‘බුද්ධි’ රකින නීතියේ ඇත්ත කතාව

11

මෑත කාලයේ එල්ල කෙරුණු බිහිසුණු ම අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට හෝ බුද්ධි අංශවලට බාධාවක් තිබී නැත. ප්‍රහාරයෙන් පසුව අන්තවාදීන් හඹා යාමට ද බාධා නීති පැත්තෙන් නොතිබිණි. අදාළ ‘මෙහෙයුම් කටයුතු’ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබී ය. එසේ නම්, “මෙහෙයුම් කටයුතුවලට සහාය වීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන දැනට නොමැති වීම” යනුවෙන් වගන්තියක් එක් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව තහවුරු වී තිබේ.

‘ජාතික බුද්ධි පනත’ නමින් පනතක් ගෙන ඒමට ආණ්ඩුව කැසකවමින් සිටී. ‘වියත් මඟ’, ‘එළිය’ වැනි මේ ආණ්ඩුව බලයට පත් කිරීමේ පුරෝගාමී වැඩකොටසක් කළ සංවිධාන තිබේ. එම සංවිධාන නාමකරණයන් සිතෙහි තබාගෙන මෙම පනත ‘ජාතික බුද්ධි මණ්ඩල පනත’ වැනි වැරැදි ලෙසකින් කියවා නොගැනීමට ප්‍රවේශම් විය යුතු ය.

‘ජාතික බුද්ධි පනත’ ලෙස නම් කරන ලද මේ කියන දේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ඒ පසුගිය 14 වැනිදා ය. මේ කියන පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්‍ෂිතතාව හා පාරිභෝගික සුබසාධන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමා විසින් බව රජයේ නිල වෙබ් අඩවියේ සඳහන් ය. කිලෝ මීටරයක් පමණ දිග මේ පදවි තානාන්තරය දරන්නේ, චමල් රාජපක්‍ෂ ය; වර්තමාන ජනාධිපතිගේ වැඩිමහල් සහෝදරයා ය. ඔහු ඉදිරිපත් කළ ජාතික බුද්ධි පනත සකස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත.

මෙතැන තිබෙන්නේ, මේ කියන පනතක් සකස් කර සම්මත කර ගැනීම සඳහා වර්තමාන කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීම පමණි ය. පනතේ අඩංගු දේවල් මොනවා ද යන්න අකුරක්වත් තව ම හෙළි වී නැත.

කැබිනට් තීරණය පිළිබඳව රජයේ නිල වෙබ් අඩවියේ සඳහන් වන්නේ මෙසේ ය:

“ජාතික ආරක්‍ෂාවට බලපෑම් සිදු කරන ක්‍රියාකාරකම් පුරෝකථනය කර ඒවා වළක්වා ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධි ආයතන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන අතර, එකී ආයතන විසින් පුරෝකථනය කරන ලද තර්ජන හා අනාවරණය කර ගත් තොරතුරු මත වළක්වා ගත් ත්‍රස්තවාදී හා අනෙකුත් ක්‍රියාකාරකම් හා ජාතික ගැටලුවල දී ලබා දී ඇති නිර්දේශ ජාතික ආරක්‍ෂාව පවත්වාගෙන යාම සඳහා මහඟු පිටිවහලක් වී ඇත.”

පනත පිළිබඳව හඳුන්වා දී තිබෙන්නේ එලෙස ය. ‘බුදු සරණයි !’, ‘දෙවි පිහිටයි !!’ ලොරිය එන්නේ පිටුපස හොර දැව පටවාගෙන නැත් නම්, හොර හරක් පටවාගෙන ය. අනෙක් පැත්තෙන් හොර නොවුව ද, මස් කඩයට ගෙන යන හරක් පටවාගෙන ය. මේ රටේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන් ම පාවා දී තිබෙන්නේ, 2007දී ඇමෙරිකාව එක්ක අත්සන් කළ ආරක්‍ෂක ගිවිසුමට අවනතව ය. ‘යැංකි ඩිකී’ යන අන්වර්ථ නාමයෙන් ජේ. ආර්. ජයවර්ධන හැඳින්වුව ද, ඔහුට හිතා ගැනීමට හෝ බැරි දුරක් දේශප්‍රේමී රාජපක්‍ෂ පාලනය ගමන් කොට තිබේ. ඇත්ත භාවිත අර්ථයෙන් ‘යැංකි ඩිකී’ලා වී සිටින්නේ රාජපක්‍ෂ පාලන අධිකාරිය නොවේ ද?

