නාටක මාරයි කාලා හමාරයි! සංදර්ශන පමණයි

15

හැම දේ ම නැවත නැවත සිදු වන්නේ ය. 2015 ජනවාරි 08 වැනිදා පැමිණි ආණ්ඩුව කිව්වේ කටුනායක ගුවන්තොටුපොළ පවා වසා දමා හොරු අල්ලන බවයි. මේ ආණ්ඩුවේ කට්ටියත් විපක්ෂයේ සිටින විට කිව්වේ, බැඳුම්කර හොරු හිරේ දමන බවයි. මේ කිසිවක් සිදු නොවේ. ජනතාවගේ විශ්‍රාම වැටුප් වැඩි වීම පවා අත්හිටුවා තිබේ. ඒ වෙනුවට දවසින් දවස මාධ්‍ය සංදර්ශන සිදු වේ.

රන්ජන් රාමනායක හෝ විනිසුරුවරුන් හෝ කවුරුන් හෝ නීතියේ ආධිපත්‍යය ඇතුළු ජනතාවට වඩා යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා බිහිකරගෙන ඇති ක්ෂේත්‍රවලට බලපෑම් කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව කටයුතු කළ යුතු ය. එහෙත්, එය සිදු විය යුත්තේ තෝරා බේරා ගැනීමක් සහිතව නොවේ. බැඳුම්කර ගනුදෙනුවලට අදාළ වෝහාරික විගණන වාර්තාව ගැන කතාබහ යට ගසන්නටත්, බඩු මිල, විශ්‍රාම වැටුප් වැඩි වීම අත්හිටුවීම ඇතුළු එකී නොකී මෙකී දේ සඟවන්නටත් වැඩ සිද්ධ වන්නේ නම්, ඊට එරෙහි විය යුතු ය. කෙසේ වෙතත්, හරියටම නොදන්නා දෙයක් ගැන නිශ්චිත කිසිවක් පැවසිය නොහැකිවාක් මෙන්ම, ඇස් දෙකට හොඳට පෙනෙන දේවල්වල යටි අරුත තේරුම් ගන්නට හැකියාවක් ද තිබිය යුතු ය.

ශානි අභියෝගයක් ද?

ඒ ජාතියේ අලු‍ත්ම උදාහරණය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගන්නට යන කතාව ය. මේ ලිපිය ලියන මොහොත (23 පෙරවරුව) වන විට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ ප්‍රකාශයක් ගන්නට ය. ඇතැම් විට පුවත් පත ඔබ අතට පත් වන විට ඔහු අත්අඩංගුවේ සිටිය හැකි ය. එසේ නොවන්නට ද ඉඩ ඇත. ශානි අබේසේකරට ආණ්ඩුවේ කේවට්ටයන් සහ කේවට්ටයන්ගේ අන්තේවාසිකයන් ලවා දිගින් දිගටම පහර දුන්නේ රන්ජන් රාමනායක සමග දුරකථනයෙන් කතා කළ හඬපටයක් පිට වීමත් සමග ය.

හඬපට යන වචනය දැනට භාවිත කළ යුතුව තිබේ. ඒවා සංස්කරණය කරන ලද ඒවා ද, ඔරිජිනල් ඒවා ද යන්න පිළිබඳ තවම හරියටම කියන්නට නොහැකි ය. වැඩ සිද්ධ වන ආකාරය අනුව නම්, සැකයක් තබා ගැනීමේ කිසිදු ගැටලුවක් නැත.

ඉහත කී හඬපටය නිසා ශානි අබේසේකර කළ විමර්ශනවල අපක්ෂපාතීභාවය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු කරනු දැකිය හැකි විය. ශානි අබේසේකරට සියයට සියයක් ලකුණු දෙන්නට හැකියාවක් කොහොමත් නැත. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළට යන්නට නම්, ආණ්ඩුවල අවශ්‍යතා ඉටු කළ යුතු ය. ශානි සිටියේ ද මෙයින් පිටත නොවේ. ඇතුළතම ය. එහෙත් කළු ඇඳ ගත් සියල්ලන් එක් වී ශානිට වට කොට පහර දීමත්, ඔහුගේ පිටින් සියල්ල යැවීමට ගන්නා උත්සාහයත් අනුමත කළ නොහැකි ය. ඔහු සාපේක්ෂව දක්ෂ විමර්ශකයෙකි. ඔහුගේ විමර්ශනවලට එල්ල වූ යම් යම් බලපෑම් අවම කර

