මිනිස් ආවේගයන් විප්ලවීය නැතැයි කිව හැක්කේ කෙසේද?

45

දූෂිත හොස්නි මුබාරක්ගේ පාලනයට එරෙහිව 2011 වසරේ කයිරෝවේ දිගහැරුණු ෆේස්බුක් විප්ලවය නොඒසේනම් අරාබි වසන්තය (Arab Spring) වගේම ඊට සමාන්තරව ටියුනිසියාවේ පුපුරා ගිය ජැස්මින් විප්ලවයත්, ග්‍රීසියේ මුල්‍ය අර්බුදයේ ගෝලීය පාඩම් සහ 2013 වසරේ සිට අද දක්වා දිග හැරෙන ‘කළු ජාතිකයින් ද ජීවත් විය යුතුය’ (Black Lives Matter) යන විකෙන්ද්‍රිය ඇමෙරිකානු අරගලයත් සමඟ පසුගිය දශකය ගතවූයේ ජනප්‍රිය අරගල දශකයක් ලෙසය.

ඒ සියල්ලත් සමඟම 2019 හොංකොං අරගලය, 2020 තායිලන්ත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද සටන, මෑත බල්ගේරියානු සහ බෙලරුසියානු අරගල, පෝලන්ත කාන්තා අරගලය, කිරිස්ගිස්තියනු අරගලය, ඉන්දියානු ගොවි අරගලය මතු නොව 2010 සිට 2022 දක්වා පමණක් ලෝක ගෝලය පුරා දිගහැරුණු තවත් දහසකුත් එකක් සටන් සහ අරගල මෙන්ම දරුණු ආර්ථික අවපාතය ද ශ්‍රී ලංකාවේ ගෝල්ෆේස් අරගලයේ ප්‍රභවය, ජවය සහ විකසිත බවට බලපාන්නට ඇත.

ගෝල්ෆේස් අරගලයේ නිර්මාණාත්මක, බහුවිධ, විචිත්‍රවත් සහ වෛවර්ණ බව විසින් එය ලංකාවේ පමණක් නොව ආසියාවේ මෙන්ම ලෝකයේද මේ වර්ගයේ පළමු විප්ලවීය අත්දැකීම බවට පත්වන්නට ඇත. මේ අරගලයට තරුණ ජනයා පමණක් නොව සමස්ත පොදුජන ආකර්ෂණය ම දිනා ගන්නට ඒ විකෙන්ද්‍රිය අත්දැකීම ඉවහල් වන්නට ඇතැයි සිතිය හැක. සහභාගී වූ අය ඒ ගැන අනුරාගික වූ අතර සහභාගී නොවූ බොහෝ අය එයට ආදරය කළේය.

දහස් ගණන් වැල නොකැඩි ගෝල්ෆේස් කේන්ද්‍රය වෙත තරුණ ජනයා වැඩි වශයෙනුත් වැඩිහිටි ජනයා සෑහෙන පමණත් සහභාගී වන්නට විය. කේන්ද්‍රය අනුව යමින් ලංකාව පුරා ඒ අනුව ගෝඨාගෝ ගම් ඇතිවිය. අරගලය ගැන මිනිසුන් දැනුවත් විය.

මිරිහානෙන් ඇරඹි මේ ප්‍රතිරෝධය පාර්ලිමේන්තු වටරවුම දක්වා මාසයක් තිස්සේ ගමන්කර යම් සටන්කාමී තීව්‍රතාවයක් අත්පත් කර ගනිමින් පැවතියේය. එය ආපසු හැරවිය නොහැකි බව හැම කෙනෙක් වෙතින්ම මේ වනවිට ප්‍රකාශ වෙමින් තිබිණි.
මැයි 9 වැනිදා එළඹෙන්නේ මේ සියල්ල සිදුවෙමින් පවතින විටය.

