සින්තටික් මතකයෙහි මනෝ

27

“දර්ශන අංක 1-කාලය/ සවස

“තැනින් තැන උස් කඳුගැට පොළොවෙන් ඉලිප්පුණු තැනිතලා තීරයක්. අවසන් වසරෙ විභාගයෙන් පසු විනෝද චාරිකාවක ගිය සරසවි සිසුවියන් පිරිසක් අපිළිවෙළට තැන තැන ඉඳගෙන ඉන්නවා. ඔවුන් හා පැමිණි මැදි විය ඉක්ම වූ කෙසඟ, පැහැපත් පෙනුමැති, කොණ්ඩය අපිළිවෙළට වැවූ ආචාර්යවරයකු කිසියම් කතිකාවක.

“සයිමන් : එක මිනිහෙක් එක්තරා තැනක ඉඳලා දකුණට කිලෝමීටර් A ප්‍රමාණයක් ගමන් කරනවා. ඊට පස්සෙ තමුන්ගෙ දකුණු අත පැත්තට ඒ කියන්නෙ නැඟෙනහිරට අංශක 90කින් හැරෙනවා. තවත් කිලෝමීටර් A ප්‍රමාණයක් ගමන් කරනවා. ආයෙත් තමුන්ගෙ දකුණු අත පැත්තට ඒ දුරම යනවා. එතනින් උතුරට අංශක 90ක් හැරිලා තවත් කිලෝමීටර් A ප්‍රමාණයක් ගියාම මිනිහා ආයෙත් පටන් ගත්ත තැනටම ඇවිත්. මිනිහට හම්බ වෙනවා වලහෙක්. වලහ මොන පාට ද?

(කුසල්ටත්, මහේලටත් මැදිව ඉන්න ශාරදා කෑගහනවා)

“ශාරදා : ඌයි මූ (මහේල) මගේ පස්ස පැත්ත කෙනිත්තුවා.

“කුසල් : වලහෙක් නෙවෙයි ඌට හම්බ වෙන්නෙ යකෙක්. ඔහොම හිටපං.

(කුසල් මහේල පසුපස පන්නනවා. සෙස්සන් ඔවුන් දෙදෙනා පසුපසින් දිව යනවා. සයිමනුත්, ශාරදාත් තනි වෙනවා.)”

‘සින්තටික් සිහින’ පටන් ගන්නෙ එහෙමයි. මෙය 1998 අගභාගෙ හරියටම දින 14කින් වැඩ ඉවර කරපු කොටස් 12කින් යුක්ත මාලා නාට්‍යයක්. දිවා රෑ වෙහෙස මහන්සිය නොබලා එකා වගේ එකට වැඩ කළ හැකි කණ්ඩායමක රසපූර්ණ අත්දැකීමක් ඒක. හැම දේම සිද්ද වුණේ හඳගමගෙ මෙහෙයුම උඩ. ‘අවුරෝරා’, ‘භූමිකා’, ‘හෙණ’ වගේ වේදිකා නාට්‍යත්, ‘දුන්හිඳ අද්දර’ වගේ ටෙලි නාට්‍යයත් ඒ වෙන කොට කරල තිබුණු හින්ද හඳයත්, අපිත් අතර දුරක් තිබුණෙ නෑ.

ඒත් ‘සින්තටික් සිහින’ කරද් දී තරමක තිගැස්මක් තිබුණා. ජයලත් මනෝරත්න කියන විශිෂ්ටයා ඒකෙ ප්‍රධාන චරිතය රඟපාන නිසා. ඊට කලින් ජයන්ත චන්ද්‍රසිරිගෙ ‘ඔත්තුකාරයා’ වේදිකා නාට්‍යයේ මනෝ අයියත් එක්ක මම රඟපාල තිබුණු හින්ද අපි – අපිට ආගන්තුක වුණේ නෑ. ඒත් මේක ටෙලිනාට්‍යයක් නෙ. අනික් එක ‘සින්තටික් සිහිනයට’ තේමා වෙන්නෙ එතෙක් ලංකාවෙ ටෙලි නාට්‍යයට විෂය නොවුණා යැයි හැඟෙන අපූරු අත්දැකීමක්. ඒක මේ සමාජයේ මතුපිටින් අපිට පේන යථාරූපය කියල හිතන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. කොහොම වෙතත් මේ තත්ත්වය අපිට සපුරා ප්‍රතික්‍ෂේප කරන්න නම් බෑ. මොක ද? මේ මුළු මහත් මානව සංහතියේ පැවැත්මම එක්තරා අතකට සිහිනයක්.  අපි ජීවත් වෙන්නෙ අපි – අපිට වෙන් වෙච්ච සිහින ලෝකවල. එවකට සමකාලීන සමාජයේ යෞවනත්වය අතරින් ගිලිහුණු ඒ සිහිනය තුළින් යථාර්ථය පිළිබඳ එක්තරා පැතිකඩක් තමයි හඳයා මතු කරන්න වෑයම් කළේ. මනෝ අයියා රඟපෑවෙ සයිමන් කියන චරිතය. ඒක හරි අමුතුම එකක්.

