ඔහු ම පමණි මනෝ

40

පාසල් නාට්‍ය කලාවේ පුරෝගාමී ගුරුවරයෙකු වූ සුනිල් ශ්‍රීපානන්දගේ ‘අස්පගුඩුංහි’ රංගනයෙන් තම රංගන ප්‍රතිභාව විශද කළ ජයලත් මනෝරත්න පේරාදෙණිය සරසවියේදී, මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍ර සෙවනෙහි නාට්‍ය කලාව හදාරමින්, මහා වේදිකාවට පිවිසෙන්නට අත්පොත් තබන්නේ, 1967 දී ‘සිංහබාහු ’හා 1968දී ‘මනමේ’ නාට්‍ය කණ්ඩායමට, එක්වීමෙනි. එහෙත්, මනෝ සැබෑ රංගධරයා ලෙස තම රංගන චාරිකාව අරඹන්නේ, 1969 දී සරච්චන්ද්‍රගේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයෙහි උද්දාල බමුණු චරිතය රඟපාමිනි. ‘පේමතෝ’හි උද්දාල වූ මනෝ, සරච්චන්ද්‍රගේම පසු නිෂ්පාදන වූ ‘මහාසාර’ නාටකයේ රජගේ චරිතයද පසුව ‘වෙස්සන්තර’ ගීතාංග නාටකයෙහි වෙස්සන්තර රජු භූමිකාවද රංගනයෙන් ප්‍රතිනිර්මාණය කරන්නේය.  හැටේ දශකයේ අගභාගයෙන් ඇරඹෙන මනෝගේ රංගන චාරිකාවේ සුවිසේෂී ලක්ෂණය වන්නේ ඔහු මෙරට වේදිකාවේ දැවැන්තයන් සේ සැලකෙන සරච්චන්ද්‍ර, සුගතපාලද සිල්වා, හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති හා දයානන්ද ගුණවර්ධන යන විශිෂ්ටයන්ගේ නිර්මාණ සඳහා රංගනයෙන් දායකවීමට වාසනාව ලැබීමයි.

ජයලත් මනෝරත්න රංගධරයෙක් පමණක් නොව, සම්මානලාභී නාට්‍ය රචකයාය. නිෂ්පාදකවරයාය. ‘තලමල පිපිලා, ‘ගුරුතරුව’, ‘අන්දරේලා’ ඔහුගේ ස්වතන්ත්‍ර නාට්‍ය නිෂ්පාදන අතර කිහිපයකි. ප්‍රසන්න විතානගේ ගේ ‘පුත්‍ර සමාගම’ පරිවර්තනය මනෝ අතින් පරිවර්තනය වූ සම්මානලාභී නාට්‍ය නිර්මාණයයි. ඔහුගේ නාට්‍ය කලා ජීවිතයේදී ඔහු රංගනයෙන් දායක වූ සියයකට අධික නාට්‍ය නිර්මාණ අතරින් රංගධරයෙකු ලෙස ලැබිය හැකි ඉහළම සම්මානය වන රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළු සම්මානය පස්වතාවක්ම දිනා ගැනීමට සමත් වූ එකම නළුවා ඔහුවීම ඔහුගේ රංගනය වෙනුවෙන් තබන්නට හැකි අගනාම සටහනයි. වේදිකාවෙන් සිනමාවටද, රූපවාහිනී නාට්‍යයට ද පිවිසෙන ජයලත් මනෝරත්න, මෙම මාධ්‍ය ද්වයෙහිම නිර්මාණ සඳහා දායකවෙමින් ඉහළම සම්මාන දිනා සිටී. වේදිකාව, පුංචිතිරය, සිනමාව යන ක්ෂේත්‍ර සියල්ලෙහිම ඔහුට සමකළ හැකි රංගධරයෙකු නොමැත. ඔහු සේ රංගනය නම් සඳුන් කැටය අතමිට මොළවාගෙන පැමිණි චරිතයක් පිළිබඳ අප අසා නොමැත. ස්වතන්ත්‍ර නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය, රංගනය, රූපවාහිනී නාට්‍ය තිර රචනය, අධ්‍යක්ෂණය හා මේ සියලු ශානර තුළ රංගධරයා ලෙස මනෝගේ සම්ප්‍රදායට ළංවන්නට හැකි වූ එකදු කලාකරුවෙකු හෝ නැත.

ජයලත් මනෝරත්න යනු හුදු නළුවෙක් පමණක් නොව, නාට්‍ය හා රංග කලාව පිළිබඳ පර්යේෂණාත්මක ව්‍යායාමයක නිරත වූ ශාස්ත්‍රඥයෙකි. සිංහල නාට්‍යයේ ‘ප්‍රාසාංගික කලාත්මක වර්ධනය’ නම් ශාස්ත්‍රීය නිබන්ධයට,  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන සූරී (PHD) උපාධිය පිරිනමන්නේ, ඔහුගේ ශාස්ත්‍රවන්ත ඥානයටයි. එලෙසම පේරාදෙණිය සරසවියෙන් ඔහුට සාහිත්‍යසූරී (D.Litl) ගෞරය උපාධිය පිරිනමන්නේ ඔහු විසින් මෙරට සාහිත්‍ය, නාට්‍ය, කලා හා සෞන්දර්යාත්මක සම්ප්‍රදානයන්හි අගය සැලකිල්ලට ගනිමිනි. මනෝරත්න යනු රංගධරයායි. නාට්‍ය වේදියාය. ශාස්ත්‍රවන්තයාය. දේශකයාය. ඔහු තුළ වූ මේ භූමිකා හා තවත්  අනුබද්ධිත කලා කුසලතා, නිපුණතා සතු අන් කලාකරුවෙක් පිළිබඳ මතකයට නොගැනේ. ඔහුගේ සම්ප්‍රදානය අතුල්‍යයි. අනන්‍යයි. ජයලත් මනෝරත්න වැනි කලාකරුවෙකුගෙන්, සමාජයෙහි ඇති වූ හිඩැස, රික්තය සම්පූර්ණ කළ හැක්කේ නොවේ. මනෝරත්න යනු ඔහුම පමණි.

බුද්ධදාස ගලප්පත්ති

Previous articleබැඳුම්කර වාර්තාව විවෘත කරන්න අගමැතිට පුළුවන්
Next articleඉතින්, බත් වෙනුවට කාපල්ලා වහ…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here