මේ දේවල් අනාගත පරපුරට දෙන්නයි එකම බලාපොරොත්තුව

13

සංගීතවේදී රත්නසිරි තේනුවර

සියල්ල දැන් අතීතයට අයත් දේ ය. වර්තමානයේ ඔහුගේ එකම එක පැතුමක් සමඟ ජීවිතය ගෙවී යමින් තිබෙන්නේය. “මට ඕනෑ කරන්නේ, මේ නිර්මාණ මාත් එක්ක මැරිලා යන්න නොදී අලුත් පරපුරට දෙන්න. ඒ ගොල්ලන් මේවායෙන් යම් කිසි දෙයක් අරගෙන යහපත් නිර්මාණ කරනවා නම්, මට තියෙන සතුට ඒක.”

ඔහුට ඔබත් සමඟ බෙදා ගන්නට විශේෂ දෙයක් ඇත. පත්තරයක පිටු පුරවන අකුරුවලින් නම් නොවේ. හරියට ම කියනවා නම්, ගී නිර්මාණවලින් ය. එහෙත්, ඇති – නැති පන්ති පරතරයක් සහිතව මිනිස් සමාජය බෙදා තිබෙන, ඒ අනුව වරප්‍රසාදලත් සහ වරප්‍රසාද අහිමි වශයෙන් මිනිසුන් බෙදා තිබෙන පසුබිමක නිර්මාණ කැලේ පිපී කැලේ ම පර වී යන න්‍යායට යටත් වී අවසන් ය.

මේ කතාවට නිමිත්ත සපයන ඔහු නමින් රත්නසිරි තේනුවරයි. ඔහු දැන් මා ඉදිරියේ වාදනය කර පෙන්වන ගීතය තුළ ගැබ් වී තිබෙන්නේ, දහසක් දේ ය. ඒ, ගීතයේ පදවැල සම්බන්ධ අදහස්වලින් නොකියැවෙන දහසක් දේ ය. මේ තරම් දක්‍ෂකම් ! රටට අහිමි වී යන්නේ සැබෑ හැකියාවන් සහිත නිර්මාණකරුවන් සැලැකිය යුතු පිරිසක් බව පැහැදිලි ය. මා ඔහු ඉදිරිපිට සිටින මේ මොහොතේ වාදනය කර පෙන්වන ගීතය පද රචනය, තනු රචනය සහ ගායනය රත්නසිරි තේනුවර නම්, මේ නිර්මාණකරුවාගේ ම ය.

එක් වර ම මගේ මතකයට නැඟුණේ ප්‍රවීණ ගී නිර්මාණකරුවෙක් ය. ඒ සෝමතිලක ජයමහ ය. වාද්‍ය ශිල්පියකු ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලියේ කටයුතු කළ සමයේ සරල ගී පරීක්‍ෂණයෙන් සමත් වී ගායනයේ දොරටුව අභිමුව සිටි සමයයි. ප්‍රවීණ ගී පද රචකයක් කිහිප දෙනකුගෙන් ම පද රචනා ඉල්ලා ඇතත්, කිසිවකු ඊට සාධනීය ලෙස ප්‍රතිචාර දක්වා නැත. ඒ අඩුව පිරවීමට ඔහු ම ගී පද රචනා කරගෙන ඇත. පද රචනය, සංගීතය සහ ගායනය යන ත්‍රිමූර්තිය ඒකාත්මික වූ නිර්මාණකරුවකු සහෘදයන්ට මුණගැසුණේ ඒ අනුව ය.

එදා සෝමතිලක ජයමහට ලැබුණු අවස්ථාව මේ දක්වා රත්නසිරි තේනුවර නම් මේ නිර්මාණකරුවාට ලැබී නැත. එනිසා ම කැලයේ පර වී යන සුගන්ධවත් මලකට සමාන වී පවතී.