ගැනීමට රන්ජන් රාමනායක වැනි ජනප්‍රිය ඉත්තන් යොදා ගත් බවට අනුමාන කළ හැකි ය. කොහොමත් වැටත්, නියරත් ගොයම් කන අතරේ කීඩෑවන් ද ගොයමට විදින විට, අටුකොටු පුරවන්නට වී අස්වැන්න ගත නොහැකි ය. එම නිසා ශානිලා උත්සාහ කරන්නට ඇත්තේ එදා වේලට යාන්තම් වී ටිකක් ගෙට ගන්නට විය හැකි ය. එහෙත්, බහුතර ජනතාවට අවශ්‍ය වී ඇත්තේ ඒ ටිකත් නැතිව බඩගින්නේ මැරෙන්නට ය.

ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ නීතියේ ස්වාධීනත්වය බල්ලාට දමා තමන්ට එරෙහිව සිදු කළ විමර්ශනවලට කළු පැල්ලම් එක් කොට, ඒවා පළිගැනීම් බව සමාජය ඉදිරියේ තහවුරු කරන්නට ය. ඒ අතරේ තමන්ගේ චක්ගෝලයන් නිදහස් කර හරින්නට ය. විශේෂයෙන්ම දුමින්ද සිල්වා වැනි ඝාතන නඩුවකින් මරණ දඬුවම නියම වී, උපරිමාධිකරණයෙන් එය තහවුරු වූ අයකුට පවා ඒ වරප්‍රසාදය ලැබෙන්නට නියමිත බවට මාධ්‍ය වාර්තා පළ වේ. එහෙත්, මෙතෙක් ඊට අදාළ කිසිදු ලියකියැවිල්ලක් සකස් කර නැත. කොහොමත් කසකාරයන් එන්නේ ඉස්සරහින් ය.

තවත් දුරකථන මෙහෙයුමක්

ශානි අබේසේකරට එරෙහිව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ කෝල් රෙකෝඩින් භාවිත කර, මොනවා හෝ කරන්නට උත්සාහ කළ ද, එය හරි ගියේ නැත. දැන් ශානිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරන්නට යන්නේ මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ගේ සිදුවීම සම්බන්ධයෙන් ය. ගානියා පැහැරගෙන ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ හිටපු ප්‍රධානී, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට විදෙස්ගත වීමට අවශ්‍ය කටයුතු සිදු කෙරුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව මාධ්‍ය මඟින් වාර්තා කෙරිණි. ඒ සිදුවීම රජය අපහසුතාවට පත් කරන්නට සිදු කළ, සැලසුම්සහගත කුමන්ත්‍රණයක් බවට මතයක් සමාජගත කරමින් තිබේ. දැන් ආණ්ඩුව පාර්ශ්වයෙන් කියන්නේ මේ කුමන්ත්‍රණයට ශානි අබේසේකරත් සම්බන්ධ බවයි.

නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයේ ආරක්ෂාව පතා යන්නට පෙර දින රාත්‍රියේ තමන්ගේ ආසන්න ප්‍රධානියා වූ ශානි අබේසේකරට දුරකථන ඇමතුමක් ලබා දී තිබේ. ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයා ක්‍රිශාන්ත කුරේ සහ ශානි අබේසේකර අතර ද විනාඩි අටක පමණ දුරකථන කතාබහක් ඇති වී තිබේ. ක්‍රිශාන්ත කුරේ සභාපතිත්වය දැරූ ආයතනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන ‘සන්ඬේ ඔබ්සර්වර්’ පුවත් පතේ කර්තෘ ධුරය දැරූ දරීශා බැස්ටියන් විසින් ක්‍රිශාන්ත කුරේට දුරකථන ඇමතුමක් ගෙන තිබේ. දරීශා සහ ගානියා අතර ද දුරකථන පණිවිඩ හුවමාරු වී තිබේ. මේ දුරකථන සංවාද අදාළ කරගෙන ය, අලු‍ත් කතාව නිර්මාණය කරමින් තිබෙන්නේ. දරීශාට තම ආයතනයේ ප්‍රධානියාට දුරකථන ඇමතුමක් ගත නොහැකි ද? නිශාන්ත සිල්වාට තමන්ගේ ප්‍රධානියාට ඇමතුමක් ගත නොහැකි ද? දරීශා යනු විදේශ පුවත් ආයතන සමඟ ද සේවය කරන මාධ්‍යවේදිනියකි. ඇයට තානාපති කාර්යාල නිලධාරිණියක සමඟ සම්බන්ධකම් පැවැත්විය නොහැකි ද? මේ සිදුවීම සම්බන්ධයෙන් මේ පාර්ශ්වවලින් ප්‍රශ්න කිරීමේ ගැටලුවක් නැත. ප්‍රශ්න කරන්නේ ඇත්තක් එළියට ගන්නට නම්, විමර්ශනවලට සහාය දිය යුතුය.

