“ගීත අසන්න ඕන තරම් තාක්ෂණික මෙවලම් තියෙනවා. ගුවන්විදුලිය ඊට වෙනස්. “

61

පංච ප්‍රශ්න 24

– ගුවන්විදුලි සන්නිවේදිකා, තරංගා නානායක්කාර

01. ඔබට අනුව ගුවන්විදුලි සන්නිවේදනය කෙබඳු එකක් ද?

මට අනුව නම් ගුවන්විදුලි සන්නිවේදනය කියන්නේ හදවතේ චිත්‍ර ඇදීමේ කලාව. සන්නිවේදනය විය යුතු අදහස සන්නිවේදකයා සිය වාග් මාලාව උපයෝගී කරගනිමින් ග්‍රාහකයාට දැනවීම. වචන වලින් සිත්තම් ඇඳීම සුන්දර එහෙත් භාරදූර කටයුත්තක්. ඒකට හේතුව ග්‍රාහකයාට වචන මගින් ලබාදෙන සියළු පරිකල්පනීය චිත්‍ර සම්බන්ධයෙන් සන්නිවේදකයා වග කිව යුතු නිසා. සෑම වචනයකින්ම අසන්නන් හෙවත් මිනිසුන් වෙත මහා බලපෑමක් කළ හැකි නිසා. දෘශ්‍ය රූප වලට වඩා පරිකල්පනීය රූප ජීවිත තුළ නිදන්ගත වෙනවා. ඒ නිසා , සමාජයකට ආදරය , තරහව , සිනහව හෝ වෛරය මෙන්ම දැනුම පිළිබඳ යාවත්කාලීන කිරීම ආදී ඕනෑම දෙයක් මේ හරහා සිදුවෙන්න පුලුවන්. වර්තමානය වන විට ඉහත කී ඕනෑම ආකාරයකට හොඳට නරකට දෙකටම වාචික දේ යොදා ගනිමින් සන්නිවේදන කාර්‍යයක් තමා සිදුවන්නේ. එහෙත් මම සිතන්නේ ගුවන්විදුලි සන්නිවේකයා මනෝ චිකිත්සකවරයකු වගේ වෙන්න ඕනේ. නොයෙක් අර්බුද හා කාර්‍යබහුලත්වයන් සමගින් දිවි ගෙවන අසන්නට අවශ්‍ය මානසික නිදහස ගුවන්විදුලි සන්නිවේදනය තුලින් ලබා දෙන්න ඕනේ. පුද්ගල මනෝභාවයන් පිළිබඳ නිසි අදහසක් ඇතිව සන්නිවේදන කාර්‍ය සිදුකරනවා නම් ග්‍රාහකයාට උසස් සන්නිවේදනයක් මේ මගින් ලබා දෙන්න පුලුවන් කියන එකයි මගේ විශ්වාසය.

02. අද්‍යතන ගුවන්විදුලිය කියන්නේ ගීත රසවින්දන උපකරණයක් ද?