අරගලයේ ‘අනුරාගික කේන්ද්‍රය’ (passionate core) ගෝල්ෆේස් වනවිට සහ ඒ අනුරාගය ගැන සත පහක වටිනාකමක් නොතිබූ ග්‍රාමීය රාජපක්ෂවාදී වැඩිහිටි ලුම්පනය ඒ මැදට ත්‍රාඩ ලෙස කඩා වැදී එය විනාශ කරන විට එයට එරෙහිව පාරට බැස්සේ අගනුවර ආයතනවල අත්‍දිගට දැමූ ටයිකෝට් ඇඳගත් තරුණ පරම්පරාව ය. වැඩකරන පන්තිය ය. පොදුවේ මිනිසුන් ය.
දෛවෝපගත 9 වැනිදා අවසන් වූවේ සර්ව රාත්‍රික මට්ටමෙන් විශාල පෙරළියක් වෙනුවෙන් ලාංකික පොළොව සූදානම් බවට සලකුණු කරමිනි. නොසිතූ දේපළ විනාශයක් රට අත්වින්දා වුවද සියලු සමකාලීන ගෝලීය අරගල අවසන් වී ඇත්තේ මිටත් වඩා ප්‍රචණ්ඩ ප්‍රතිරෝධයන් සහිතවය. කෙසේ වුවද ගෝල්ෆේස් අරගල සන්දර්භය අන් බොහෝ අරගලවලින් වෙනස්ව ගෝලීය අවධානයක් දිනා ගත්තේ ද එහි පැවති අවිහිංසාවාදී ප්‍රවේශය නිසාය. නමුත් ගෝල්ෆේස් ප්‍රහාරය විසින් අපගේ ඉවසීම පරික්ෂාවට ලක්කර තිබිණි. කෙසේ වුවත් අද වනවිට යම් සාමකාමී මතුපිටක් ලාංකික පොළොව මත වැටි ඇත. එය රැක ගැනීම අප හැමගේ වගකීමකි.

ජනප්‍රිය විප්ලවීය යෙදුමක් මෙහිදී උපුටන්නේ නම් ‘හැම කෙනෙක් ම දුෂ්ට රජුගේ ගෙළ සිඳින්නේ කෙසේද යන්න ගැන රහසින් ඕපාදූප කියමින් ඇත. ඇතැම් විට මේ ඕපාදූපය දශක ගණනක් තිබුණා විය හැක. මේ දුෂ්ට රජු කිසිසේත්ම දෙවියන් නොවන බව දන්නා සාමාන්‍ය මිනිසුන් කොයි මොහොතේ හෝ ඔහු දේවත්වයෙන් බිමට ඇද දැමීම ගැන රහසේ ජනකතා ගොතමින් සිටියි. නමුත් ඒ මොහොත එළැඹෙන්නේ ඉතාම සෙමින් නිසා එළඹෙන මොහොත ගැන මිනිසුන් හරියටම දන්නේ නැත. එය ඔවුන්ට සිතාගත නොහැක. ඔවුන් නාට්‍ය ශාලාවට ගමන් කරන විටත් නාට්‍යයේ උච්චස්ථානයට ළඟාවී ඇත’.
ඔවුන් ගම්වල සිට ගෝල්ෆේස් නාට්‍යය කුඩු කරන්නට යනවිට ඇත්ත වශයෙන් නාට්‍ය පටන් ගෙන බොහෝ වෙලා ගොසිණි. ඇත්තටම එය තිබුණේ උච්චස්ථානයේය. ඔවුන්ට එය තේරුණේ දෙබරු කනවා සේ වදින විටය.

ඔවුන් කරන දෙය ඔවුන් නොදන්නා නිසා ගොං ප්‍රාදේශීය දේශපාලඥයින් උඩගෙඩි දුන් ලෙසින් ම ඔවුන් කොළඹ ආවේය. නැව් පිටින් ගුටි අනුභව කර බේරේ වැවෙන් නා ආපසු ගියේය. රජු දේවත්වයෙන් බිමට ඇද වැටෙමින් සිටියි. ඕපාදූපය ඇත්තක් වෙමින් ඇත.

ඒ සියල්ල සමඟ අරගලය කිසිදා නොතිබූ ජවයක් අත්පත් කර ගනිමින් ඇත.

ලාංකික ගෝල්ෆේස් අරගලයද වැටෙන්නේ ඊජිප්තු ෆේස්බුක් අරගල ප්‍රවර්ගයට ය. මන්ද අරගලයේ අනුරාගය නිර්මාණය කිරීමේදී සහ සන්නිවේදනය කිරීමේදී ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය කළ කාර්යය අතිමහත් වීම නිසාය. එසේම සමාජ මාධ්‍ය තුල ඇති දුර්වලතා ද මෙහිදී විද්‍යාමාන විය.

මුහුණුපොත ඉතිහාසයේ සාරය නියෝජනය නොකරන මුත් එය මිනිස් ආවේගයන්හි කැඩපතක් නිර්මාණය කරයි. මිනිස් ආවේගයන් විප්ලවීය නැතැයි කිව හැක්කේ කෙසේද?

– මහේෂ් හපුගොඩ

Previous article“තත්ත්වය වෙනස් නොවුණහොත් ඉල්ලා අස්වෙනව” – මහ බැංකු අධිපති
Next articleපරිණතම දේශපාලන භූමිකාවේ සිට ජොනියලාගේ ඔඩොක්කුවේ දී සිය දිවි නසාගත් රාජපක්ෂවරයාගේ ඉරණම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here