එකම දේ – වෙනස් විදිහට!

එහෙත්, මේ ජාතියේ ම දුරකථන සංවාද පැහැර ගැනීම් හේතු කරගෙන මීට පෙර ද සිදු වූ බවත්, ඊට සම්බන්ධ වූවන්ගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගැනුණේ දැවැන්ත කල්මැරීම්වලින් පසුව බවත්, ඒවා අධිකරණයට පවා ඉදිරිපත් කොට තිබුණ ද, ඒ විමර්ශන තැන් තැන්වල තැක් ගැහෙමින් තිබෙන බවත් අවධාරණය කළ යුතු ය.

නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වූ කීත් නොයාර් පැහැරගෙන ගොස්, බරපතළ ලෙස පහර දීමේ සිදුවීමත් සමඟ මේ ජාතියේ දුරකථන සංවාද මෙහෙයුමක් ක්‍රියාත්මක විය. එය අධිකරණයට ඉදිරිපත් කොට තිබේ. මේ එය කෙටියෙන් ය.

“…නේෂන්’ පුවත් පතේ නියෝජ්‍ය කර්තෘව සිටි මාධ්‍යවේදී කීත් ලෙරෝයි නොයාර් මහතා, ඔහු පදිංචිව සිටි අංක 52, වෛද්‍ය පාර, දෙහිවල නිවස ඉදිරිපිට දී 2008 මැයි 22 වැනි දින පැහැරගෙන යාම සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී….. නිවසට පැමිණ කාර් රථයෙන් බැස ගේට්ටුව විවෘත කරන අවස්ථාවේ දී සුදු පාට වෑන් රථයකින් බැස පැමිණි අය පිස්තෝල සහ පොලු‍වලින් පහර දුන් බවත්…, ඔවුන් ඔහු වෑන් රථයකට දමා ගත් බවත්, එහි දී ඇස් බැඳ දෑත් පිටුපසට තබා හෑන්ඞ්කප් දැමූ බවත්, රුපියල් 2,000.00ක් තිබූ පර්ස් එක ද ලබා ගත් බවත්, රන් පවුමක පමණ මුද්ද පිස්තෝලයෙන් ගැසූ කෙනා ගත් බවත්… වෑන් රථය තුළ දී ද පහර දී ඇති අතර, පැයක පමණ කාලයක් ගමන් කර නැවත බැස්ස වූ බවත්, අත් විලංගුවලට හරහට පොල්ලක් දමා පොල්ලෙන් උස්සාගෙන ගිය බවත්, ලොකු කාමර සහිත නිවසකට ගෙන ගොස් ඇඳුම් ගලවා පහර දුන් බවත්… එල්ටීටීඊ එකත් එක්ක තියෙන සම්බන්ධය මොකක් ද කියා විමසූ බවත්, උඹට පත්තරේ දමන්න තොරතුරු දෙන්නේ කවුද? යනුවෙන් විමසූ බවත්, ඉන් පසුව එතැනට කෝල් එකක් ලද බවත්, ඉන්පසුව දුරකථනයට කතා කළ කෙනා තමන් ළඟට ඇවිත් ඇඳුම් ඇඳගන්නා

ලෙසත්, මඩ හෝදා ගන්නා ලෙසත් පැවසූ බවත්… ඉන් පසුව නැවත වෑන් රථයක නංවාගෙන ඇස් බැඳ රැගෙන ඇවිත් තැනකට දමා මේක කාට හරි කියලා තිබුණොත් මරනවා යනුවෙන් තර්ජනය කර මුදාහැර ඇත.

