළත් නොවුණේ ඇයි? ප්‍රසන්න, පවිත්‍රා අමතක වුණේ ඇයි? මේ කුමන්ත්‍රණයෙන් සිදුවුණේ කුමක්ද? මහින්ද රාජපක්ෂ මැරයා අරලියගහ මන්දිරයට තමන්ගේ මැර හමුදාව ගෙනත් උද්වේගකර සාකච්ඡා පවත්වලා, දැන් මේ වැඬේ ඉවරයි; අපි ගෝල්ෆේස් එකට ගහන්න යන්නේ කියන වීඩියෝ අපි සතුව තිබෙනවා. මේ සියල්ල සිදුවුණේ අගමැති නිල නිවාසයේදි. ඒ මන්දිරය තුළ ඉඳගෙන තමයි මේ කුමන්ත්‍රණය සැලසුම් කරන්නේ. මන්දිරයෙන් එළියට මැරයෝ ආවේ පොලු, පිහි, අදාල දේවල් අරගෙන. ඒ ආයුධ ලැබුණේ කොහොමද? එතකොට මේ මන්දිරය ඇතුළේ තමයි මේ සැළසුම දියත් වුණේ. එහෙනම් ඇයි මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට නොගන්නේ ? නීතිපති ඇයි ඒකට මැදිහත් නොවන්නේ ප්‍රශ්නය අපි මතුකරනවා. අපි අපේ නිවසේ සිට මෙවැනි ප්‍රහාරයකට සූදානම් වුණා නම් පොලිසිය අපව අත්අඩංගුවට නොගෙන ඉඳියිද? නීතිය සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක වෙනවා නම්, මිනීමරු මහින්ද ක්‍රියාත්මක නොවන්නේ ඇයි? මේ නීතිපතිට, පොලිස්පතිට අපි කියනවා බබා පාට් දමන්නේ නැතිව මේ කුමන්ත්‍රණයේ මහ මොළකරු මහින්දව වහාම අත්අඩංගුවට ගන්න. අපි තදින්ම බලපෑම් කර කියා සිටිනවා මහින්ද, නාමල්, ප්‍රසන්න, පවිත්‍රා අත්අඩංගුවට ගන්නා ලෙස.

“අපි ළඟ ඡායාරූප සහිතව විස්තර තිබෙනවා”

මේ වන විට 300කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. හැබැයි මේ කුමන්ත්‍රණයට සහභාගී වූ කිසිවෙක් ඒ නම් අතර නැහැ. අපි ළඟ ඡායාරූප සහිතව විස්තර තිබෙනවා. දකුණු පළාත් සභා මන්ත්‍රී, ඩී.වී. උපුල්, මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රී, සුසීමා චාන්දනී, බොරලැස්ගමුව නගර සභාවේ සභාපති, අරුණ ප්‍රියශාන්ත, කොළඹ නගර සභාවේ කුලතිස්ස ගී කියනගේ, කවුරුත් දන්නා, වසන්තා හඳපාන්ගොඩ, කොළඹ නගර සභා මන්ත්‍රී, දිලිප් ප්‍රනාන්දු, කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ප්‍රේමරත්න මල්කැකුල, දෙහිවල-ගල්කිස්ස නගර සභා මන්ත්‍රි – ප්‍රසන්ත පොන්සේකා, ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී-සුජීව වීරසිංහ, කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී – මංජුල ප්‍රසාද්, හිටපු පළාත් සභා මන්ත්‍රී – උපාලි කොඩිකාර, අරාබි වසන්ත නොහොත් නාලක විජේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී – ඉන්දික අනුරුද්ධ, කරන්දෙනිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී – සමීර චතුරංග, ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී – ආරියවංශ පල්ලේවෙල, මොවුන්ව අත්අඩංගුවට නොගත්තේ ඇයි? තව ඕනෑ තරම් ඡායාරූප තිබෙනවා. දැවැන්ත තොරතුරු ප්‍රමාණයක් තිබෙනවා.

මෙතරම් තොරතුරු තිබියදී මේ කුමන්ත්‍රණය කරපු මැරයෝ ටික අත්අඩංගුවට ගන්නේ නැතිව පොලිස්පති කරන්නේ කුමක්ද? මේක ප්‍රශ්නයක් නොවෙයිද? මාළිගා කුමන්ත්‍රණ කරලා ආපු රනිල් සහ රනිල් රාජපක්ෂ ආණ්ඩුව මොවුන්ව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි?

” මහමොළකරු මහින්ද රාජපක්ෂ”

මහින්ද රාජපක්ෂ ඇතුළු කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම වී තිබුණේ මයිනාගෝගම සිට ගෝල්ෆේස් දක්වා වන අරගලය පැය කිහිපයකින් විනාශ කර දමන්නයි. ඒ සමග ගම්වලට ගිහින් අරගලකරමින් සිටි සියලු දෙනාට ප්‍රහාර එල්ල කරන්නයි. ඔවුන්ට, ඔවුන්ගේ නිවාසවලට, වාහනවලට පහර දෙන්න ඔවුන් අපේක්ෂා කළා. නමුත් මේ රටේ ජනතාව එය ආපස්සට හැරෙව්වා. දැන් කුමන්ත්‍රණයේ මහමොළකරු වූ මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නවා වෙනුවට අරගලය ආරක්ෂා කිරීමට කටයුතු කළ තරුණ තරුණියන් අත්අඩංගුවට ගනිමින් ඉන්නවා ඔවුන් පහුගිය මාසයකට වැඩි කාලයක් පුරා ගම් නගර තුළ සාමකාමීව අරගල කරමින් හිටපු තරුණ තරුණියනුයි. එසේම ඔවුන්ගෙන් විශාල පිරිසක් කොහෙත්ම ගිනිතැබීම් ආදී ක්‍රියාවන්ට සම්බන්ධ වූ පිරිස් නෙමෙයි. මහමොළකරු වූ මහින්ද රාජපක්ෂ එළියේ තබා, ඔහුට හමුදා කඳවුරක් තුළ සුඛෝපභෝගී ජීවිතයක් ලබා දී තිබෙනවා. තවත් මැරයන් පිරිසකට පාර්ලිමේන්තුවට පැමිණීමට පහසුකම් සලසා දී තිබෙනවා. එසේ තිබියෙදී මේ අරගලය ආරක්ෂා කළ තරුණ තරුණියන්ට නඩු පැවරීමේ සාධාරණත්වය කුමක්ද? නීතිය තිබිය යුත්තේ ජනතාව වෙනුවෙනුයි. “

Previous articleපාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මිලාන් ජයතිලක අත්අඩංගුවේ – ජොන්ස්ටන් හෙට ගනියි ද?
Next article“අපිට දුන්නනම් අරගලය එක දවසින් ශුද්ධ කරන බව ජොන්ස්ටන් කියනවා” – “ප්‍රහාරකයින් නාමල් සමග සෙල්ෆි ගහනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here