ශ්‍රී ලංකා, බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ

37

තරඟ දෙකකින් සමන්විත සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර, ටෙස්ට් තරගාවලිය හෙට (15) චිතගොංහි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

තරගාවලි ජයග්‍රහණය දෙපිලටම තීරණාත්මක වන අතර එසේ වන්නේ තරගාවලිය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් බැවිනි.

මේ වන විට අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව 5 වැනි තැන (50%) සිටින්නේ තරග 4කින් දෙකක් ජය ගනිමිනි. බංග්ලාදේශය තරග 6කින් එකක් ජය ගෙන (16.66%) 8 වැනි තැන සිටී.

මෙම තරඟ දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුව හොත් තෙවැනි ස්ථාන දක්වා ඉහළට යෑමට හැකි වන අතර, බංග්ලාදේශය 2-0ක ජයක් වාර්තා කළ හොත් ඔවුන්ට ස්ථාන 2ක් ඉදිරියට යෑමට අවස්ථාව හිමි වේ.

අයිසීසී ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 7 (77) සහ බංග්ලාදේශය (56) 9 වැනි ස්ථානවල පසු වෙයි.

මෙතෙක් දෙරට අතර තරග 22 ක් පැවති අතර ඉන් 17ක ජය ශ්‍රී ලංකාවටත් බංග්ලාදේශය එක් ජයකුත් හිමිව තිබේ. තරග 4ක් නිමා වී ඇත්තේ ජය පරාජයෙන් තොරවය.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් හෙට තරගයට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායම ජ්‍යෙෂ්ඨ මෙන්ම ආධුනික ක්‍රීඩකයන්ගෙන් සමන්විත වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර, සුමින්ද ලක්ෂාන් සහ ඩිල්ෂාන් මදුෂංක තවමත් ටෙස්ට් වරම් හිමි කර ගෙන නැති ක්‍රීඩකයන් ලෙස සංචිතයට එක්ව සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතින් එක් වූ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ සහාය පුහුණුකරු නවීඩ් නවාස්ගේ පළමු තරගාවලිය ද මෙයයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), කමිල් මිෂාර, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුෂංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය.

පළමු තරගය සඳහා බංග්ලාදේශ සංචිතය – මොමිනුල් හක් (නායක), ටමීම් ඉක්බාල්, මහමුදුල් හසන් ජෝයි, නජ්මුල් හොසේන් ෂැන්ටෝ, මුෂ්ෆිකර් රහීම්, ශකීබ් අල් හසන්, ලිටොන් දාස්, යසීර් අලි, තයිජුල් ඉස්ලාම්, මෙහෙදි හසන් මිර්සා, එබදත් හුසේන්, කලීඩ් අහමද්, නුරුල් හසන්, රෙජුරු රහ්මාන් රාජා, ෂොහිදුල් ඉස්ලාම්, ශොරිෆුල් ඉස්ලාම් වෙයි.

Previous articleවිනී හෙට්ටිගොඩ ‘කාටුන්’ ලංකා
Next articleවසර 2ක් දේශසීමා වසා තබා රට විවෘත කර දින කිහිපයෙන් නවසීලන්ත අගමැතිනියට කොවිඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here