රනිල් බඩට සලකා අරගලයේ අභිලාශය වැනසීමේ දිවුරුමක්?

90

වත්මන් ලංකාව ඇදදමා ඇති ආර්ථික ආගාධයට කිසියම්ම හෝ කෙටිකාලීන විසඳුමක් දීමේ සමත්කමක් සාපේත්ෂවවත් ඇති පුද්ගලයෙක් වත්මන් පාර්ලිමේන්තු හැත්ත බුරුත්ත අතර සිටිනවා නම් ඒ අන් කිසිවෙක් නොව, ඊයේ 6වැනි වතාවටත් අගමැති ලෙස දිවුරුම් දී ලෝකවාර්තාවක් තැබූ රනිල්ය යන්න සත්‍යයකි‍.

එසේම කාලාන්තරයක් තිස්සේ මෝරමින් තිබී පසුගිය දා එක්වරම පුපුරාගිය ජනඅරගලය විසින් මේ මොහොතේත් දැඩිව ඉල්ලාසිටින මජර – අසංස්කෘතික රාජපක්ෂ දේශපාලන සංස්කෘතිය පරිවර්තනයකට ලක්කිරීම පැත්තෙන් බලන කල, අගමැතිකම සඳහා සලකා බැලුණු නම් අතරින් නරකම පුද්ගලයාත් මේ රනිල්මය යන්න ඒ හා සමානම සත්‍යයකි‍.

බඩට දෙන රනිල්

මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ඇති කෙටිකාලීන මාවත වැටී ඇත්තේ අන් කිසි දිසාවකින් නොව පවත්නා ධනේශ්වර ලෝක ආර්ථික පද්ධතියේ මර්මස්ථාන හරහා ය. රනිල් යන්නට හදන්නේ ඒ පාරේ මිස වෙන අමුතු පාරක නොවේ.
හැබැයි ඒ විසඳුම කරා යාම මෙරට දේශපාලන අම්බරුවන්ට අති දුෂ්කර එකක් වුවත්, අමුතු මැජික් එකකුත් නොවේ. ඊට අවශ්‍ය වන්නේ ඒ ධනේශ්වර ලෝක බලකඳවුරුවල හා ආයතන පද්ධතිවල කිසියම්ම හෝ විශ්වාසයක්, පිළිගැනීමක් ලද හැකි ආණ්ඩුවක් හා නායකත්වයක් තිබීම, රටේ දේශපාලන ස්ථාවරත්වය ගැන ඒවැනි පිළිලත හැකි පිරිසකට කිසියම්ම හෝ සහතිකයක් දියහැකි වීම හා ඒ සියල්ලට ප්‍රමුඛව එම ධනේශ්වර ක්‍රමය විසින් රටක ආර්ථික ස්ථාවරත්වය ලෙස දකින, ඒ සාර්ථකත්වයේ නාමයෙන් ම නිර්දේශකරන උපරිම කොන්දේසි හෙවත් ‘බෙල්ල මුලට කප්පාදුව සපුරන්නට හැකිබවට දෙන පොරොන්දුව හා ඇතිකරන විශ්වාසය ආදිය යි.

2015 ඊනියා යහපාලන ආණ්ඩුවේ සිය ක්‍රියාකලාපය හේතුවෙන් ප්‍රතිරූපය කොතරම් දුර්වර්ණ කරගෙන සිටියත්, ලංකාවේ මේ වනවිට ඉන්නා හැත්ත බුරුත්තක් දේශපාලන නිකමුන් අතරින් ඒ ධනේශ්වර මර්මස්ථාන හා ආයතන පද්ධතිය සමග ගනුදෙනු කළහැකි එකම පුද්ගලයා වන්නේ ද රනිල් ය.

ඒ අනුව උපරිමයෙන් පටිතදකරගැනීමේ, කප්පාදු කිරීමේ හා අත්හැරීමේ කොන්දේසි මත පතුලට හිඳී ඇති භාණ්ඩාගාරය යන්තමට තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික, කෑම ටික යන්තමට හෝ එන විදියකට ඩොලර් සොච්චමක්වත් හරවාගන්නට හැකි අයෙක් වේ නම් ඒ රනිල් බව සැබෑ ය.

අරගලයේ අභිලාශ වනසන රනිල්

එහෙත් විධායක ජනාධිපතික්‍රමයේ යම් වෙනසක් ඇතිකරගැනීම, විස්ස 19ට රිවස් කරීම හා ඉන් අනතුරුව 21ක් ගෙනඒම වැනි ව්‍යවස්ථාමය ‘ඇජස්මන්ට්’ කිහිපයක් හැරෙන්නට රාජපක්ෂලා විසින් වගාදිගා කරන ලද දූෂිත, මිනීමරු දේශපාලන සංස්කෘතිය වෙනස්කිරීම කිසිවෙක් රනිල්ගෙන් බලාපොරොත්තු වන්නේ නම් එය විහිළුවකි.