“ඉර හඳට වඩා අපි

ඈත බව දන්නවා

ඒ වුණත් අහම්බෙන්

එකම එක මොහොතකට

ඔබට මා හමු වෙලා

“දැන් ඉතින් වෙන කුමක් කරන්න ද

ආදරය කරනු මිස

මහා පතරංගෙටත් වඩා දිග කතාවක

කොම්බුවක් තරම් නැති

අපේ ලව් සින්දුවේ

අන්තරා පේළියක සමන්ති

මා ඔබව ඉම්බා

“පැය කටුව කුමකට ද

ඔරලෝසු මූණකට

කල්පයක් කියන්නේ

තත්පරෙන් බිඳක් නම්

සාරාසංකල්ප ලක්‍ෂයක් මා ඔබට

තුරුලු වී නිඳිබරව උන්නා සමන්තී

“ඔබේ තොල් පෙති වැදී

මගේ නළලේ කොනක

කේශනාළිකාවක් පිපිරුණා

කමක් නෑ 

දැන් ඉතින් වෙන කුමක් කරන්න ද

ආදරය කරනු මිස”

මේකෙ ප්‍රබලම චරිතය තමයි, සයිමන්. ඔහු භෞතික විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්. යොවුන් හැඟීම් අඳුන ගත්තු මැදි වියේ අවිවාහකයෙක්. ඔහු ඇතුළු තවත් සිසු පිරිසක් ශාරදා නම් සිසුවියගෙ ගමට යනවා. ශාරදා (ප්‍රියංකා වික්‍රමසිංහ), මහේල (අතුල අධිකාරි) හා කුසල් (අසේල ජයකොඩි) මේ ගමනට එකතු වෙනවා. ශාරදාගෙ තාත්ත (හේමසිරි ලියනගේ), අම්මා (චිත්‍රා වරකාගොඩ), තාත්තගෙ දෙවන බිරිඳ කාන්ති (අනෝමා ජනාදරී), ඇගේ පරණ ග්‍රාමාරක්‍ෂක පෙම්වතා නන්දෙ (සේන නානායක්කාර), රන්ජි (රුක්මල් නිරෝෂ්) හා කාන්තිගෙ දියණිය සුජාතා (නිපුනී පතිරගේ) යන අයත් මේ කතාවෙ ප්‍රධාන චරිත.

හැම දෙනාටම තියෙන්නෙ විවිධ වර්ගයේ ගැටලු. ඒ එකිනෙකා ඒ ඒ අයගෙ හීන අතරෙ සැරිසරන විදිහ හරි අපූරුයි. පෘතග්ජන මිනිස්සු තමන්ගෙ ජීවිත ඇතුළෙ තමන්ට සපුරා ගන්නට බැරි ඉලක්කවලට පය ගහන්න දරන පරිශ්‍රමය හඳගම පෙන්නන්නෙ හරි ම සැහැල්ලු ආකෘතියකින්. හැබැයි ඒක හරි ම සංකීර්ණයි; ගැඹුරුයි.

ඒ ගැඹුර සහ සංකීර්ණත්වය මුල සිට අග දක්වාම ඇදගෙන යන්නෙ සයිමන්. පශ්චාත් නූතනවාදී හැඟීම්වලට සමීප ඔහු, ‘සින්තටික් සිහිනයේ’ නිරූපණය වෙන්නෙ හරි ම විවෘතව.

