වැඩිපුර රැවටෙන කාන්තාව

13

අප රටේ ඉරිදා දිනවල පළ වන සිංහල මාධ්‍ය පුවත් පත් කීපයක ම විවිධ වශී ගුරුකම් ගැන ද, ඒවා මඟින් ඉටු කර ගත හැකි බව පැවසෙන විවිධ අවශ්‍යතා ද දැක්වේ. ඒවා නම්, යමකු වශී කර ගැනීම, සබඳතා බිඳීම, ආදරය කර පිටු පා හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය නැවත එක් කිරීම, ව්‍යාපාර සහ රැකියා දියුණු කිරීම, ප්‍රේම සම්බන්ධයට මවුපියන් කැමැති කරවා ගැනීම, තරග විභාග ජය ගැනීම, නොවිකිණෙන ඉඩම් විකුණා දීම, දරු ඵල ලබා ගැනීම, කොඩිවින කැපීම, මත්කුඩු සහ සුරා ඇබ්බැහිය නවත්වාලීම, ග්‍රහ අපල දුරු කර දීම ආදිය වේ. ජන්ම පත්‍රය අනුව පලාපල කියන දැන්වීම් පුවත් පත්වල අඩු වුව ද, විද්‍යුත් නාළිකා කීපයක ම උදේ වරුවේ වැඩිපුර ම ප්‍රචාරය වන්නේ ජ්‍යෝතිෂය සම්බන්ධ වෙළෙඳ දැන්වීම් ය.

පුවත් පත්වල පළ වන දැන්වීම් අනුව තම අවශ්‍යතා ඉටු කර ගැනීමට තම මුදල් අපතේ හරින අය අතුරින් වැඩි පිරිසක් වන්නේ කාන්තාවන් ද නැතහොත්, පුරුෂයන් ද යන්න දැනගත නොහැකි නමුත්, විද්‍යුත් නාළිකාවලින් ප්‍රචාරය වන ජ්‍යෝතිෂ වැඩසටහන්වලට සම්බන්ධ වන්නේ වැඩි වශයෙන් ම කාන්තාවන් බව එම වැඩසටහන් සමඟ සම්බන්ධ වී පලාපල විමසන කාන්තාවන් සංඛ්‍යාව අනුව පෙනේ.

තාක්‍ෂණික වශයෙන් දියුණු රටක් වන ඇමෙරිකාව ගැන සැලැකූ විට ජනගහනයෙන් සියයට පනහක් පමණ මිථ්‍යා විශ්වාසවලට යම් නැඹුරුවක් දක්වන බව වාර්තා වේ. ඔවුන් අතර පවතින මිථ්‍යා විශ්වාස අප රටේ පවතින ඒවාට වඩා වෙනස් ය. නිදසුන් වශයෙන්, පෙති හතරක් ඇති ‘ක්ලෝවර්’ (Clover) පත්‍රයක් දැකීම සුභ පල ගෙන දෙයි, ඉනිමඟක් යටින් ගමන් කිරීම අසුභ ය, නිවස තුළ කුඩයක් දිගහැරීම අසුභ ය, අංක 7 ජයග්‍රාහී ය, අංක 13 මෙන් ම 13 වැනි සිකුරාදා දිනය ද අසුභ ය යනාදිය වේ.

දියුණු රටවල ද පොදු වශයෙන් ගත් කල කාන්තාවන් අතර මිථ්‍යා විශ්වාස වැඩි බව පෙනේ. එමෙන් ම ආගමික විශ්වාස ද කාන්තාවන් අතර වැඩි ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයකු වූ ද, විද්‍යාත්මක අදහස් ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සම්මානලාභියකු වූ ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්ය, ප්‍රවීණ ලේඛක, කේ.ආර්. අබේසිංහ මහතා විසින් කාන්තාවන් මිථ්‍යා විශ්වාස පසුපස යාමට විද්‍යාත්මක හේතු දැක්වෙන ලිපියක් ප්‍රකාශයට පත් කර ඇත.