ඇමෙරිකානු ආරක්‍ෂක අංශවල සැලැකිය යුතු පිරිසක් නීතියට යටත් නොකර සිටිති. ඒ ද ඔවුන්ගේ ආරක්‍ෂක අවශ්‍යතා අනුව විවිධ නම්වලින් හඳුන්වන බළකායන්ට ලබා දී තිබෙන විශේෂ වරප්‍රසාද අනුව ය. මෙරට ද 2005-14 රාජපක්‍ෂ පාලන සමයේ එවැනි කල්ලි, ආරක්‍ෂක අනු ඛණ්ඩ, බුද්ධි ඒකක ආදී නාමයන් යටතේ ක්‍රියාත්මක කරනු ලැබී ය. හොඳ ම උදාහරණය නාමල් කුමාර ය. ඔහු ඇත්තට ම වැඩ කළේත්, ගුවන් හමුදාවෙන් පලා ගොස් සේවය කළේත් කාට ද යන්න හෙළි වන දාට තවත් බොහෝ කරුණු තහවුරු කෙරෙනු ඇත.

හරියට ම තේරුම් ගත යුත්තේ, 2005-14 කාලයේ විශේෂයෙන් ම යුද්ධය අවසන් කළ පසුව බුද්ධි අංශ ලෙස පෙනී සිටි කණ්ඩායම් කළේ මොනවා ද කියලයි. යාපනයේ ජනතාවගේ ගැටලු සොයාබැලීමට සහ දේශපාලන කටයුතුවලට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී, සුනිල් හඳුන්නෙත්තිට පහර දුන්නේ, මොන බුද්ධි අංශ කටයුත්තකට ද? මේ සරල ප්‍රශ්නයක් ය. ප්‍රශ්නයේ දේශපාලනය ගැබ් වන්නේ මෙලෙස පහර දීම් පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් ආදිය දක්වාත් පැතිරී යාමයි. මේ තුළ තිබෙන්නේ, උතුරු ප්‍රදේශයේ දේශපාලනය කිරීමේ හැකියාව ඇත්තේ, රාජපක්‍ෂවාදී තෝරා ගත් පිරිසකට සහතික කර දීමක් ය.

එය එසේ නොවේ නම්, දකුණු ප්‍රදේශයේ සිට ගල් කැටයක්වත් අතේ නැතිව උතුරට ගොස් දේශපාලනය කළ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් දෙදෙනා අතුරුදන් වීමට කිසිදු හේතුවක් නොවී ය. මේවා බුද්ධි අංශ ලෙස පෙනී සිටි ඝාතක කල්ලිවල ක්‍රියාකාරකම් නොවේ නම්, ඒ තරම් පුළුල් බුද්ධි අංශ ජාලයක් තිබිය දී, පොල් ගෑවා දැයි අසන්නට සිදු වේ.

උතුරේ දී පමණක් නොව දකුණේ දී ද බුද්ධි අංශ ලෙස පෙනී සිටි ඝාතක කල්ලි ඉටු කරන ලද්දේ මෙවැනි ක්‍රියාකාරකම් ය. එය කොතරම් පැතිරී තිබුණේ ද යන්න පැහැදිලි වූයේ, කොළඹ ආශ්‍රිත වාණිජ වටිනාකම් ඉහළ ඉඩම්, නිවාස කොල්ලකෑමට පවා  ක්‍රියාත්මක වීම තුළ ය. ඒ වෙනුවෙන් ස්ථානවලට කඩාපැන බියගැන්වීම් කර මේ රටේත් නොඉඳ රටින් පලා යාමට සැලැස්වූ පවුල් කීයක් තිබුණේ ද? එයින් නොනැවැතී අතමිට සරු ශාස්ත්‍රකාරයන් (සුදු සීයා) පවා මරා දමා මුදල් සහ රත්තරන් කොල්ලකෑ බව මතක් කළ යුතු ය. ඔය කියන තරම් සුපිරිසිදු, අතිදක්‍ෂ බුද්ධි අංශ සිටියේ නම්, මේවා ගැන සොයා ගත නොහැකි වූයේ ඇයි ?

මේ අනුව එක දෙයක් මුලින් ම තේරුම් ගත යුතුව තිබේ. මේ කියන ‘ජාතික බුද්ධි පනත’ මඟින් ආවරණය කරන්නේ කුමන තක්කඩි රැළක් දැයි පහසුවෙන් තේරුම් ගත හැකි ය. අදෘශ්‍යමාන හස්තවලින් මෙහෙයවන ලද ඝාතක කල්ලි, මංකොල්ල කල්ලි, පාතාල ජාවාරම් කල්ලි යන සියල්ල ‘බුද්ධි අංශ‘ යන ලේබලයෙන් ආවරණය කළ හැකි ය. මෙම පනත ගෙන එන්නේ එම අරමුණින් මිස අන් දෙයක් නිසා නොවේ.

“බුද්ධි අංශ මෙහෙයුම් ආශ්‍රිතව සිදු වන ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා සහ බුද්ධි අංශ බලාත්මක කරමින්, ඔවුන්ගේ මෙහෙයුම් කටයුතුවලට සහාය වීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන දැනට නොමැති වීම හේතුවෙන් ඇතැම් බුද්ධි අංශ කටයුතු සීමා වී ඇති බව පෙනී ගොස් ඇත.”

