පොල් ගහේ අතු වේලි වේලී අපේ දොරකඩ වැටෙනවා
ඒ වැටෙන අතු වැහි වතුර බඩ පුරා බීගෙන පෙඟෙනවා
පෙඟෙන පොල් අතු කවුරු හරි රහසේ ම ඇවිදින් වියනවා
ඒ කියන්නේ අම්ම නොකියා ඇවිත් ගිය බව පේනවා
හිරමණේ පොල් ගාන සද්දය කුස්සියෙන් මට ඇහෙනවා
මාත් හනිකට කුස්සියට ගොස් දොරෙන් එබිලා බලනවා
අන්න එතකොට ගාපු පොල් ටික ඇතිලියක මට පේනවා
ඒ කියන්නේ පෙනී නොපෙනී අම්ම මේ ළඟ ඉන්නවා
තුනපහේ උළුහාල් සුවඳින් මගේ බඩ කට පිරෙනවා
උහුලගන්නට බැරුව සතුටින් කුස්සියට මං දුවනවා
දෙයියනේ කිරි හොද්ද ලිප උඩ මෙන්න ගොජ දා පැහෙනවා
නිවන් දැක්කත් මගේ අම්මා තාම කිරි හොදි හදනවා
සුදහ ගින්දර දැනෙනකොට මං බත් පිඟානට එබෙනවා
බිලිං අච්චාරුවත් එක්ක ම පොලොස් ඇඹුලත් තියෙනවා
මෙන්න මේ දැන් බෙදූ බත් පත මේ දැනුත් දුම් දානවා
නිවන් දැක්කත් මගේ අම්මා මගේ බඩගිනි දන්නවා
දෙගොඩහරි ජාමයේ ඈතින් සෙත් පිරිත් හඬ ඇහෙනවා
පරණ සිංගර් මැසිමෙ රෝදය කිරිස් ගා කරකැවෙනවා
ඉරී ගිය මගෙ පරණ සරමත් ඉබේට ම දැන් මැහෙනවා
නිවන් දැක්කත් මගේ අම්මා මගේ සරමත් මහනවා
හිසේ කැක්කුම හැදුණ ජාමෙට කළුවරේ මං දපනවා
ඇස්පිරින් පෙත්තකුත් නැත්තං කෙඳිරි ගාමින් නිදනවා
කවුරු හරි විත් තැඹිලි තෙල් ගා මගේ හිස පිරිමදිනවා
නිවන් දැක්කත් මගේ අම්මට හිසේ කැක්කුම දැනෙනවා
පෝය දවසට සොහොන අද්දර පාන ඇසිපිය සළනවා
වෙසක් පෝයට බකට් වැලකින් සොඳුරු හසරැලි ගලනවා
පාළුවේ මං හඬන ජාමෙට අම්ම අහසින් එබෙනවා
මගේ අම්මට තාම නිවනක් නැද්ද කියලා හිතෙනවා
කුඹුර අද්දර කුඹුක් ගස් පෙළ රෑට සීපද කියනවා
පංසලේ බණ මඩුව තාමත් පුතේ කොහොමද අහනවා
චයිත්තිය ළඟ වඳින මොහොතේ තාම කටහඬ ඇහෙනවා
ගිලන් පස පූජාව ළඟ මව්කිරි සුවඳ මට දැනෙනවා
කිඹුල්වත්පුර සුළං රැල්ලක් ඇවිත් ගම්දොර නිවනවා
නෙළුම් මානෙල් සුගන්ධයකින් මගේ පෙණහළු පිරෙනවා
සඳුන් සුවඳින් පිරෙන හදවත වාං දාමින් හඬනවා
කොබෙයියන් මිදුලට ඇවිල්ලා තාම හුනුසල් හොයනවා
වැරදිලා හරි මාත් දවසක නිවන් දැක්කොත් දුවනවා
සල්ගහක් යට මගේ අම්මා ඉන්නවා දැයි බලනවා
නිවන් දැක්කත් මගේ හිත නං ඇගේ උණුහුම හොයනවා
මගේ අම්මා අහක නොබලා ඉන්න බව මං දන්නවා
– කුමාර හෙට්ටිආරච්චි