නැහැ කියන එක තමය් මගේ කෙටි උත්තරය . ගීත කියන්නේ ගුවන්විදුලියේ කොදු නාරටිය කියලා කියන්න පුලුවන් වුනත් , ගීත පමණක් අසන අයෙකුට ඒ සඳහා අවශ්‍ය මෙවලම් ඕනෑතරම් නූතන තාක්ෂණ විසින් නිෂ්පාදනය කරලා දීලා තියෙනවා. එනිසා ගීත ඇසීමේ රිසි අයට ඒ වෙනුවෙන් පමණක් ඇති උපකරණ භාවිතා කරන්න පුලුවන්. ඒත් ගුවන්විදුලිය කියන්නේ ඊට එහා ගිය විශාල මෙහෙවරක් කළහැකි මාධ්‍යයක්. වර්තමානයේ අසන්නන් ජීවත්වන්නේ තෝරා ගැනීම් බහුල, විශාල ලෝකයක. ඒක ගුවන්විදුලි මාධ්‍යයටත් පොදු ධර්මතාවක් . ගුවන්විදුලි නාලිකා ප්‍රමාණය වැඩිවීමත් එක්ක ඇතිවී තිබෙන තරගය ඉතාම බලවත්. ඒ නිසා විවිධ වැඩසටහන් අතරතුර නාලිකාවක ගීත පෙළගැස්ම සිය අසන්නා තමන් සතුකර ඇදබැද තබාගැන්මට බෙහෙවින් උපකාර වන බව තමයි මගේ අදහස. වර්තමානය වන විට ගුවන්විදුලි නාලිකා සිය ගීත ලැයිස්තු පෙළගැස්සීම වෙනුවෙන් වෙන්වුණු කෙනෙකු පවා යොදවා තිබෙනවා. එහෙත් ඒ ගීත අතර ආකර්ෂණීය විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන්න පුලුවන්. එහෙම කරන නාලිකා තියෙනවා. ඒවායේ ආකර්ෂණීය බව අසන්නාට ප්‍රයෝජනවත් නම් හා රසයක් ලබා දෙනවා නම් ඔහු හෝ ඇය ඒ ගුවන් විදුලි නාලිකාවේ නිත්‍ය අසන්නෙක් බවට පත්වෙනවා. ඒ නිසා විනෝදාස්වාදය හා ආකර්ෂණීය දැනුම ලබා දෙමින් අසන්නාගේ ජීවිතයට වඩාත් ප්‍රයෝජනවත් වැඩසටහන්, සිය ජීවිතයට උසස් රසයක් එකතුකරන වැඩසටහන් හා ඒවා සාරවත්ව ඉදිරිපත්කරන්නන් වෙත අසන්නාගේ බැඳීමක් ඇතිවීම අනිවාර්යයි.

03. නූතන ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදනය වීමක් සිදු නොවෙන්නේ ඇයි?

සම්පූර්ණයෙන් පූර්ව නිෂ්පාදනයන් සිදුනොවනවාමත් නෙමේ. මා සේවයේ නියුතු නාලිකාවේ ඉදිරිපත් කරන” සජීවිත” හා “සංගායනා” යන වැඩසටහන් ද්විත්වයෙහිම නිෂ්පාදන කටයුතු කරන්නේ මම . එවැනි ඇතැම් විරල අවස්ථා තවත් නාලිකා කිහිපයකම සිදුවන බවත් මං දන්නවා. එහෙත් මෙම ප්‍රශ්නය නූතන ගුවන්විදුලි සන්නිවේදනය ප්‍රශ්න කිරීමේ දී ඊට ගැලපෙන දෙයක් කියලත් දන්නවා. ඒකට හේතු වෙන්නේ ක්‍රමිකව සිදුවූ කාලයේ, තාක්ෂණයේ හා මානව හැසිරීමේ සමාජමය පරිවර්තනය කියලයි මට හිතෙන්නේ. සිය ගුවන්කාල පැය ගණන් දැන් පිරවෙන්නේ එම මොහොතේ ඉදිරිපත් කරන සජීවී වැඩසටහන් වලින්. අතීතයේ ගුවන්විදුලි මැදිරියේ පාර්ශව කිහිපයක් වැඩ කලා. නිවේදිකයා , නිෂ්පාදකයා හා පටිගත කිරිම් හා සංස්කරණ තාක්ෂණික ශිල්පීන් වැනි කණ්ඩායමක් හිටියා. එහෙත් නූතන රේඩියෝවේ ඒ සියළු කාර්‍යභාරයන් ඉටුකරමින් නිවේදන කටයුතුත් සිදුකිරීම කරන්නේ තනි පුද්ගලයෙක් . එහෙත් බොහෝවිට ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදන කටයුතු නම් මේ කාලය තුළත් පූර්ව නිෂ්පාදන ලෙස නොනැසී පවතිනවා.

04. ගුවන්විදුලි සන්නිවේදකයෙක් සම්මානයට හෝ ඇගයීමට ලක්වීම ග්‍රාහකයාට වැදගත් ද?

