විමර්ශන වගකීම දේශබන්දු අතේ : ගෝල්ෆේස් ප්‍රහාරය වළක්වා ගැනීමට උත්සාහ කළ අගමැති ආරක්ෂාව බාර ප්‍රධානියාට මාරුවක් !

1069

ගෝල්ෆේස් ප්‍රහාරය වළක්වාගැනීමට උත්සාහ කළ අගමැති ආරක්ෂක අංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර යවා තිබේ.

පසුගිය 09 දා, මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ගේ රැස්වීමෙන් පසු, නින්දිත ගෝල්ෆේස් ප්‍රහාරය සිදු විය.

‘පස්සෙ ගේට්ටුවෙන් යවන්න’

මෙම රැස්වීමෙන් පසු අදාළ පාක්ෂිකයන් අරලියගහ මන්දිරයේ පිටුපස ගේට්ටුවෙන් යැවීමට අගමැති ආරක්ෂක අංශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් දී තිබිණි. එසේ නොකළහොත් ගැටුමක් ඇති විය හැකි බව ද ඔහු පෙන්වා දී ඇත.

‘ඉස්සරහ ගේට්ටුවෙන් යවන්න’

ඔහුගේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබියදී, හදිසියේ ම බස්නාහිර පළාත බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝග කර ඇත්තේ චම්පික සිරිවර්ධනගේ උපදෙස් නොසලකා කටයුතු කරන ලෙසත්, ඉදිරිපස ගේට්ටුවෙන් පිරිස පිටත් කරන ලෙසත් ය.

මෙහෙයුම අතහරී!

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ එම නියෝගයෙන් පසු චම්පික සිරිවර්ධන අසනීප නිවාඩු දමා, එම මෙහෙයුමෙන් ඉවත් වී තිබේ.

විමර්ශන ප්‍රධානියා දේශබන්දු

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විටත් දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇත. එසේ තිබියදී ඊයේ (13) පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අදාළ ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ සාකච්ඡාවක මෙහෙයවීම් කටයුතු සිදු කර ඇත්තේ ද දේශබන්දු තෙන්නකෝන් විසිනි. ප්‍රහාරයට වගකිවයුතු බවට ප්‍රධාන සැකයක් එල්ල වී ඇති ඔහු, තවදුරටත් බස්නාහිර පළාත බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කරන අතර, අදාළ විමර්ශන සිදුවන්නේ ඔහුගේ යටතේ ය.

අධිකරණයට අපහාස කරයි

මේ අතර අදාළ ප්‍රහාරය සිදු වූ දිනයේ කඳුළු ගෑස් පිපිරීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරියාගේ නිවසට දේශබන්දු තෙන්නකෝන් ගොස් තිබිණි. එහෙත් එදින ම පැවති මීට අදාළ අධිකරණ කටයුතුවලට සහභාගි වීම ඔහු මගහැර තිබුණේ අසනීප බව දන්වමිනි.

බෝලෙ පාස් වෙන තරම

ප්‍රහාරය සිදු වූ දිනයේ කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා නිවාඩු ගොස් සිටි අතර, වැඩ බැලූ ස්ථානාධිපතිවරයා ද අසනීප නිවාඩු දමා තිබිණි. ඒ වෙනුවට රාජකාරි ආවරණය කළ නිලධාරියා, මේ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා එල්ල වීමට නියමිත ය.

පොලිස්පතිගෙන් නීතිවිරෝධී උපදෙස්

පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස්පති නිල කාර්‍යාලය මගින් පසුගිය 12දා නිකුත් කරන ලද RTM-245 දරන අභ්‍යන්තර ලිපියක සඳහන් වන්නේ ප්‍රහාරයට අදාළ සටහන් සියල්ල යොදන ලෙසයි.
එහි මෙසේ සඳහන් ය.
‘….. තමන් විසින් මේ දක්වා සටහන් යොදා නොමැති නම්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධරයන් විසින් නිලධරයන්ගේ ගමන් සටහන් පොතෙහිත්, අනෙකුත් නිලධරයන් දෛනික තොරතුරු සටහන් පොතෙහි හෝ අදාළ අංශයේ තොරතුරු සටහන් පොතෙහිත් නොපමාව තම රාජකාරි සටහන් ඇතුළත් කළ යුතු බව දන්වා සිටිමි.
………… අපරාධ විමර්ශනයට අදාළ සටහන් අපරාධ විමර්ශන තොරතුරු ඇතුළත් කරන අදාළ තොරතුරු සටහන් පොතේ ඇතුළත් කිරීම අනිවාර්ය වේ.’
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පෙන්වා දෙන්නේ එමගින් පොලිස්පතිවරයා විසින් නීතිවිරෝධී ලෙස කටයුතු කරන ලෙස ව්‍යංගයෙන් උපදෙස් දී ඇති බවයි. ඊට හේතුව යම් සිදුවීමක් සිදු වූ විගස සටහන් යෙදීම අනිවාර්ය වීමත්, මෙසේ පසුව සටහන් යොදන්නට කීමත් ය.

හමුදාපති – පොලිස්පති මගහරී

මේ අතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් සිදුකරන විමර්ශනයට අදාළ ව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කොමිසමට කැඳවන ලද අතර, එහිදී හමුදාපතිවරයා විසින් ප්‍රහාරයේ වගකීම පොලිස්පතිවරයා වෙත පවරා ඇත. කොමිසමට කැඳවන ලද පොලිස්පතිවරයා විසින් එහි වගකීම දේශබන්දු තෙන්නකෝන් වෙත පවරා ඇත.

Previous articleලක්ෂ්මන් හුළුගල්ල ඔස්ට්‍රෙලියාවේ දී අභාවප්‍රාප්ත වෙයි
Next articleරාජපක්ෂ, රනිල් ආණ්ඩුවේ ඇමතිවරු 4 දෙනෙක් දිවුරුම් දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here