එසේම අසංස්කෘතික රාජපක්ෂ දේශපාලන සංස්කෘතිය විසින් සිදුකරන ලද අපරාධ, මිනීමැරුම්, දූෂණ-වංචා ඇතුළු සකලවිධ අවකල්ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් ඔහු යටතේ බලාපොරොත්තු වන්නේ නම් එය ද විහිළුවකි.
ඇතැමුන් පෙන්වන්නට හදන්නේ මේ ආකාරයෙන් හිටපු පාලක රෙජීමයක් යටතේ සිදුවූ අනීතික ක්‍රියාවලට නව පාලනයක් විසින් නීතිය ක්‍රියාත්මක කිරීම පළිගැනීමක්, ශිෂ්ට ලෝකයේ නොසිදුවිය යුතු දෙයක් පමණක් නොව ශිෂ්ට ලෝකය තවදුරටත් දකින්නට අකැමැති දෙයක් විදියට ය.

එහෙත් අපේ අවබෝධයේ හැටියට නම්, එවැනි අදහසක් දරන්නේ ලෝකයේ සිදුවන දේවල් ගැන හරියට නොදන්නවුන් සහ දේශපාලන වගවීම හා වගකිවයුතු බව ගැන කල්පනාවක් නැතියවුන් වියයුතු ය.

ඕනෑම ජනසමාජයක සිදුවන මනුෂ්‍ය ඝාතන ඇතුළු සෑම සියලු අපරාධයකටම පමණක් නොව සෑම අනීතික ක්‍රියාවකටම එරෙහිව සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කර වගවීම ඉල්ලා සිටින්නේ ද මේ උදවිය ‘පළිගැනීම්’ ලෙස දකින්නේය යි කියන ශිෂ්ට ලෝකයම ය. නිදසුනකට, දෙවන ලෝක යුද සමයේ නාසි අපරාධ සිදුවූ ස්ථානවල කොතරම් සුළු තරාතිරමක හෝ කාර්යයක නියැලී සිටි පුද්ගලයෙක් වුවත්, ඒ සියල්ලන් එම ස්ථානයේ සිදුවූ සියලු අපරාධවලට වගකිවයුතුය යනුවෙන් අලුත් නීති පවා සකස්කර, ඇතැම් විට වයස අවුරුදු 100 පසුකළ පුද්ගලයන්ට පවා අද වුව කරුණු හෙළිදරව් වන්නේ නම් නඩු පවරා සංඛේතාත්මකව හෝ දඬුවම් පමුණුවන්නේ අන් කිසිවක් නිසා නොව මේ වගවීමේ අවශ්‍යතාව නිසා ය. එසේ නොවන්නේ නම් ජනසමාජයක නීතියේ ආධිපත්‍යයක් පවත්වාගෙන යා නොහැකි ය. වින්දිතයන්ට සාධාරණයක් ඉටුකළ නොහැකි ය. එසේ ඉටුවන බවට සහතිකයක් දිය නොහැකි ය‍. සමස්ත සමාජය නීතිය යුක්තිය සාධාරණය ඉදිරියේ වගවීමකට කැපකළ නොහැකි ය.

එහෙත් මේ කාරණා නම් රනිල් යටතේ සිදුවන්නට නියමිත නැත. ‘යහපාලන’ ආණ්ඩුවේ ඇත්තටම රාජපක්ෂලාගේ අපරාධවලට හා හොරමැරකම්වලට එරෙහිව විමර්ශන කිරීමට හැකිතරම් බාධා කළේ, කළ විමර්ශනයකටවත් නීතිය ක්‍රියාත්මක නොකළේ හා දිගින් දිගටම අපරාධකාරයන් හා දූෂිතයන් සමග ඩීල් දැම්මේත් අවසන ඒ මිනීමරු දූෂිතයන්ටම බලයට එන්නට පාර කැපුවේත් රනිල් මිස අන් අයෙක් නොවන බව තතු දන්නවුන්ට අමුතුවෙන් කියාදිය යුතු නැත.
මේවා ගැන හරියටම දැනගැනීමට අවශ්‍ය නම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නගෙන් හා බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වාගෙන් විමසා දැනගත්තත් ප්‍රමාණවත් ය.