“ඇහැට වැලි කැටයක් ගියපු වෙලාවක ඒක අරන් දාන ගමන් කෙල්ලගෙ මූණ ඉඹින්න පුළුවන් ද? ඒක දන්නෙ සින්තටික් සිහිනයක ජීවත් වෙන ශාරදායි, ගුරුවරයයි විතරයි”

සයිමන් කියන භෞතික විද්‍යා මහාචාර්යවරයාට හඳගම චරිත සහතිකේ දෙන්නෙ එහෙම.

“තමන් කැම්පස් ආපු එක ගැන කනගාටු වෙන්න එපා. ඒ ගෙවපු කාලය නාස්තියක් කියල හිතන්නත් එපා. ජීවිතය කියන්නෙ රස්සාවක් කරන එකම නෙවෙයි. ජීවත් වෙන්න රස්සාවක් ඕනෑ තමයි. ඒ වුණාට රස්සාවක් කරන්න ජීවත් වෙන්න එපා. අපි දැන් දියුණු මිනිස්සු. ජීවිතය හාරගෙන, හොයාගෙන යන්න දඟලන්න එපා. දවසක හෙම්බත් වෙයි. එතකොට ජීවිතේ තිත්ත වෙයි. ජීවිතේට තමන්ව හොයාගෙන එන්න ඉඩ අරින්න. ඒක නොයෙක් වෙස් ගනියි. හරියට මහ මුහුද වගේ.”

ඔහු සිය ශිෂ්‍යයන්ට අවධාරණය කරයි.

රූපණ ශිල්පියෙක් විදිහට මනෝ මේ චරිතයට සමාරෝපණය වෙන්නෙ හරි අපූරු ආකාරයකට කියලයි මට හිතෙන්නෙ. සුන්දර නුවරඑළියෙ නගරයට ඈතින් පිහිටි දුෂ්කර දෙහිපෙ ගම්මානයෙන් ඔහුට උපතින්ම ලැබුණු ගැමිකම, හුරුබුහුටිකම හා එයින් ඔහු උකහා ගත් සංස්කෘතිකමය සාධනීයතා මෙතරම්ම කුරිරු ලෙස සපුරා සඟවාලිය හැකි ද? ඒ ඔහු සැබෑ රංගන ශිල්පියෙක් නිසා ය. රූපණය හදාළ දක්‍ෂ රංගවේදියෙක් නිසා ය. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පරමාදර්ශී නළුවෙක් නිසා ය. ජයන්ත චන්ද්‍රසිරි අතින් ලියැවුණු මේ වචන කිහිපය සින්තටික් සිහිනයේ සයිමන්ගෙ භූමිකාව රඟන මනෝට අතිශයින් ගැළපෙනවා.

“ක්‍රමවේදය හා ඉන් පුහුණුව ලැබූ නළු නිළියන් පිළිබඳව විශ්වාසය තබන අපට ද අප රටේ දී දැක ගත හැකි පරමාදර්ශී විබුධයෝ  අතළොස්සක් සිටිති. මනෝරත්න යනු ඉනුත් ඉදිරියෙන් සිටින්නෙකි.

“තමන් නිරූපණය සඳහා එකඟ වෙන ඕනෑම චරිතයක තේමාගුණය (Basic Character Qualities) ඉක්මනින්ම වටහා ගැනීම මනෝ තුළ මා පළමුවෙන්ම දකින ගුණයයි. මෙය ඔහු තුළ වසන සාහිත්‍යකරුවා හා කවියා විසින් ඔහුට පිරිනමන ලද විශේෂ වරප්‍රසාදයක් විය හැකි ය. එහෙත්, සාහිත්‍යකරුවකු හෝ කවියකු වූ පමණින්ම යමකුට ඒ තේමාගුණය හා සමවැදිය නොහැකි ය. මා සිතන්නේ මෙහිදී මනෝගේ පිහිටට එන්නේ පැරැණි සංස්කෘත විචාරකයන් දැක්වූ නිසර්ග සිද්ධ ප්‍රතිභානයත්, ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසයත් ය…. දැන් මා ඔහුට පවසන්නේ පරිසමාප්තියට පත් නළුවා (Consummate Actor) යන්නය”

මහාචාර්ය සේන නානායක්කාර

  ‘අසූවේ අපි’ වෙනුවෙන්

Previous articleලෝක දේශපාලන පොරයට ශ්‍රී ලංකාව ගොදුරු වන ලකුණු
Next articleවතු කම්කරු වැටුප වැඩිකරන හැටි කියන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here