සේපියන්ස්: මානව වර්ගයාගේ ඉතිහාසය සැකෙවින්

87

//ජයග්‍රාහී මානසිකත්වය.
1969 ජුලි 20 වන දින නීල් ආම්ස්ට්‍රෝංග් හා බස් ඔල්ඩ්‍රින් සඳ මතුපිට පා තැබූහ. ඔවුන්ගේ ගවේෂණයට මාස කිහිපයකට පෙර සිට මේ ඇපලෝ II චන්ද්‍රගාමියෝ ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර කොටසේ සඳ මතුපිටට සමාන දුෂ්කර කාන්තාර පරිසරයක පුරුදු පුහුණු වූහ. මේ ප්‍රදේශයේ ස්වදේශික ඇමරිකානු ප්‍රජාවන් රැසක් ජීවත් වූ අතර එක් ප්‍රාදේශීය නායකයකු හා ගගනගාමීන් අතරවූ හමුවක් ගැන සඳහන් ජනප්‍රවාදයක් වෙයි.

දිනක් ගගනගාමීන් පුහුණුවීමේ යෙදී සිටියදී ඔවුනට වැඩිමහලු ස්වදේශික ඇමරිකානුවෙකු හමුවිය. ඔහු ඔවුන්ගෙන් මෙතැන කුමක් කරන්නේ දැයි විමසුවේය. ඊට පිළිතුරු ලෙස ඔවුහු මේ තව ටික කලකින් දියත් වීමට නියමිත චන්ද්‍ර ගවේෂණ චාරිකාවේ පෙර පුහුණුවක කොටසක් බැව් පැහැදිලි කළහ. මෙය ඇසූ මහල්ලා ටික වෙලාවක් නිහඬව සිට තමන්ට උදව්වක් කළ හැකිදැයි ගගනගාමීන්ගෙන් විමසුවේය.

“ඔබට මොනවද ඕනෑ?” ඔවුහු විමසූහ.
“හොඳයි,” මහලු මිනිසා පිළිතුරු දුන්නේය. “මගේ ගෝත්‍රයේ මිනිස්සු විශ්වාස කරනවා ශුද්ධ වූ ආත්මයන් ජීවත් වෙන්නේ සඳේ කියලා. කරුණාකරලා ඔබට පුළුවන් ද මගේ ජනතාවගේ වැදගත් පණිවුඩයක් ඒ ඇත්තන්ට දෙන්න?”

“මොකක්ද ඒ පණිවුඩය?” ගගනගාමීයෝ විමසූහ. මිනිසා තම ගෝත්‍රික භාෂාවෙන් මොනවාදෝ මුමුනා එය මතකයේ රැඳෙන තුරු නැවත නැවත කියවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

“ඒක තේරුම මොකක්ද?” චන්ද්‍රගාමියෝ ඇසූහ.
“ඔහ්… මට ඒකනං කියන්න බෑ.. ඒ මොකද ඒක අපේ ගෝත්‍රයයි හඳේ ඉන්න ශුද්ධ වූ ආත්මයනුයි පමණක් දැනගත යුතු රහසක්.”

තම කඳවුරට ආපසු ගිය ඔවුහු මේ රහස් පණිවුඩය පරිවර්තනය කරන්නට ගෝත්‍රික බස කතා කරන යමෙකු සොයා දැඩි උත්සාහයක යෙදුණහ. අවසානයේදී එවැන්නෙක් සොයා ඒ රහස් පණිවුඩය තේරුම් කරදෙන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන් ඒ ගෝත්‍රික පදය පුනරුච්චාරණය කළවිට භාෂා පරිවර්තකයා බඩ අල්ලාගනිමින් හිනැහුණේය. ඔහු සන්සුන් වූ පසු චන්ද්‍රගාමියෝ එහි අරුත විමසූහ.

ඔවුනට මෙතරම් වෙහෙසවී පාඩම් කරන්නට දුන් වැකියේ අරුත ඔහු මෙසේ කීවේය: ” මේ මිනිස්සු කියන වචනයක්වත් විශ්වාස කරන්න එපා. මේගොල්ලො ඇවිත් ඉන්නෙ ඉඩකඩම් පැහැර ගන්නයි!”.
පි.අ.337/338

Yuval Noah Harari | Sapiens
(A brief history of humankind)

– ගයත්‍රී නදීශානි (fb පිටුවෙන්)

පරිවර්තනය : මංජුල කල්දේරා

ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ

Previous articleහර්තාල් දිනයේ වර්ජනත් අති සාර්ථකයි
Next articleවිනී හෙට්ටිගොඩ ‘කාටුන්’ ලංකා වෙබ් 2022 – 05 – 06

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here