ලෝක දේශපාලන පොරයට ශ්‍රී ලංකාව ගොදුරු වන ලකුණු

7

ලෝකයේ බලවත්ම රටවල් තුනක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු තිදෙනෙක් ගෙවුණු සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ. ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය සහ රුසියාව නියෝජනය කරන ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙක් මෙරටට පැමිණි අතර, ඔවුන් පැමිණ සිදු කළ සාකච්ඡාවල සැබෑ තතු සුපුරුදු පරිදිම ආණ්ඩුව තවමත් හෙළි කර නැත.

ඇලිස් ජී. වෙල්ස් (Alice G. Wells) ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් ධුරය හොබවන්නීය. මෙම තනතු‍රේ වැඩ බැලීම සඳහා ඇය මුලින් ම පත් වන්නේ 2017 වසරේදීය. ඊට පෙර ඇය ජෝර්දානයේ ඇමෙරිකානු තානාපතිනිය ලෙසත්, ඇමෙරිකානු ජනාධිපතිගේ රුසියාව සහ මධ්‍යම ආසියාව පිළිබඳ විශේෂ සහකාර ලෙසත්, 2006-2009 කාලය තුළ රුසියාවේ දේශපාලන කටයුතු භාර නිලධාරිනිය ලෙසත්, නවදිල්ලිය, ඉස්ලාමාබාද් සහ රියාද් හි දේශපාලන කටයුතු පිළිබඳ නිලධාරිනිය ලෙසත් සේවය කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධියත්, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියත් ඇය ලබාගෙන තිබේ. එමෙන්ම ඇය ඇමෙරිකා එක්සත් ජනපදයේ රෑන්ඞ් කෝපරේෂන් (Rand Corporation) ආයතනයේ නිලධාරිනියක ලෙසත් කටයුතු කර තිබේ. මෙම ආයතනය ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාමය කටයුතු සඳහා පර්යේෂණ සිදු කරන ආයතනයක් වන අතර, කෙළින්ම ඇමෙරිකානු රාජ්‍ය ආධාර ලබන විශ්ලේෂණාත්මක පර්යේෂණ සහ දත්ත සපයන ආයතනයකි. ලෝකයේ ඇමෙරිකානු ආධිපත්‍යය පැතිරවීම සඳහා අවශ්‍ය කෙරෙන න්‍යායික හා බුද්ධිමය තොරතුරු සම්පාදනය මෙම ආයතනයේ ප්‍රධාන අරමුණයි. එය 1948 වසරේ දී පිහිටුවූවකි. එමෙන්ම මෙම ඇලිස් වෙල්ස්ට රුසියානු බස මෙන්ම අරාබි, උර්දු සහ හින්දි බස චතුර ලෙස හැසිරවිය හැකි ය. ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ලා විශාල කාර්යභාරයක් ඇය ඉටු කරමින් සිටින්නී ය.

චීනයේ විදේශ කටයුතු පිළිබඳ ඇමති, වැන්ග් යී (Wang Yi) චීනයේ දේශපාලනිකව වැදගත් වන ප්‍රබල චරිතයකි. 1981 වසරේ දී ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වී තිබේ. ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි අයෙකි. 2017 වසරේ පැවැති චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික සමුළුවේ දී ඔහු පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජිකයකු ලෙස තෝරා පත් කර ගෙන තිබේ. 2022 දක්වා එම තනතුරේ ඔහු කටයුතු කරනු ඇති. එමෙන්ම ඔහු රාජ්‍ය සභාවේ ක්‍රියාකාරී සාමාජිකයකු ද වේ. එමෙන්ම ජපානයේ සහ තායිවානයේ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ද හෙතෙම කටයුතු කර තිබෙන ඉහළ නිපුණතාවක් ඇති නිලධාරියෙකි. එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ පර්යේෂණ දෙපාර්තමේන්තුව භාරව ද කලක් මොහු කටයුතු කර ඇත. එහි දී චීන විදේශ ප්‍රතිපත්තිය විෂයයෙහි විශාල අධ්‍යයන ප්‍රමාණයක් ඔහු විසින් සිදු කර තිබෙන බව වාර්තා වේ. විශේෂයෙන් ‘එක් තීරයක්, එක් මාවතක් ව්‍යාපෘතිය’ (Belt & Road Initiative) තුළ විශාල වැඩ කොටසක් ඉටු කරන රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

සර්ජි ලොව්රෝ රුසියානු විදේශ ඇමතිවරයායි. ඔහු ද පසුගිය සතියේ මෙරට සංචාරයක නිරත විය. 2004 වසරේ සිට ඔහු මෙම තනතුර දරයි. ඔහු කලක් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ද  කටයුතු කළ අයකු වන අතර, දකුණු ආසියානු කටයුතු පිළිබඳව හොඳ අවබෝධයක් ඇති පුද්ගලයෙකි. ඔහු ඉතා හොඳින් සිංහල සහ මාලදිවයින් ජාතික භාෂාව කතා කළ හැකි අයෙකි. එසේ ම ඉංග්‍රීසි සහ ප්‍රංශ බසත් හොඳින් හදාරා තිබෙන බව ද වාර්තා වේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නිත්‍ය නියෝජිතයා ලෙසත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  ආරක්ෂක කවුන්සිලයේ රුසියානු නියෝජිතයා ලෙසත් කටයුතු කළ අයෙකි. මේ වන විට ලෝකය තුළ රුසියානු විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ලා විශාල කාර්යභාරයක් ඉටු කරන අයෙකි. අන් සියල්ලටම වඩා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම පුද්ගලයන් කිහිප දෙනා අතුරින් කෙනකු ද වේ. 

