මිනිස් ජීවිත, බීමට වතුර ! අධිකරණ තීන්දු !!

11

‘හඳුනා නොගත් රෝගයකින් මිය ගියා’. හ්ම්… හුදී ජනයාට එහෙම ය. උත්තමයන් පිටරට හෝටල් කාමර ජනේලවලින් පැනීමට ගොස් කකුල් කඩා ගැනීමත් වාසනාවක් ය. ජනාධිපති අරමුදලෙන් අත දිගහැර රුපියල් මිලියන ගණන් ලැබෙන්නේ ය. හුදී ජනයාගේ ‘හඳුනා නොගත් රෝගයට’ ප්‍රතිකාර ගන්න ජනාධිපති අරමුදලට ලියා දිග පෝලිමේ ඉඳ රුපියල් කීයක් හෝ ලැබෙන්නේ, වළ පයයි, ගොඩ පයයි සිටින අන්තිම මොහොතේ දී ය.

මේ දිහා බලා ඉන්න ම බැරි තැන හුදී ජනයාට මහපාරට බැස උද්ඝෝෂණය කරන්නට සිදු වන්නේ ය.  ඒ උද්ඝෝෂණ උත්තමයන් හෝටල් කාමරවල ජනේලවලින් පනින්නට ගොස් කකුල් කඩා ගන්නා විට ගෙවන අරමුදලට කෙළවන්නට නොවේ ය. පිරිසිදු පානීය වතුර ටිකක් ඉල්ලා ය. බොන්න වතුර ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ දනිපනි ගා පාලක උත්තමයන් අමාරුවේ දාන විදියට නොවේ ය. “මේ දැන් දියව් !” කියා නොවේ ය. අවුරුදු දහයක්, පහළොවක් ලියුම් ලියා ඉල්ලා, බල උත්තමයන්ට වැඳවැටී, ඇවිටිලි කර ඒත් බැරි ම තැන අන්තිමේ දී ය.

එහෙම උද්ඝෝෂණ කිරීමේ දී පාලක උත්තමයන්ගේ පොලිසිය දිගේලි කරන්නේ ය. ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර, රබර් උණ්ඩ වෙනුවට ජීව උණ්ඩ හුදී ජනයාට හඹා එන්නේ ය. හුදී ජනයාට වතුර වෙනුවට ලේ දහරා ගලන්නේ ය. ජීවිත අහිමි වන්නේ ය. රතුපස්වල දී මෙහෙ ම වෙන කොට තණමල්විල දී වෙනත් දෙයක් සිදු වන්නේ ය. කුදලාගෙන ගොස් කූඩුවේ දමා නඩු අසා උල තියන්නට යන්නේ ය.

‘අයුතු ජන රාශිය’ වන වරද ඉදිරිපත් කරන්නේ, පොලිසියෙන් ය. 2016 ජූලි මස 16 වැනිදා තණමල්විල මහපාරට පැමිණි ජනයා රොද බැඳුණේ, පිරිසිදු පානීය ජලය ටිකක් ඉල්ලාගෙන ය. ඒ ‘හඳුනා නොගත් රෝගයකින් මිය ගොස් ඇත’ මරණ සහතිකයෙන් තමන්ගේ ස්වාමිපුරුෂයා, බිරිඳ, දරුවන්, සහෝදර සහෝදරියන් ආදීන්ගෙන් කවුරුන් හෝ මිය ගොස් දේහය ගෙදරට ගෙන එන දෙස බලා හිඳින්නට බැරි ම තැන ය.