මිනීවලේ නිදාසිටි රනිල්

මේ අවස්ථාවේ අනෙක් සියලු දේශපාලන නායකයන් මේ වගකීම බාරගැනීමෙන් පස්ස ගැහුවේ තමන්ගේ / තම පක්ෂයේ දේශපාලන අනාගතය ගැන සිතන්නට සිදුවීම නිසාවෙනි‍. වගකීම් බාරගෙන මේ දැවැන්ත අගාධයෙන් රට යන්තමටවත් ගොඩගන්නට බැරිවුණොත්, තවත් වලපල්ලටම වැටුණොත්, එවැනි නායකයකුට හෝ දේශපාලන ව්‍යාපාරයකට සිදුවන්නේ සියතින් මිනීවල කපාගැනීමට ය‍.
එහෙත් රනිල් යනු දේශපාලන මිනීවලේ මිහිදන්ව සිටියෙකි‍.
නැවත කිසිදා ඡන්දයකින් රටේ නායකයා වෙන්නට හීනයක්වත් දකින්නට බැරිතරම් දේශපාලන ආගාධයක සිටියෙකි‍. එජාපය ගත්තත් එහි ඉරණම වී තිබුණේ ද ඒක ය‍.
ඉතින් එවැන්නෙකුට හා එවැනි පක්ෂයකට නැතිවන්නට දෙයක් නැති නිසා මේකට කරගහන්නට බැරි ලොකු අවදානමක් නැත.‍
එබැවින් මේ හයවැනි අගමැතිකමත් බාරගන්නා තුරු රනිල්ට තිබුණේ පක්ෂයකුත් විනාශ කර, රටට දේශපාලන වෙනසක් උදාකිරීම සඳහා මහජනයා ලබාදුන් විශිෂ්ටතම ඓතිහාසික අවස්ථාවත් කාබාසිනියා කර තමනුත් දේශපාලන මිනීවලක සැතපීමේ චරිත සහතිකය යි. ඉතින් ඒ පතුළක් නැති ආගාධයෙන් යන්තම් බෙල්ල ඉහළට දමාගන්නට තිබුණත් රනිල්ට හොඳටම ඇති ය‍.
බැරිවෙලාවත් හොඳ පැත්තට ගේම කැරකුණොත්, හිතනවාට වඩා භාණ්ඩාගාරය පිරී ගියොත්, තව තව මොනවා හෝ යාග හෝම පලදුන්නොත් ආගාධයෙන් ගොඩට කකුල් දෙකත් ගෙන තවත් අඩව්වක් අල්ලන්නටත් අවස්ථාවක් උදාවන්නටත් බැරි නැත. ඇතැම් විට මහා ආර්ථික ආගාධයෙන් රට ගොඩගෙන බඩගිනි නිවූ දැවැන්ත නායකයා වීමටත් බැරි නැත.
එහෙත් දැනට ඒ සියල්ල බෝනස් ය‍‍. පළමු වැඩේ මෙය යාන්තමින් හෝ ගොඩදාගැනීම ය.

බර ගාණකගේ ඉරණම ලියන රනිල්

ඒ කෙසේ වෙතත් රනිල්ගේ මේ පිම්මත් සමග නායකයන් කිහිපදෙනකුගේ මෙන්ම දේශපාලන ව්‍යාපාර කිහිපයක ද අනාගතය විසඳෙන්නට නියමිත ය‍.

රනිල් එජාපයේ එකම මන්ත්‍රී වූවාක් මෙන් සජබයේ එකම මන්ත්‍රී සජිත් වෙන්නටත් බැරි නැත‍. රටේ සුක්කානම දෙවරක් අතටම පැමිණ යළි කවදාවත් අහලකට නොඑන තරම් ඈතකට යන්නටත් බැරි නැත‍. එනම් සජිත්ගේ ද සජබයේ ද ඉරණම මේ දිවුරුමත් සමග රනිල් අතින් ලියැවෙන්නට සෑහෙන ඉඩක් තිබේ‍.
චම්පික රනිල්ට ළංවීමට ද‍, මේ අර්බුදය අස්සෙන් තමන්ට යන්නට බැරිවූ ගොඩයාම රනිල් හරහා යන්නට හදන්නට ද බැරි නැත‍. සජිත්ට කෙලවීමේ රනිල්මය ආසාවද එකතුවූ විට චම්පිකගේ කේන්දරයට සෑහෙන ග්‍රහබැල්මක් වැටුණොත් පුදුමවිය යුතු නැත.
රුවන් විජේවර්ධනට තව ටික කාලයකටවත් එජාප බූදල් උරුමය ගැන හීන දකින්නට ලැබෙනු ඇත.

