පරිණතම දේශපාලන භූමිකාවේ සිට ජොනියලාගේ ඔඩොක්කුවේ දී සිය දිවි නසාගත් රාජපක්ෂවරයාගේ ඉරණම

86

මහින්ද රාජපක්ෂ 1970 මහ මැතිවරණයෙන් බෙලිඅත්ත ආසනය දිනාගෙන පාර්ලිමේන්තුවට එන්නෙ ළාබාලම මන්ත්‍රීවරයා විදියට. එදා ඉඳල 2002 මැයි 22 දා අගමැති පුටුවෙන් පන්නන කල් මහින්ද මේ රටේ ඉහළ ම තනතුරු වන ජනාධිපති ධූරයේ, අගමැති ධූරයේ එක් වතාවකට වැඩි වාරයක් තනතුරු දැරූ එකම පුද්ගලයා.ජ්‍යෙෂ්ඨතමයා. ජනාධිපති තනතුර දෙවතාවක්, අගමැති තනතුර තුන් වතාවක් දරපු දේශපාලඥයෙක් නෑ.ඊට අමතරව විපක්ෂ නායකකමත් වරින්වර අමාත්‍ය ධූර කිහිපයක් ම දැරූ මහින්දට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න නොලැබුණෙ 1977 මැතිවරණයෙන් බෙලිඅත්ත ආසනය වෛද්‍ය රංජිත් අතපත්තු දිනාගත් අවස්ථාවෙ විතරයි. බෙලිඅත්තෙන් පටන්ගෙන කුරුණෑගල දක්වා ඇවිත් අගමැතිව හිටි මහින්දට පෙරේදා (9) අත්වුණු ඉරණම අත්වුණේ කොහොමද?

2005 ජනාධිපතිවරණයෙදි මහින්ද LTTE ය එක්ක රහස් ගිවිසුම් ගහගෙන රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්ද 180,867 න් පරාජය කළත්,2010 ජනාධිපතිවරණය ජෙනරල් සරත් ෆොන්සේකා පරාජය කරමින් පහසුවෙන් ජය ගත්තත්,2015 ජනාධිපතිවරණයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක තනතුරක්වත් නොදැරූ හිටපු ඇමතිවරයකු පමණක් වූ මෛත්‍රිපාල සිරිසේනට පරාජයවන්නේ වැඩි ඡන්ද 449072 න් වීම පුදුම සහගතයි. යුද්ධය ජයගත් වීරයා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූයේ ඔහු වටා සිටි ගජ මිතුරු නඩය හා පවුලේ සාමාජිකයන් ගේ අනීතික ක්‍රියාකලාප,දූෂිත ගනුදෙනු නිසා බවයි දේශපාලන මතධාරීන්ගේ මතය වූයේ. 2022 ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ රාජපක්ෂ තෙසොහොයුරන්ගේ හා සුපුරුදු ගජ මිතුරු හා පවුල් සංග්‍රහය, දූෂණය හා රටේ ජාතික සමපත් ඔවුන්ගේ බූදලය සේ සලකා කටයුතු කිරීමේ අනියම් විපාකය වසර දෙකක් ගතවන්නටත් පෙර ඔවුන් වෙත ළඟා වූයේ කිසිවෙකුත් නොසිතූ මොහොතකය. දහසකුත් එකක් ජීවන ප්‍රශනවලින් ජනතා දුකට පත් වෙමින් සිටියා පමණක් නොව ජනජීවිතය කඩා වැටී රට අගාධයට යමින් සිටියේ රාජපක්ෂවරුන්ගේ දුර්දාන්ත පාලනය නිසා වීමෙන් ජනතා විරෝධය ගොඩ නැගිණ.