පොලිසිය ලුහුබැඳ එන්නේ ය. උද්ඝෝෂණයට නායකත්වය දුන් ස්වේච්ඡා ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගන්නේ ය. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම්, ටී.බී. සරත් ඒ අතර එක් අයෙකි. තණමල්විල වේලිඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ කැඳවුම්කරු, එස්.පී. සිරිසේන ප්‍රධාන වගඋත්තරකරු කරන්නේ ය. ‘අයුතු ජන රාශිය’ යන චෝදනා ඉදිරිපත් කර අංක බී.ආර්. 1014/16 යටතේ වැල්ලවාය දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන්නේ ය. නඩුව විභාගයට ගෙන ඉදිරියට ගෙන යන විට බලධාරී උත්තමයන්ගේ පොලිසිය ඇනගත්තේ , වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අනුර දේවප්‍රිය මහත්මාගේ නීති තර්ක හමුවේ ය.

මේ නිසා වගඋත්තරකරුවන්ට විරුද්ධ චෝදනා සංශෝධනය කෙරෙන්නේ ‘මාර්ගයේ ගමන් ගන්නා වාහන නවතා අයුතු අවහිර සිදු කිරීම’ යනුවෙන් ය. අලුත් නඩු අංකයක් ලැබෙන්නේ 14043 යනුවෙන් ය. නඩුව ඉදිරියට ඇදී යන්නේ, මේ බහුජන ක්‍රියාකාරිකයන් වරදකරුවන් කිරීමට ය. මතක තබා ගන්න ! ‘හඳුනා නොගත් රෝගයකින් සිදු වූ මරණයක්’ යන වගන්තිය තමන්ගේ පවුලේ එකාගේ මරණ සහතිකයට ඇතුළත් වීම වළක්වා ගැනීමට පිරිසිදු පානීය ජලය ඉල්ලීමේ මහජන අරගලයක් ය. එහෙම නැතිව පවුලේ බූදලයක් ගැන අරගලයක් නොවේ ය.

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සූරියආර, මහවැව, උස්ගල, නිකවැව සහ බෝදාගම යන ග්‍රාමසේවා වසම්වල පවුල් 4,500ක් පමණ සංඛ්‍යාවක මිනිසුන් 18,000ක් පමණ දෙනා වෙනුවෙන් බොන්නට පිරිසිදු වතුර ටිකක් ඉල්ලා කළ අරගලයන් ය. 2002 වසරේ පමණ සිට ඉල්ලීම් කර බීරි අලි පාලකයන්ට ලියුම් ලියා, දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදා, පෝස්ටර් ගසා, මාධ්‍ය හමු පවත්වා බැරි ම තැන මහපාරට බැස උද්ඝෝෂණ, පෙළපාළි යාම ගැන උදහස් වී නඟන චෝදනා ය මේ.

ඔවුන් ඉල්ලන්නේ, ඉරෙන්, හඳෙන් ගෙනැවිත් දෙන දෙයක් නොවේ. ඉටු කිරීමට නොහැකි දෙයක් ද නොවේ. ජනාධිපති අරමුදල හින්දන රුපියල් මිලියන ගණනක් ද නොවේ. ඒ අරමුදල් උත්තමයන් හෝටල් කාමර ජනේලවලින් පැන කකුල් කඩා ගත් විට ගෙවීම වෙනුවෙන් තබා ගැනීම ගැන ද කිසි ම විරෝධයක් නැත. එහෙත්, තමන්ගේ පවුලේ එකා වකුගඩු රෝගයෙන් අනේක දුක් විඳ මැරෙන හැටි බලා සිටින්නට බැරි වීම නිසා ඉල්ලන ඉල්ලීමක් ය. ජීවිතයේ අනේකවිධ දුක්ගැහැට විඳ උපයා සපයා ගත් සියල්ල උකස් කර හෝ විකුණා හෝ ලබා ගන්නා තුට්ටු දෙකෙන් රෝගියා බේරා ගන්නට බැරි බව අත්දැක, ඉල්ලන්නේ නිරෝගීව සිටීමට පිරිසිදු බොන වතුර ටිකක් ය.