එම ලිපියෙහි මුල් කොටසින් ඒ මහතා පැහැදිලි කර ඇත්තේ, ‘හෝමෝ සේපියන්’ හෙවත් මිනිස් වර්ගයා වන අපගේ ගැහැනුන් සහ පිරිමින් අතර පැහැදිලි වෙනස් ලක්‍ෂණ රැසක් දක්නට ලැබෙන බවත්, ශාරීරික ලක්‍ෂණවල වෙනස පැහැදිලි වන නමුත්, මානසික තත්ත්වයේ වෙනස පැහැදිලි නොවන බව ය. කාන්තාව පුරුෂයාට වඩා ශාරීරික ලෙස ශක්තිමත්කමින් අඩු හෙවත් දුර්වල වීම හේතුවෙන් කාන්තාව මානසික තත්ත්වයෙන් පුරුෂයාට වඩා පහළ මට්ටමක සිටීම පැහැදිලිව පෙනී යන අවස්ථා බොහෝ බව ද සඳහන් කර ඇත.

පරිණාමයට භාජනය වූ හෝමෝ සේපියන් අද වන විට ස්වාභාවික ජීවිතයෙන් වෙනස් වී ඇතත්, එදා හෝමෝ සේපියන්ස්ලා මුහුණ දුන් ස්වාභාවික පරිසරයට වඩා වෙනස් වූ සංසිද්ධිවලට මුහුණ දීමට අපට සිදු වී ඇතත්, කාන්තාව සතු ශක්ති හීනතාව නිසා ඒ ඒ අවස්ථාවල කාන්තාව පරිසරයට මුහුණ පාන අවස්ථාවල දී ඇයගේ මානසික තත්ත්වය පෙනී යන බව ද සඳහන් වේ.

නිවසේ හෝ කාර්යාලයේ ක්‍ෂණික මහා ශබ්දයක් ඇසෙන, අවදානමක් යැයි හැඟෙන අවස්ථාවක එය විමසා බැලීමට කාන්තාවන් ඉදිරිපත් වන්නේ කලාතුරකින් බව ද, ගැරඬියකු වැනි සර්පයෙක් නිවසට රිංගන විට පමණක් නොව කැරපොත්තකු, මී පැටියකු වැනි සතෙක් පැමිණියත් කාන්තාවන් බියෙන් කෑගැසීම හෝ එතැනින් පලා යාම සිදු කරන බව ද කේ.ආර්. අබේසිංහ මහතා එම ලිපියෙහි සඳහන් කරයි.

“දේව බල, විශ්ව බල හෝ අද්භූත බල ආදී විවිධ නම්වලින් හඳුන්වනු ලබන මිථ්‍යා කෙරෙහි මහා විශ්වාසයක් තැබීම අතින් කාන්තාව පෙරමුණේ සිටින බවට සාක්‍ෂි බොහෝ ය. පන්සල, පල්ලිය, කෝවිල, දේවාලය, කට්ටඩිරාල අසල, ජ්‍යෝතිෂ කාර්යාලය, බෝධි පූජා, මල් වට්ටි පූජා, ධාතු වන්දනා, භාවනා මධ්‍යස්ථාන ආදී විශ්ව, දේව, අද්භූත බල සහිත යැයි විශ්වාස කරන ස්ථානවල දී ඒවාට සහභාගී වන

ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන් බව පැහැදිලි ය. මේ සඳහා ආසන්නත ම උදාහරණය රුවන්මැලි මහා සෑය මත තැන්පත් කිරීමට යෝජිත අභිනව චූඩාමාණික්‍යය නොවැම්බර් මස 18, 19 සහ 20 යන දිනවල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මහජන ප්‍රදර්ශනයට තබා තිබූ අවස්ථාවේ මෙන් ම එම චූඩාමාණික්‍යය කොළඹ සිට අනුරාධපුරය දක්වා ප්‍රවාහණය කළ අවස්ථාවේ ද බැතිමත් කාන්තාවන් කඳුළු සලමින්, දොහොත්මුදුන් දී වන්දනා කරමින්, මිථ්‍යා ගංගාවේ ගිලී සිටි අවධියයි. සමහර කාන්තාවන් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මෙවන් වදන් ය. “බුදුහාමුදුරුවන් දැක්කා වාගේ සතුටක්…, මේක නම් මගේ පෙර පිනක් නිසා මට ලැබුණු දෙයක් කියලා හිතෙනවා…, මේක මගේ වාසනාව…”