‘නේෂන්’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් හා ‘රිවිර මීඩියා කෝපරේෂන්’ සමාගමේ සභාපති වූ ක්‍රිෂාන්ත කුරේ විසින් ….. දරන දුරකථනයෙන් එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ වෙත ඇමතුම් ලබා ගත්තත්, එතුමා සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ නිසා එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ….. දරන දුරකථනයට කතා කොට

“මම ලලිත් අලහකෝන් කතා කරන්නෙ. නේෂන් පුවත්පතේ කීත් නොයාර්ව පැහැරගෙන ගිහින් තියෙනවා. පැහැර ගැනීම කරලා තියෙන්නෙ ආමි කොමාන්ඩෝ එකෙන්” බව පවසා ඇත. එහි දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් “මගේ ආමි කොමාන්ඩෝට ඇඟිල්ල දික්කරන්න එපා.  ඕක ගෑනු කේස් එකක්” යනුවෙන් පවසා ඇත.

පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් පවසා ඇත්තේ “ඔතැනට දැන් සීසීඩී එකේ ඩිරෙක්ටර් (කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ) එනවා. එයා  ඕක බලයි” යනුවෙන් දැනුම් දී තිබේ.

…..එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායක කීත් නොයාර්ගේ නිවසට පැමිණ ලලිත් අලහකෝන්ගෙන් විස්තර විමසා ඇති අතර, එහිදී අනුර සේනානායක විසින් පවසා ඇත්තේ “ඔය මනුස්සයා පැය දෙකකින් විතර එයි. මම  ඕකට ටීම් එකක් දාලා ඉන්වෙස්ටිගේෂන් කරනවා” යනුවෙනි.

ලලිත් අලහකෝන් විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට දුරකථනයෙන් අමතා මේ පිළිබඳව දැනුම් දීමෙන් පසු සිදු වූ දුරකථන සංවාදයන් පිළිබඳව විමර්ශන පවත්වන ලදී (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්).

1. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  භාවිත කළ අංක ….. දරන දුරකථනයෙන් එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්න භාවිත කළ ….. අංක දරන දුරකථනයට රාත‍්‍රී 11.36ට ඇමතුමක් ලබාගෙන ඇත. ඉන් පසුව ආරක්ෂක ලේකම්වරයා භාවිත කළ දුරකථනයෙන් රාත‍්‍රී 11.39ට ජාතික බුද්ධි ප‍්‍රධානී ලෙස කටයුතු කළ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ භාවිතා කළ ….. අංක දරන දුරකථනයට ඇමතුමක් ලබාගෙන ඇත.

2. ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පති ජයන්ත වික්‍රමරත්න වෙත මේ ගැන දැනුම් දීමෙන් පසු පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර සේනානායකගේ නිවසේ අංක ….. දරන දුරකථනයට රාත‍්‍රී 11.51ට සම්බන්ධ වී ඇති බවත්.

3. ඉන්පසුව ජාතික බුද්ධි ප‍්‍රධානී භාවිත කළ ….. දරන දුරකථනයෙන් රාත‍්‍රී 11.41ට එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි එවකට බි‍්‍රගේඩියර් අමල් කරුණාසේකරට යුද හමුදාව මඟින් ලබා දී ඇති ….. අංක දරන දුරකථනයට ඇමතුමක් ලබා දී ඇත.

4. යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහු භාවිත කරන ලද ….. අංක දරන  දුරකථනයෙන් ති‍්‍රපෝලි කඳවුරේ පිහිටුවා තිබූ යුද හමුදා බුද්ධි අනුඛණ්ඩයට යුද හමුදාව මඟින් නිකුත් කර තිබූ ….. දරන දුරකතනයට රාත‍්‍රී 11.47ට ඇමතුමක් ලබාගෙන ඇත. මේ වන විට අමල් කරුණාසේකරගේ දුරකථනය ජාවත්ත ප‍්‍රදේශයේ තිබී ඇති අතර, ත‍්‍රිපොලි කඳවුරට ලබා දී තිබූ දුරකථනය මල්වාන ප‍්‍රදේශයේ තිබී ඇත. (කීත් නොයාර්ව රැගෙන ගොස් ඇත්තේ මල්වාන ප‍්‍රදේශයට බව හෙළි වී තිබේ.)

5. බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහුට ලබා දී තිබූ දුරකථනයෙන් ති‍්‍රපොලි කඳවුරේ පිහිටුවා තිබූ බුද්ධි අනුඛණ්ඩයේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කළ මේජර් බුලත්වත්ත, ඔහුගේ නමින් ලබාගෙන තිබූ ….. අංක දරන දුරකථනයට රාත‍්‍රී 11.48ට ඇමතුමක් ලබාගෙන ඇත. ඒ වන විට මේජර් බුලත්වත්තගේ දුරකථනය තිබී ඇත්තේ මල්වාන, දෙකටන ප‍්‍රදේශයේ ය. (එනම් කීත් නොයාර් පැහැරගෙන ගිය බවට හෙළි වී ඇති ප‍්‍රදේශයයි.