මේ වතුර ඉරෙන්, හඳෙන් ගෙනැවිත් දිය යුතු ඒවා නොවේ ය. උඩවලව ජලාශයේ අතිරික්ත ජලය එක්රැස් වී ගබඩා කෙරෙන කිරිඉබ්බන්ආර අතුරු වැවේ වතුර ගෙන පිරිසිදු කර ලබා දෙන ලෙස කරන ඉල්ලීමක් ය. පවුල් 4,500ක 18,000ක් පමණ වන මිනිසුන්ගේ ජීවිත නිරෝගී, සුරක්‍ෂිත ජීවිත බවට පත් කර ගැනීම වෙනුවෙන් වෙන කරන්න ම දෙයක් නැති තැන කළ මහා උද්ඝෝෂණයක් ය.

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සූරියආර, මහවැව, නිකවැව ග්‍රාම නිලධාරී කොට්ඨාස දැන් බරපතළ තර්ජනයකට මුහුණ දී සිටින්නේ අමතර කාරණයක් වුවත්, ප්‍රබල තර්ජනයක් ලෙස ය. කතරගම දේවාලයට අයත් ඉඩම් සහ රජයේ ඉඩම් අක්කර සිය ගණනින් කොම්පැනිකාරයන්ට හෝ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට දිගුකාලීනව බදු දීමයි. මේ නිසා එක් පැත්තකින් පාරම්පරික වශයෙන් දිගු කලක් තහවුරුව තිබෙන සමතුලිත තත්ත්වය බිඳවැටී ඇත. එහි විනාශකාරී අන්තයට වේගයෙන් තව දුරටත් ගමන් කරමින් ද ඇත. ඒ මතුපිට තලයේ දී ය.

ඒ හා සමාන ම විනාශයක් භූමිය අභ්‍යන්තරයටත් සිදු කරමින් පවතී. ඒ වගා ළිං කැණීම නිසා සහ විශාල ගැඹුරු නළ ළිං කැණීම නිසා ය. මේ වියළි කර්කශ භූමිය ඇතුළේ තිබෙන වතුර ටික ද මුදල් අරමුණු කරගෙන කරන මහා පරිමාණ වගා කටයුතු වෙනුවෙන් කොල්ලකමින් තිබීමයි. මේ නිසා අවට ගම්මානවල භූගත ජල මට්ටම වේගයෙන් පහළ යමින් පවතී. මෙම තත්ත්වය තව තවත් මිනිසුන්ගේ සෞඛ්‍යයට එල්ල වන තර්ජනය ඉහළ යාමට හේතු වී තිබේ.

‘වකුගඩු රෝගය’ මේ සියල්ලේ ආසන්න ව්‍යසනකාරී තර්ජනයයි. මිනිස් ජීවිත ගැන අබ මල් රොනක තරම් හැඟීමක් නැති පාලකයන් රටේ කොම්පැනිකාර ජාවාරමුන්ට ඉඩ දී ඇත්තේ, රතුපස්වල පමණක් නොවේ. ඈත එපිට තණමල්විල පවා බිලි දී හමාර ය. රතුපස්වල ජනතාවට තමන්ගේ පානීය ජලයේ පිරිසිදුකම රැකගන්නට මහපාරේ අරගල කරන විට තණමල්විල ජනතාව අතේ දුරින් තිබෙන ජලය ලබාගෙන ජීවිත රැකගැනීම වෙනුවෙන් අරගල කිරීමට කටයුතු සලසා ඇත. රතුපස්වල ජනතාවට වියරු උන්මත්තක කාකි නිල ඇඳුම්කාරයන් ගිනියම් උණ්ඩ එල්ල කරන විට තණමල්විල ජනතාවට පොලිස් කූඩුව, අධිකරණය හරහා ජීවිත පරදුවට තැබීමට සිදු කර ඇත.