රජයට විරුද්ධව නැගුණු මහජන විරෝධයේ තරම වටහාගන්නට රාජපක්ෂ ත්‍රිපුද්ගල සහෝදරත්වය අසමත් වූවා පමණක් නොව සාමකාමී, නිර්පාක්ෂික, අදේශපාලනික තරුණ අරගලය හෑල්ලුවට පත්කරමින් හැටනව ලක්ෂ සිහිනයේම සිටින්නට ඔවුන් උත්සාහ ගත්තේ පසුගිය 24 දා දිවයින පුරා දුටු වර්ජන රැල්ලේ ශක්තිය හා 6 දා පවැත්වුණු හර්තාලය පැවසූ පණිවිඩය පිළිබඳ කිසිදු තැකීමක් නොකරමිනි.

එහෙත් අවසානයේ සිදු වූයේ කුමක්ද? බල ලෝභය, බලතණ්හාව හා අඳබාල දූෂිතයන් කිහිපදෙනෙකුගේ මෙන්ම සැබෑ අධ්‍යාපන සුදුසුකමක් හෝ දේශපාලන පරිණතබවක් නැති අත්දැකීමකින් තොර පුත්‍ර සමාගමයේ හා ඔවුන්ගේ සට්ටැඹි මිත්‍රයන්ගේ උපදෙස් අසා පරිණතම දේශපාලනඥයා 9 දා කළ වියරුව හා එහි සෘජු ප්‍රථිඵලයක් ලෙස සමකාමී රටට අත් වූ ඉරණම කිසිදා සමාව නොලැබෙන අපරාධයක් බව සක් සුදක් සේ පහැදිලිය. අසෙවනාච බාලානං පණ්ඩිතානංච සෙවනා ( බාලයන් හෝ අසත්පුරුෂයන් සේවනය නොකිරීම ද,පණ්ඩිතයන් නොහොත් සත්පුරුෂයන් සේවනය කිරීම ද )බුදු වදනවත් අසා නැති පරිණත ම නායකයා උපදෙස් ලද්දේ කාගෙන් ද? කුප්‍රකට දූෂිත දේශපාලන චරිත වූ ජොනියා, මාල හොරා රෝහිත, පුත්තලමේ මැරයා සනත් නිශාන්ත ඇතුළු යෝෂිත පුත්‍ර සමාගමයෙන් හා සහෝදර සමාගමේ මොළ 7 ක් තිබෙනවා යයි පාරම් බෑ මේ රටේ ආර්ථිකය විනාශ කළ කපුටෙකුගෙන් වීම පරිණත නායකයාගේ අවසානය ළඟා කර දීමක් පමණක් නොව සාමකාමීව තිබු රටක් තුළ භීෂණය වැපිරීමක් ද වූ බව පහැදිලි ය. පරිණත යයි ඔහු සිතා සිටිය ද බලලෝභයෙන් මත් වී 9 දා මයිනාගෝගමට පහරදීමට කැඳ වූ මැර පිරිස් බුදුන් දවස රා පොවා මත් කළ නාලාගිරි ඇතාගේ භූමිකාව රඟ පෑ ආකාරය ලොවම දැක හමාරය. එක්තරා කාලයක යුද බියෙන් සිටි ජනතාව ඒ බියෙන් මුදාගත් වීරයාට ම ජනතා කෝපය හා විරෝධය හමුවේ බියෙන් සැඟවී සිටින්නට සිදුවීම ඉතා පැහැදිලිව කියන්නේ මෝඩ මැරයන් ආශ්‍රයෙන් තමන් ද තමන්ගේ කීර්ති නාමය ද අවසන රට ද අගාධයට ඇද දැමීමට සිදු වූ කතාවයි.

ජනතා අරගලයක් මසක් තුළ ලද ජයග්‍රහණ ඓතිහාසික ය. ආදරය, කරුණාව,සාමය, සංහිඳියාව පිරුණු අරගලය දිනේවා !

– බුද්ධදාස ගලප්පත්ති

Previous articleමිනිස් ආවේගයන් විප්ලවීය නැතැයි කිව හැක්කේ කෙසේද?
Next articleඇහැට ඇහැක් ගන්න ගියොත් අපි ඔක්කොම අන්ධ වෙයි ! – කලාකරුවෝ, වෘත්තිකයෝ ගෝල්ෆේස්හිදී අවධාරණය කරති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here