මෙම රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනාගේ ශ්‍රී ලංකා සංචාරය සරල එකක් විය නොහැකි බව මෙම චරිතවල ස්වභාවය සහ ඔවුන් විසින් මේ වන විට ඉටු කරමින් සිටින කාර්යභාරයන් පිළිබඳව සැලකීමේ දී මැනැවින් ප්‍රත්‍යක්ෂ වන කරුණකි. මේ වන විට ඇමෙරිකාව විසින් ආසියා සහ පැසිපික් කලාපය ඉලක්ක කර ගත් දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් සිදු කරමින් සිටිනු දැකිය හැකි ය. විශේෂයෙන් ඇමෙරිකානු ජාතික ආරක්ෂක අවශ්‍යතාවන් සහ ආර්ථික අවශ්‍යතාවන් මුදුන්පමුණුවා ගැනීම සඳහා ඔවුහු දකුණු ආසියානු කලාපය තුළ මෙන්ම පැසිපික් කලාපය තුළත් ඉතා වේගයෙන් කටයුතු කරමින් සිටිති. මෙම කලාපය තුළ බලය අත්පත් කර ගැනීම සඳහා ඇමෙරිකාව මෙන්ම චීනය ද අප්‍රකාශිත යුද්ධයක නිරත වන බව නොරහසකි. මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ තමන්ට හිතවාදී පාලන තන්ත්‍රයන් කලාපය තුළ ඇති කිරීම සඳහා කටයුතු කිරීමයි. 2015දී මේ රටේ නව පාලන තන්ත්‍රයක් ඇති කිරීම සඳහා උපායමාර්ගික මැදිහත් වීමක් ඇමෙරිකාව සිදු කළ බව නොරහසකි. ඒ සඳහා මූලික ලෙස හේතු වූයේ එතෙක් පැවැති රාජපක්ෂ පාලනය චීනයට වඩා හිතවාදී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. කෙසේ වෙතත්, අදාළ ව්‍යාපෘතිය සාර්ථක එකක් නොවූයේ, චීනය උපක්‍රමික ලෙස සිය ආරක්ෂක සහ ආර්ථික කටයුතු 2015න් පසු පත් වූ ආණ්ඩුව සමඟ ද සිදු කිරීමයි. වරාය නගර ව්‍යාපෘතිය මෙන්ම හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ද නැවත සලකා බලන බවට ප්‍රකාශ කරමින් බලයට පත් වුව ද, අදාළ ආණ්ඩුව යටතේ අවසානයේ සිදු වූයේ  කොළඹ වරාය නගරය එලෙසම ක්‍රියාත්මක වීම සහ හම්බන්තොට වරාය චීනය වෙත හිමි වීමයි. එමෙන්ම තව තවත් විශාල ලෙස ණය ලබා දෙමින් චීනය ශ්‍රී ලංකාව වෙත බොහෝ සෙයින් ළං විය. අවසානයේ දී නැවත ජනාධිපතිවරණයක් පැමිණියේ ය. සුපුරුදු පරිදිම මෙම බල පෙරළියේ දී ද ඇමෙරිකාව මැදිහත් වූ බව තතු දන්නෝ දනිති. 2015දී සිදු වූ අත්වැරැද්ද නැවත සිදු වීම වැළැක්වීම සඳහා ඇමෙරිකාව ඉතා වේගයෙන් කටයුතු කරමින් සිටින බව පෙනේ. මේ සිදු වන මැදිහත් වීම් ඊට සාක්ෂි දරයි.