තණමල්විල කේන්ද්‍ර කරගෙන වකුගඩු නරක් වීමේ රෝගය වේගයෙන් පැතිරී යාමට පටන්ගෙන තිබේ. හේතුව පානීය ජලයේ ප්‍රශ්නයක් බව මේ වන විට පොදුවේ තහවුරු වී ඇත. පාලකයන් ඊට උත්තර ලබා දෙන්නේ නැත. ජාවාරම්කරුවන් එතැන හිඩැස පිරවීමට වතුර බෝතල් විකිණීමට පටන්ගෙන ය. සෞඛ්‍ය බලධාරී ප්‍රදේශයේ ජනතාවට දැඩි අනතුරු ඇඟවීම් කර තිබෙන්නේ, ළිං ජලය හෝ නළ ජලය භාවිත නොකරන ලෙසයි. අඩු ම තරමින්, ජලය අතසේදීමට ගැනීමටවත් නුසුදුසු තත්ත්වයේ පවතින බව තහවුරු වී තිබේ. එසේ නම්, එවැනි ජලය පවස නිවා ගැනීමට යොදා ගතහොත්, සිදු වන විනාශය අමුතුවෙන් කිව යුතු නොවේ.

එවැනි තත්ත්වයක සිටිය දී ඉල්ලීම් කර පත්‍රිකා බෙදා, පෝස්ටර් අලවා, මාධ්‍ය හමු පවත්වා, මාර්ගය දෙපසට වී සාමකාමී උද්ඝෝෂණ පවත්වා කිසිදු පලක් නොවූ තැන රතුපස්වල ජනතාවට වෙඩි තබා මරා දමන ලද අයුරු දැක දැකත් මහපාරට බැස උද්ඝෝෂණය කරන්නේ, වෙන කළ හැකි දෙයක් නැති ම නිසා ය. මතක තබා ගත යුතු වන්නේ, මේ උද්ඝෝෂණය බල්ලන් නෑවීමට වතුර ඉල්ලා නොවන බව ය. මහත් ව්‍යසනයක් වී තිබෙන වකුගඩු නරක් වීමේ රෝගයෙන් මිදීමට පිරිසිදු බොන්න වතුර ටිකක් ඉල්ලා කරන ලද උද්ඝෝෂණයක් ය.

ප්‍රතිඵලය වන්නේ ‘මාර්ගයේ ගමන් ගන්නා වාහන නවතා අයුතු ලෙස අවහිර කිරීම’ යන චෝදනාවට දඟගෙයි දැමීමට නඩු ඇසීමයි.

වසර කීපයක් පුරා වැල්ලවාය මහේස්ත්‍රාත් දිසා අධිකරණයේ මේ නඩුව ඇදී ගියේ ය. ප්‍රධාන වගඋත්තරකරුවන් ලෙස එස්. පී. සිරිසේන ද, අනතුරුව ටී. බී. සරත් ද විත්ති කූඩුවේ ය. පවුල් 4,500කට පානීය ජලය ඉල්ලීම වරදක් බව කිසි ම තැනක සඳහන් නොකිරීමට සර්ව බලධාරීන් ඉතා ම හොඳින් වගබලාගෙන තිබේ. පාලකයාගේ කැමැත්ත අනුව පවතින නීතිය එහෙම ය. “විත්තිකරුවන්ට අවවාද කොට නඩුව සමථයකට පත් කිරීම”. නීතියේ යුක්තිය ඉටු වන්නේ එහෙම ය. 2020 ජනවාරි 09 වැනි දින ගරු අධිකරණයේ ගරු ගාම්භීර පොත් පත්වල සටහන් වන්නේ ඒ ලෙස ය. මිනිස් ජීවිත ! බීමට වතුර ! මහපාරේ අරගල ! අධිකරණයේ තීන්දු !

“මේක ශ්‍රී ලංකාව ය.”

ලංකා මාරසිංහ

Previous articleජයලත් මනෝරත්න මනුසඳ සැරිය…
Next articleලෝක දේශපාලන පොරයට ශ්‍රී ලංකාව ගොදුරු වන ලකුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here