රාජපක්ෂලාගේ පින පලදෙන්නට ආ රනිල්

එහෙත් ඒ සියල්ලන්ටම වඩා ලොකුම ගොඩයාම යන්නේ රාජපක්ෂලා ය‍‍. හිතාගන්නටවත් බැරිව හිටි පින පලදෙන්නේ රාජපක්ෂලාට ය‍!
ත්‍රිකුණාමලයෙන් මූදට පනිනවාද, නාවික කඳවුරු දොරෙන් එළියට ඇවිත් පොළොව ඉඹ සදහට හිරේ යනවාදැයි දවස් දෙකක් තිස්සේ ඇඬූ කඳුළෙන් කල්පනා කළ මහින්දට ආපසු ජනතා කෝපගින්නෙන් බිමට සමතලා වූ මැදමුලන ගෙදර අලුත්වැඩියා කර ජනෙල් පඩිය හදාලගන්නා හැටියක් කල්පනා කරන්නට හැකියාව ලැබෙනු ඇත‍.
බැසිල්ගේ කන්දෙක ‘කපුටු කාක් කාක්’ නාදයෙන් තරමක් හෝ නිදහස් වනු ද, තමන්ගේ දේශපාලන ගේම් ටික නැවත පටන්ගත හැකි පොළොවක් සෙමෙන් ගොඩනැගෙනු ද ඇත‍.

රට රකින විරුවා වී අවුරුදු දෙකක් ගිය තැන මූසලයා වූ ද, ජනතා නැගීසිටීම හමුවේ බිත්තියට ම හේත්තුවී යන එන මගක් හිතාගන්නට බැරිව අනාතව සිටියාවූ ද ගෝඨාට, රණවිරුකං ජනපතිකං අරකං මේකං කෙසේවෙතත් අඩුම තරමේ නහින දෙහින කාලේ හුස්මක් කටක් අරගෙන යන තැනකට තොලොංචි වන්නටවත් ඉඩක් ලැබෙනු ඇතැයි සැනසුම් සුසුම්ලන්නට හැකිවනු ඇත‍.
ඒ සියල්ලන්ටම වැඩියෙන් නායකත්ව සිහිනය බේරේ වැවේ කුණුගඳගහන මඩ කලල් අස්සේ එරුණු නෙළුම් පොහොට්ටුවක් මෙන් පරව වැනසී ගොස් සිටි නාමල්ට නැවතත් ඒ සිහිනය දකින්නට ඉඩකඩ නිර්මාණය වනු ඇත.
එහෙම බලනවිට ඇත්තටම රනිල්ගේ අගමැතිකමේ සැබෑ ප්‍රතිලාභ ලබන්නා නාමල් වීමට බැරිකමක් නැත.

ජන අරගලයේ ඉරණමත් රනිල්ට ලියන්න දෙනවාද?

ඒ සියල්ලන්ටම වැඩියෙන් අපගේ අවධානය යොමුවිය යුත්තේ ලංකා ඉතිහාසයේ පැනනැඟි සුවිශේෂීම වූ ජන අරගලයක ඉරණම රනිල්ගේ ආගමනයෙන් කෙසේ ලියැවෙනු ඇතිද යන්න දෙසට ය.
එය රනිල්ටම ලියන්නට දෙනවාද, නැතිනම් අරගලයට මේ මොහොත දක්වාත් ඇත්තටම කැපවී සිටින සියල්ලන් එකතුවී එය ලියනවාද යන්න පැහැදිළි හා බැරෑරුම් දේශපාලන තීන්දුවක් මත නිර්ණය වනුඇති බවත්, එය අරගලයේ මේ තාක් ගමන්මගටත් වඩා අභියෝගාත්මක ගමනක් බවත් කිවයුතුය.
එසේම, රනිල් ගේ අන්තර්වාර අගමැති සමය තුළ නොව ඉන් අනතුරුව එළැඹෙන දේශපාලන යුගය තුළ පවා අරගලය විසින් ඉල්ලා සිටි දේශපාලන සංස්කෘතියේ පරිවර්තනය සිදුවනවාද නැද්ද යන්න තීරණය වන්නට ඉඩ ඇත්තේ ද අරගලය මෙතැනින් එපිටට ගමන්කරන ආකාරය අනුව පමණක් බව දැනට ලියාතබමි.

– සනත් බාලසුරිය

Previous articleමහින්ද, නාමල්, දේශබන්දු ඇතුළු 24කට රටින් පිටවීම තහනම්
Next articleරනිල් අභියෝගයක් හෝ තර්ජනයක් නොවනා බව දන්නා රාජපක්ෂලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here