චීනය විසින් සමස්ත ආසියා – පැසිපික් කලාපයත්, දකුණු ආසියාවත්,  අප්‍රිකාවත්,  යුරෝපයත් ඉලක්ක කර ‘එක් තීරයක්, එක් මාවතක්’ (Belt & Road Initiative) උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කරන විට ඇමෙරිකා එක්සත් ජනපදය ඊට ප්‍රතිපක්ෂව ආසියා සහ පැසිපික් කලාපයේ බලය තහවුරු කර ගැනීම ඉලක්ක කර ‘නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාප’ (Free and Open Indo-Pacific (FOIP) උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කරමින් තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව මෙම උපායමාර්ගික සැලසුම් දෙකටම ශ්‍රී ලංකාවේ පිහිටීම සහ එය සතුව පවතින ස්වාභාවික වරායවල් සහ නාවික මාර්ග ආදී ස්වාභාවික නිමැවුම් වැදගත් වී තිබේ. මේ නිසා අප කැමැති වුව ද, නැති වුව ද ශ්‍රී ලංකාව මෙම අන්තර්ජාතික බල අරගලයේ ගොදුරක් බවට පත්ව තිබේ. 19 වැනි ශතවර්ෂයේ දී ලෝකය යුරෝපයේ ආර්ථික සහ දේශපාලන බලයට ගොදුරු වී තිබිණ. නැති නම් ලෝකය යුරෝපීයකරණය වී තිබිණ. ඒ සඳහා ප්‍රධාන ලෙස හේතු වී තිබුණේ යුරෝපීයයන් සතුව තිබූ නාවික බලය කැටි කොටගත් මිලිටරිමය සහ ආර්ථික ශක්තියයි. 20 වන සියවසේ දී එම තත්ත්වය වෙනස් වී ලෝකය ඇමෙරිකානුකරණයට ලක් විය. ඊට මූලික ලෙස හේතු වූයේ ගුවන් ශක්තිය සහ තාක්ෂණය පදනම් කර ගත් ආර්ථික ශක්තියයි. 21 වන සියවසේ එය අප හිතනවාට වඩා වැඩි වේගයකින් ආසියානුකරණය වෙමින් තිබේ. මේ සඳහා මූලික ලෙස ඉන්ධන සපයන්නේ හතරවැනි කාර්මික විප්ලවය හා බැඳුණු තාක්ෂණික වර්ධනයන් හා චීනය අත්පත් කර ගනිමින් සිටින ආර්ථික ශක්තියයි. මේ වන විටත් සිදු කර තිබෙන පුරෝකථනයට අනුව 2040 වන විට ලෝකයේ සමස්ත දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 50කට දායක වන්නේ ආසියාවයි. ලෝකයේ සමස්ත ජනගහනයෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයකට නිවස්නය වී තිබෙන්නේ ආසියාවයි. එමෙන්ම ගෝලීය පරිභෝජනයෙන් සියයට 40ක් ආසියාව මුල් කරගෙන සිදු වීමට නියමිතයි. අනෙක් පසින් ලෝකයේ වෙනත් කලාපවලට වඩා ඉතා වේගයෙන් ආසියාව වෙතින් අන්ත දිළිඳුකම ඉවත් වෙමින් පහළ සහ මධ්‍යම මෙන්ම ඉහළ පංතිය වර්ධනය වෙමින් තිබේ. ලොව විශාල ම ජනගහනය වෙසෙන චීනය මහි දී විශේෂ ය. මේ තත්ත්වය ආසියාව මුල් කර ගත් පරිභෝජන සහ නිෂ්පාදන රටාවක් වෙත ලෝකය විතැන් කෙරෙමින් තිබේ.

නව මැකින්සි ග්ලෝබල් (New McKinsey Global Institute) පර්යේෂණ ආයතනයට අනුව ලෝකයේ ආර්ථික මෙහෙයුමේ මධ්‍ය ලක්ෂ්‍යය ආසියාව වෙත විතැන් වෙමින් තිබේ. මේ වන විට ගෝලීය වෙළෙඳාමේ ආසියානු පංගුව ඉතා වේගයෙන් පුළුල් වෙමින් තිබේ. ගෝලීය

ප්‍රාග්ධනීකරණය ආසියාව වෙත ස්ථානගතව තිබේ. දැනුම, තාක්ෂණය, ගොඩබිම් සහ ගුවන් ප්‍රවාහණය, සම්පත් මෙන්ම සංස්කෘතිය පවා ආසියාව මුල් කරගෙන නව ගැම්මක් ගනිමින් තිබේ. මෙවැනි පසුබිමක දැනට ලෝකයේ බලය හොබවන ඇමෙරිකාව මෙම වර්ධනයන් දෙස නිකම් බලා සිටිනු ඇතැයි සිතිය හැකි නොවේ. එසේම නැඟී එන ලෝක ආර්ථික බලවතා ලෙස චීනයත්, තවත් එවැනිම බලවතකු වන ඉන්දියාවත් ආසියාව තුළ සිය බලය තහවුරු කර ගනිමින් සිටිනු දැකිය හැකි ය. මේ භූ දේශපාලනික වර්ධනය පිළිබඳව බොහෝ කරුණු කතා කිරීමට පසුබිමෙන් තිබේ. මෙම වර්ධනයන් තේරුම් නොගෙන ඇමෙරිකානු, චීන සහ රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ පැමිණීම විග්‍රහ කිරීම අඳුරේ අතපත ගෑමක්ම පමණි. කෙසේ වෙතත්, මේ වන විටත් ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් ගෝලීය භූ දේශපාලන අවුලක පැටලෙන බව නම් අපට පැවසිය හැකිය.

අනුහස් බණ්ඩාර

Previous articleමිනිස් ජීවිත, බීමට වතුර ! අධිකරණ තීන්දු !!
Next articleසින්තටික් මතකයෙහි මනෝ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here