මගේ අදහස නම් වැදගත් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියන එක. සම්මානිත වීම කිසියම් සුවිශේෂ පාර්ශ්වයකින් හෝ අසන්නන්ගේ පාර්ශවයෙන්ද සිදුවෙන්න පුලුවන්. කිසියම් කාණ්ඩයක් යටතේ ඇගයීමට ලක්ව සම්මානිත වීම කවරාකාර හෝ පාර්ශ්වයකින් සිදුවීමට ප්‍රථම එම ඇගයීමේ සම්මානය මුලින්ම ලැබෙන්නේ අසන්නන්ගෙන් බවයි මගේ විශ්වාසය. එදා මෙදා තුර සම්මත සම්මාන නොලැබී ගිය අනන්ත සන්නිවේදකයින් ග්‍රාහක සම්මානයෙන් පිදුම් ලද අනන්ත අවස්ථා මම මගේ ජීවිත කාලය තුළ අත්දැක තියෙනවා. එහෙත් එවැනි ඇගයීමකට කෙනෙක් ලක්වුණොත් එම ඇගයීම ලද පාර්ශ්වයට හා ඒ හැකියාවට ආදරය කළ අසන්නන්ට ඒක ලොකු සතුටක්. ඒත් ඒ සම්මාන උළෙල සාධාරණ විනිවිද පෙනෙන සම අවස්ථා සියල්ලන්ටම ලැබෙන හා පෞද්ගලික රුචි අරුචිකම් හා දැන හඳුනාගැනීම් වලට නැමියාවක් නැති පරිබාහිර එකක් වෙන්න ඕනේ. නැත්නම් ඒ සම්මානය ලද කෙනාටත් එය ලබා දෙන්නට මූලික වූ පාර්ශ්වයටත් හැර ග්‍රාහකයාට එහි වටිනාමක් නැති වෙනවා . මා අදහන්නේ ගුවන්විදුලි හෝ මොනයම් ක්ෂේත්‍රයක වුනත් ජනතා සම්මානය ඉතා ඉහළම සම්මානය කියලා. ඒත් වෙනත් පාර්ශ්වයක සාධාරණ ඇගයීම මටත් මගේ අසන්නටත් ගෙනා සතුට මෙවර ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී මා අතිශය ප්‍රහර්ශයෙන් යුතුව වින්දා.

05. ගුවන්විදුලි සන්නිවේදනයේ දී වැදගත් වෙන්නේ ග්‍රාහකයාද, නැත්නම් අනුග්‍රාහක ව්‍යාපාර පන්තිය ද?

නූතනය වන විට නම් මේ දෙපාර්ශවයම වැදගත් . ග්‍රාහකයාට අවශ්‍ය ගුවන්විදුලි සන්නිවේදනය වුව පවත්වාගෙන යන්න විශාල වියදමක් දරන්න වෙනවා. ආයතනයක් හැටියට සේවක පඩිනඩි අර්ථසාධක අරමුදල් , නාලිකා ප්‍රවර්ධනය , තාක්ෂණික මෙවලම් හා ශ්‍රවන තත්ත්වය පුළුල් කිරීම ආදී බොහොමයක් කාරණා වෙනුවෙන් ගුවන්විදුලි ආයතන වලට විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා . එහෙත් ඒ සියල්ල මූල්‍යමය වශයෙන් සපයා ගත්තත් ග්‍රාහකයා වෙනුවෙන් එම නාලිකාවේ වැඩසටහන් වෙන් නොවුණොත් ඉහත කළ වියදම් කිසිවක්ම පලක් නැති දෙයක් බවට පත්වෙනවා. වැඩසටහනක් අතරතුර පැමිනෙන දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීම වැනි සරල කාරණයක දී පවා අසන්නා පිළිබඳව සියුම්ව සිතිය යුතු බව තමයි මගේ අදහස. කිසියම් හෙයකින් ග්‍රාහකයාගේ ගිලිහීම සිදුවුවහොත් අනුග්‍රාහකයාගේ ගිලිහීම නිරායාසයෙන්ම සිදුවීම වලක්වන්න බැහැ. එමෙන්ම ඇතැම් අනුග්‍රාහක දැන්වීම් සිතට එකඟව ඉදිරිපත් කළ නොහැකි අවස්ථා වලදී පවා එසේ සිදුකිරීමට සන්නිවේදකයන්ට සිදුවන අවස්ථාද නූතනයේ නැත්තේ නැහැ. කෙසේ වෙතත් ග්‍රාහක ආකර්ෂණය මනාව පවත්වාගතහොත් අනුග්‍රාහක ආකර්ෂණය නිතැතින්ම සිදුවන බව තමයි මම හිතන දේ.

ප්‍රශ්න කිරීම : කපිල එම්. ගමගේ

 

Previous articleදේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිෂමට පැමිණෙයි
Next articleනාමල්ගේ ගැසට්ටුවක් අත්හිටුවමින් අධිකරණ නියෝගයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here