“අද්භූත හෙවත් නොපෙනෙන බලවේගවල පිහිට පැතීමට කාන්තාව මෙතරම් පෙළැඹීමට හේතුව වන්නේ ඇය සතු දුර්වල පෞරුෂයයි (ශක්තියයි), ඒ දුර්වලකම පූර්ණත්වයට පත් කර ගත හැකි වේ යැයි බලාපොරොත්තුවෙන් ඔවුන් නොපෙනෙන බලවේගවල පිහිට ලබා ගැනීම උදෙසා පුද පූජා, යාතිකා, ගීතිකා, ජ්‍යෝතිෂ වැඩසටහන්, බෝධි වන්දනා, ලක්‍ෂ ගණන් පිච්ච මල් පූජා පින්කම්, ධාතු වන්දනා, විශ්ව බල ප්‍රදර්ශන ආදියට, පල්ලි, දේවාල හෝ කෝවිල්වල දේව වන්දනා ආදියට සහභාගී වීමට පෙළ ගැසී සිටීම ස්වභාවයයි.

“කාන්තාවන් මිථ්‍යා මතවල එල්ලීගෙන විවිධ ප්‍රෝඩාකාරයන්ගේ පිහිට පැතීමට පෙළැඹීම නිසා සමාජයට වන අගතිය අප්‍රමාණ ය. දේව බල, භූත බල, විශ්ව බල යනාදිය මිථ්‍යාවන් බවට පැහැදිලි වී දිගු කලක් වුවත්, තවමත් මිථ්‍යා විශ්වාසවල ඇලී ගැලී සිටීම අද පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ යථාවබෝධය දුර්වල කිරීමට හේතු වන සාධකයක් වී ඇත. විද්‍යාත්මක සහ තාක්‍ෂණික අවබෝධය දූ දරුවනට ලබා දීම සඳහා සංස්කරණය වී ඇති පාඨමාලා තුළින් විශ්වය සහ පරිසරය පිළිබඳව දූ දරුවන්ට ලැබෙන යථා දැනුම් සම්භාරය ආපස්සට තල්ලු කිරීම මිථ්‍යාව මඟින් සිදු වන අයහපත් ප්‍රතිඵලයක් බව අවබෝධ කර නොගන්නා අම්මලා, තාත්තලා මිථ්‍යා විශ්වාස වෙත දූ දරුවන් යොමු කරවන අතර, කාන්තාවන් බහුතරයක් මිථ්‍යාවේ ගිලී සිටීම නිසා මෙම වරදට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ, අම්මලා බව පැහැදිලි ය.

“මිථ්‍යාව පසුපස යන කාන්තාවන්ට ඒ දුර්වලතාව නිසා ම විවිධ ආපදාවලට සහ හිරිහැරවලට ලක් වීමට සිදු වීම ද ඉතා කනගාටුදායක ය. කොහේවත් නැති හාස්කම් සහ අද්භූත බලවේග තමන් සතු යැයි පවසන සියල්ලෝ ම කපටි ප්‍රෝඩාකාරයෝ ය. ඔවුන්ගේ මිථ්‍යාවලට රැවටී ඔවුන්ගෙන් පිහිට පැතීමට ඉදිරිපත් වන සියලු කාන්තාවන් ආර්ථික පරිහානියට පත් වීම සාමාන්‍ය දෙයකි. ඊටත් වඩා කනගාටුදායක දෙය වන්නේ, ඒ මිථ්‍යාවලට රැවටෙන කාන්තාවන්ට මුහුණ පාන්නට සිදු වන ලිංගික බලපෑම් ය. මිල මුදල් සූරා ගැනීමට අමතරව විවිධ දේවාල සහ ආගමික මධ්‍යස්ථානවල දී ලිංගික අල්ලස් ගැනීම සාමාන්‍ය දෙයක් වී ඇති අතර, සමහර සිදුවීම් අවසන් වන්නේ කාන්තාවන් මරණයට පත් වීමෙන් බවට ජනමාධ්‍ය මඟින් පෙන්වා දී ඇති අවස්ථා රැසකි.”

(උපුටා ගැනීමට අවසර දීම ගැන කේ.ආර්. අබේසිංහ මහතාට ස්තුති කරමු.)

ඒ.ඩී. ගුණසේකර

හිටපු අධ්‍යක්ෂ, පශ්චාද් උපාධි ගුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුව.

ජාතික අධ්‍යාපන ආයතනය

Previous articleඉතින්, බත් වෙනුවට කාපල්ලා වහ…
Next articleආරක්ෂක ඇමතිකම මහින්දට නොදෙන්නේ සැක ද? බය ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here