මේ ජාතියේ දුරකථන සංවාද සිදු වූ රටකි, මේ.

ශානි වෙනුවට ආ සුදු චරිත

එසේම මේ සිදුවීම දැන් විමර්ශනය කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ය. ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ ය. මේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන මාර්තු මාසයේ විශ්‍රාම යාමට නියමිත ය. ඔහු රතුපස්වල වෙඩි තැබීම ඇතුළු විමර්ශන ගණනාවක දී කැපවීමෙන් කටයුතු කළ බවට ප්‍රශංසා ලැබූ නිලධාරියෙකි. පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ ඔහු තමන්ගේ අවසාන රාජකාරි කාලය සතුටින් ගත කිරීමටත්, තව දුරටත් ඉදිරියේ දී මොනවා හෝ කරන්නටත් තීරණය කර ඇති නිසා මෙරිල් රංජන්ගේ උපදෙස් මත අවශ්‍ය දේවල් සිදු කරන බවකි. විමර්ශකයන්ට විමර්ශනයට අවශ්‍ය පරිදි ප්‍රශ්න කිරීම් කළ හැකි ය. එහෙත්, ඊට පෙර විමර්ශකයන් ද සුදු ඇඳගෙන සිටිය යුතු ය. මෙරිල් රංජන් සම්බන්ධයෙන් ඇති තොරතුරු ඒ ජාතියේ ඒවා නොවේ. වැලිකඩ සමූහ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන්ගේ සහෝදරයා ය, ඔහු. සහෝදරකම් වෙනම කතාවකි. ඊට වඩා කතා තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ නඩුවට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම නිසා වැඩ තහනමට ලක් වූ සහ ඇවන්ගාඞ් නඩුවේ කරුණු විකෘති කිරීමේ සිද්ධියක් නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කෙරුණු නිලධාරියෙකි, මෙරිල් රංජන් ළමාහේවා. භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියේ සැකකරුවකු වූ දුමින්ද සිල්වා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලැබූ වකවානුවේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සිංගප්පූරුවට ගියේ මෙරිල් රංජන් ළමාහේවා වන අතර, දුමින්ද සිල්වාට කිසිවක් මතක නැති බවට සටහන් කරගෙන ආවේ ද ඔහු ය.

2012 අප්‍රේල් 04 වැනිදා මේ නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳ වූ අවස්ථාවේ දී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටිය යුතු මෙරිල් රංජන් ළමාහේවා උසාවියේ සිට නැති අතර, ඒ ගැන දෝෂාරෝපණයක් එල්ල කළ මහේස්ත්‍රාත්වරයා ඔහුට පෞද්ගලිකව අප්‍රේල් 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත. මේ සම්බන්ධයෙන් එවකට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්ගේ නියමයෙන් විමර්ශනයක් සිදු කළ අතර එහි දී අනාවරණය වී ඇත්තේ, මෙරිල් රංජන් ළමාහේවා, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අධිකරණයේ පෙනී නොසිට ඇත්තේ ඊට පෙනී සිටින බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබිය දී බවයි. මෙම විමර්ශනවලින් පසු මෙරිල් රංජන් ළමාහේවාගේ වැඩ තහනම් කෙරුණු අතර, පසුව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඔහු යළි සේවයේ පිහිටුවා ඇත.

2006 වසරේ පෙබරවාරි 06 වැනිදා මෙරිල් රංජන් පොලිස් පරීක්ෂක ධුරයට උසස් වී ඇති අතර, පසුව 2010 වසරේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අනුමැතියක් යටතේ ඔහුගේ පොලිස් පරීක්ෂක උසස් වීම 2001 අප්‍රේල් පළමුවැනිදාට පෙරදාතම කර තිබේ. ඒ අනුව එම විශේෂ අනුමැතිය ලද ලිපියෙන්ම ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස 2006 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි උසස් කිරීමට ද අනුමැතිය ලබා දී තිබේ.

