ගෝටාගෝගම ජය හා බලලෝභියකුගේ නින්දිත ප්‍රහාරය

94

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික දිනයක් මෙන් ම අඳුරු ම දිනයක් ලෙස ද අද මැයි 9 වන දා සටහන් වී හමාරය.ඊට හේතු දෙකක් දකිමි.පළමුවැන්න 1958 සිට අද දක්වා මා දැක ඇති දේශපාලන හා ජාතිවාදී හෝ කම්කරු අරගල ඉතිහාසයේ ජයග්‍රාහී දිනයක් ලෙස මාසයක් වැනි කෙටි කාලයක් තුළ නිරායුධ නිර්පාක්ෂික තරුණ පිරිසක් නායකත්වය දුන් ගෝටාගෝගම අරගලය සටහන් වී ඇත.අඳුරු දිනයක් බවට ලියැවෙන්නේ නිර්ලජ්ජී මිනීමරු පාලකයන් විසින් බීමත් කුලී මැර පිරිස් යොදවා ගනිමින් නිරායුධ තරුණ අරගලකරුවන්ට පහර දෙමින් ඔවුන්ගේ ලේ සොලවමින් කළ ම්ලෙච්ඡ තිරශ්චීන ප්‍රහාරය නිසාය.

1958 සිංහල දෙමළ ජාතිවාදී අරගලය,1971 තරුණ අරගලය,1983 කළු ජූලිය 1988-89 භීෂණය හා පශ්චාද් මැතිවරණ ජය සැමරුම් (1970,1977) මැතිවරණ ලේ වැගිරීම් බොහොමයක් සියැසින් දැක ඇත්තෙමි. එලෙසම 30 වසරක් පුරා පැවති ජනවාර්ගික අරගලයේ අඳුරු අත්දැකීම් ද විඳ ඇත්තෙමි.එහෙත් ඒ කිසිදු සිදුවීමක දී මාසයක් වැනි කෙටි කාලයක් තුළ මහා ජනවරමක් තිබූ පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් හා පූර්ණ බලැති විධායක ජනාධිපතිවරයකු යටතේ සිටි අගමැතිවරයා බලයෙන් පහකොට පන්නාදැමීම වැනි ජයක් ලැබීමට ගෝටාගෝගම හා මයිනාගෝගම අරගලකරුවෝ සමත්ව සිටිති.

එහෙත් අඳුරු දින උදා කරන ලද්දේ බලලෝභී පාලකයන් විසින් ම වීම ශ්‍රී ලංකාව පමණක් නොව ජාත්‍යන්තරය ම දන්නා රහසකි.සාමකාමී අරගලකරුවන්ට පහරදීමට බත් පාර්සලයක්, මත්පැන් බෝතලයක් හා රුපියල් 2000 ක් හෝ 5000 ක් වැනි සොච්චම් අල්ලසක් දී නගරයෙන් ඈත පළාත් සභා සභිකයන් කොළඹට කැඳවා මෙම නිර්ලජ්ජී පහරදීම සැලසුම් කළ බලලෝභීන්ට හෝරාවක් හෝ දෙකක් තුළ දී අත්විඳින්නට සිදු වූ ඉරණම පිළිබඳ ප්‍රීතියට පත් වූ ජනතාව කිරිබත් කමින් රතිඤ්ඤා පත්තුකරමින් ජය සමරනු ද දකින්නට ලැබිණ.

ගෝටාගෝගමට අද හවස් යාමයේ ගිය කල නෙත ගැටුණු රූප සටහන් කීපයකි මෙ. හමුදා ප්‍රහාරයක් එල්ලවේ ය යන පුවත සැළ වීමෙන් පසුව අරගල බිම රැකීමට පැමිණි කිතුණු පූජකවරුන් හා කන්‍යා සොයුරියන් පිරිසක් හා අරගල ප්‍රධාන වේදිකාව අසල සිටි පිරිසෙන් කොටසක් දැක්මට හැකිය.
ගෝටාගෝගම රාත්‍රි 20.11 පැයට

– බුද්ධදාස ගලප්පත්ති

Previous articleරාජපක්ෂ පවුලේ පාරම්පරික මැදමුලන නිවසට ප්‍රහාරයක්
Next article“අරගලකරුවන්ට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරයන් තරයේ හෙළාදකිනව” – ත්‍රෛනිකායික මහනාහිමිවරුන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here