බස්නාහිර පළාත බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් අද (14) උදෑසන සූම් ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් මේ සාකච්ඡාව සඳහා සහභාගි වී තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සාකච්ඡාව පුරා ම උපදෙස් දී ඇත්තේ පසුගිය 09දා සිදු කළ ගෝල්ෆේස් ප්‍රහාරය පිළිබඳව සටහන් යොදන ආකාරයයි. මීට පෙර පසුගිය 12දා අදාළ සටහන් යෙදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ද අභ්‍යන්තර ලිපියක් යොමුකර තිබිණි. එහි මෙසේ සඳහන් විය.
පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස්පති නිල කාර්යාලය මගින් පසුගිය 12දා නිකුත් කරන ලද RTM-245 දරන අදාළ අභ්‍යන්තර ලිපියේ සඳහන් වන්නේ ප්‍රහාරයට අදාළ සටහන් සියල්ල යොදන ලෙසයි.
එහි මෙසේ සඳහන් ය.
‘….. තමන් විසින් මේ දක්වා සටහන් යොදා නොමැති නම්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධරයන් විසින් නිලධරයන්ගේ ගමන් සටහන් පොතෙහිත්, අනෙකුත් නිලධරයන් දෛනික තොරතුරු සටහන් පොතෙහි හෝ අදාළ අංශයේ තොරතුරු සටහන් පොතෙහිත් නොපමාව තම රාජකාරි සටහන් ඇතුළත් කළ යුතු බව දන්වා සිටිමි.
………… අපරාධ විමර්ශනයට අදාළ සටහන් අපරාධ විමර්ශන තොරතුරු ඇතුළත් කරන අදාළ තොරතුරු සටහන් පොතේ ඇතුළත් කිරීම අනිවාර්ය වේ.’
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පෙන්වා දෙන්නේ එමගින් පොලිස්පතිවරයා විසින් නීතිවිරෝධී ලෙස කටයුතු කරන ලෙස ව්‍යංගයෙන් උපදෙස් දී ඇති බවයි. ඊට හේතුව යම් සිදුවීමක් සිදු වූ විගස සටහන් යෙදීම අනිවාර්ය වීමත්, මෙසේ පසුව සටහන් යොදන්නට කීමත් ය.