2010 අප්‍රේල් 19 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවට අතිරේක ලේකම් (පොලිස්) එච්. කේ. බාලසූරිය විසින් එම අනුමැතිය සහිත ලිපිය නිකුත් කර තිබේ. ආරක්ෂක ලේකම්ගේ අනුමැතිය ලැබුණු හෙයින් ඔහුගේ පොලිස් පරීක්ෂක ධුරය පෙරදාතම කර ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමේ විශේෂ පොලිස් පණිවුඩය 2010 අප්‍රේල් 27 වැනි දා දුරකථන පණිවුඩ අංක 805 යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) පෞද්ගලික සහකාර ලෙස සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් බණ්ඩාර විසින් නිකුත් කරනු ලැබ තිබේ.

2015දී ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩාව සොයා ගැනීමත් සමඟ එහි විමර්ශන රහස් පොලිසියට පැවරූ අතර එම විමර්ශන යන අතරතුර දී නීතිපති දෙපාර්තමේන්තුව නාවික හමුදාවෙන් වාර්තාවක් විමසා ඇති අතර, මෙරිල් රංජන් ළමාහේවා ප්‍රකාශ කර ඇත්තේ එම වාර්තා නාවික හමුදාවෙන් ලබා දී නැති බවයි. කෙසේ වෙතත්, නාවික හමුදාවෙන් එය විමසද් දී නාවික හමුදාව ප්‍රකාශ කර ඇත්තේ එම වාර්තාව රහස් පොලිසියේ මෙරිල් රංජන් ළමාහේවාට ලබා දී ඇති බවයි.

එම සිද්ධියෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුවේ ඇවන්ගාඞ් සිද්ධිය ගැන පැවැති සාකච්ඡාවක දී ගිනිඅවිවල අංක මකා දැමීම ගැන විමර්ශන නොකරන්නේ ඇයි දැයි විමසා තිබෙන අතර, එහි දී මෙරිල් රංජන් ළමාහේවා ප්‍රකාශ කර ඇත්තේ, ගිනි අවි නැවේ තිබිය දී, නැව පැද්දෙද්දී ගිනි අවි දෙපැත්තට ගොස් ඒවා මැකෙන්නට ඇති බවයි. වගකීම් විරහිත සහ විමර්ශන නොමඟ යවන එම ප්‍රකාශයෙන් පසු මෙරිල් රංජන් විමර්ශනවලින් ඉවත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

ඒ අනුව ඔහු අදාළ විමර්ශනවලින් ඉවත් කර යාපනයේ පිහිටි රහස් පොලිස් ශාඛාව භාරව යවා තිබේ. එසේ ගොස් දින කිහිපයකින් පසු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ වජිර අබේවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකුට කතා කර තම මිතුරකුගේ හිතවතකු වන මෙරිල් රංජන් ළමාහේවා යාපනයට යැවීම ගැන විමසා තිබේ. ඇමැතිවරයාගේ හිතවතා ඇවන්ගාඞ් නඩුවේ සැකකරුවකු වන නිශ්ශංක සේනාධිපති බවට අනාවරණය වීමෙන් පසු ඒ ගැන සටහන් යොදා ඇති රහස් පොලිස් ප්‍රධානීන් මෙරිල් රංජන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබේ. ඒ අනුව මෙරිල් රංජන් ළමාහේවා දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ඇත. දැන් ඔහු නැවතත් එතැන ය.

ආණ්ඩු මාරු වන විට විමර්ශකයන් මාරු වේ. අපරාධ එහෙම ම ය. චූදිතයන් නිදහසේ ය. කෙසෙල් කැන් නඩු පමණක් අවසන් වෙමින් තිබේ.

සංඛ්‍යාත අවභාවිතය

මේ සියල්ල සිදු වන ආකාරයේ අමුතු අපූර්වත්වයක් පෙනෙන්නට තිබේ. එක ම ජාතියේ වෙනස් සිදුවීම් තව තවත් සිදු වීමට නියමිත ය. මහජන දේපොළක් වන සංඛ්‍යාත අවභාවිත කරමින් රූපවාහිනී නාළිකා මේ නාට්‍යවලට පණ පොවමින් සිටී. ජනතාව ඒවා තව දුරටත් විශ්වාස කරමින් සිටී. ඊට එරෙහිව කතා කළ හැකි, කතා කළ යුතු බොහෝ පාර්ශ්ව නිහඬව සිටී. ඒ අතරවාරයේ ජනතාවට බඬේ පාර වදිමින් තිබේ.

ශාලික විමලසේන

Previous articleආරක්ෂක ඇමතිකම මහින්දට නොදෙන්නේ සැක ද? බය ද?
Next article‘බුද්ධි’ රකින නීතියේ ඇත්ත කතාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here