උධෘතය තුළ පවතින “බුද්ධි අංශ බලාත්මක කරමින්, ඔවුන්ගේ මෙහෙයුම් කටයුතුවලට සහාය වීම සඳහා” යනුවෙන් වගන්තියක් පවතී.

දැන් පවතින්නේ, විනයගරුක, ජනහිතකාමී පාලනයක් නම්, එය ඉදිරියේ දී ද මෙසේ වන්නේ නම්, බුද්ධි අංශ කෙරෙහි පවතින නීති ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන බව පැහැදිලි වේ. මන්ද, එල්.ටී.ටී.ඊ, සංවිධානය වැනි ලොව බලවත් ම ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කිරීමට මෙහෙයවා ගත හැකි වූ බුද්ධි අංශවලට පවතින නීතිවලින් කිසිදු බාධාවක් නැත. බාධාවක් තිබුණේ නම්, ඒ පැවැති ආණ්ඩු බුද්ධි අංශ දඩයම් කර තිබූ නිසා ය. ආණ්ඩුව කියන ආකාරයට දැන් පවතින්නේ, බුද්ධි අංශ දඩයම් කරන ආණ්ඩුවක් නොවේ ය. ආරක්‍ෂා කරන ආණ්ඩුවක් ය.

ඉහත උපුටා දැක් වූ කෙටි වාක්‍ය ඛණ්ඩය කෙරෙහි යළි අවධානය යොමු කිරීමේ දී එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් පැවැති සමයේ බලාත්මක වූ බුද්ධි අංශවලට නොතිබූ බාධා දැන් නිර්මාණය වී පවතින්නේ ද? අවදියෙන් සිටින පුරවැසියන් හට එවැනි කිසිදු ගැටලුවක් ගැන කරුණු හමු නොවේ.

මෙහි දී කෙනකුට තර්ක කළ හැක්කේ, ඉස්ලාම් අන්තවාදී සහරාන් ප්‍රවණතාව අලුතින් මතු වූ එකක් බව දක්වමින් ය. බුද්ධි අංශවලට තොරතුරු ඉතා නිවැරැදිව ලැබී තිබිණි. දේශපාලන බලය දැරූ ඔල්මොරොන්දන්කාරයන්ගේ අක්‍රිය බව නිසා ප්‍රතික්‍රියා දැක්වීමට නොහැකි වූ බව ඕනෑවටත් වඩා සනාථ වී තිබේ.

මෑත කාලයේ එල්ල කෙරුණු බිහිසුණු ම අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට හෝ බුද්ධි අංශවලට බාධාවක් තිබී නැත. ප්‍රහාරයෙන් පසුව අන්තවාදීන් හඹා යාමට ද බාධා නීති පැත්තෙන් නොතිබිණි. අදාළ ‘මෙහෙයුම් කටයුතු’ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබී ය. එසේ නම්, “මෙහෙයුම් කටයුතුවලට සහාය වීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන දැනට නොමැති වීම” යනුවෙන් වගන්තියක් එක් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව තහවුරු වී තිබේ. ඉස්ලාම් අන්තවාදීන් හඹා යාමට බාධාවක් නොවී නම්, දැන් හදිසියේ “ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන” නොමැති බව සඳහන් කරන්නේ කුමන පදනමකින් ද?

2007දී ගෝඨාභය රාජපක්‍ෂ මෙරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස සහ මෙරට සිටි ඇමෙරිකානු තානාපති, රොබට් ඕ. බ්ලේක් අතර අත්සන් කරන ලද ආරක්‍ෂක ගිවිසුම එතරම් ම ප්‍රබල ය. මෙරටට කඩාවදින ඇමෙරිකානු කුලී හේවායන් මෙරට තුළ දී කුමන අපරාධයක්, ම්ලේච්ඡ තිරිසන් ක්‍රියාවක් මෙරට දී සිදු කරනු ලබන එවැනි අවස්ථාවල ඒ අපරාධකාරයන්ට විරුද්ධව ක්‍රියා කිරීමට නම්, දැනට පවතින නීති ප්‍රමාණවත් නැත.

රටක බුද්ධි අංශවලට වැඩි වරප්‍රසාද ලබා දී තබා ගත යුත්තේ, පාලකයන් ජනතාවට භය වූ විට ය. පාලකයන් ජනතාවට භය වන්නේ ඔවුන් ජනතාවට ද්‍රෝහිකම් කර ඇත් නම් ය. ජනතාවට ද්‍රෝහිකම් කර පාලකයන් යහතින් සිටීමට නම්, බුද්ධි අංශවලට නෛතික රැකවරණ සැපයීම නොව අඟහරු ලොවෙන් හෝ විශ්වයේ අතිදක්‍ෂ බුද්ධි ජාලා යෙදැවුවත් නොහැකි වනු ඇත. ඉතිහාසය කියා දෙන පාඩම එයයි.

ලංකා මාරසිංහ

Previous articleනාටක මාරයි කාලා හමාරයි! සංදර්ශන පමණයි
Next articleක්‍රිකට් ආනන්දයේ මුල් තැන්පතු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here