“මගේ උපන් ගම අම්බලන්ගොඩ, කුලීගොඩ කියන ගම. ගමේ ඉස්කෝලෙට පහ ශ්‍රේණිය දක්වා ගියා. එතැනින් එළියට පිටත් කර හොඳින් උගන්වන්න අම්මලාට ලොකු වුවමනාවක් තිබුණා. තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක් විදියට වැඩ කළ මගේ අයියා මාව කොළඹට ගෙන්වා ගත්තා. ආනන්දයට දාන්න මහන්සි ගත්තා. බැරි වූ තැන මරදානේ, ශ්‍රී සංඝරාජ විද්‍යාලයට දැම්මා.” තම අතීතය නිරාවරණය කරමින්, ඔහු හඬ අවදි කළේ ය.

ගම්වල තිබුණු කුලමල භේද ද දුප්පත්කමට අමතරව මිනිසුන්ට අනුකම්පා විරහිතව බැට දෙමින් තිබේ. එයින් ගැල වී තමන්ගේ අනාගතය වැඩදායක ලෙස ගොඩනඟා ගැනීමට මිනිසුන් කෙතරම් වැර වීරිය දැරිය යුතුව තිබෙන්නේ ද?

“කොළඹ ආවාට පස්සේ මට අහන්න රේඩියෝ එකක්වත් අයියලාගේ ගෙදර තිබුණේ නෑ. මඟ යන එන කොට කඬේකින් සින්දුවක් ඇහුණා ම නැවතිලා අහගෙන ඉන්නවා. මුමුණ මුමුණා එතැනින් ඉස්සරහට යනවා. කවි ලියන්න විශේෂ හැකියාවක් මට තිබුණා. අපේ ඉස්කෝලේ ගුරුවරුන් කීප දෙනෙක් ම ඒ බව දැනගෙන හිටියා. මට අපේ සාහිත්‍ය සමිතියේ දී ඒ හැකියාවන් එළිදක්වන්න ඉඩ ලැබුණා. සින්දු කියන්නත් අවස්ථාව ලැබුණා.”

කුඩා කල පාසල් දිවියේ දී ලැබෙන ගුරුවරුන්ගේ මඟපෙන්වීම්, අත්වැල් ජීවිතයට කෙතරම් බලපෑම් කරන්නේ ද? එහි අනෙක් පැත්තත් ඒ හා සමාන ම ය. ගුරුවරුන්ගෙන් කැපිලි, කෙටිලි ලැබුණහොත්, මුළු ජීවිතය ම බිඳවැටී, නන්නත්තාර වී යන්නේ ය. එහෙ ම ගත්තා ම රත්නසිරි තේනුවරට ලැබී ඇත්තේ, ධනාත්මක ගුරු ඇසුරක් ය; උණුසුමක් ය. එහි එක් ප්‍රතිඵලයක් ය මේ මොහොතේ මා සවන් දෙන මේ ගීත කීපය.

“පා ඔසවන්න ද තව දුර යන්න ද

හිමගිර තරණය නිමා කරන්න ද

දෙපා වාරු නෑ උරේ බරින්…

“මිසදිටු කතරේ මිරිඟුව දෙනෙතේ

රස අඳුනකි සුර සැප මැවෙනා

වස විෂ අඳුනා ගන්නට නෑ ඉඩ

පිපාසයෙන් සිත වැටේ හඬා…”

පත්තර පිටු අතර මේ පද වැල් අකුරු ලියනවා මිස සංගීතය, තනුව, ගායනය ඔබට සමීප කරන්නේ කෙසේ ද? සංගීතය විධිමත්ව හදාරා පුරුදු පුහුණු කර ඇත. “ඉස්සර කේමදාස මාස්ටර්ගේ ‘සංගීත මංජරිය’ තිබුණේ, මරදානේ. මම මංජරියේ දොර ළඟට වෙලා උගන්වන දේවල් අහගෙන ඉන්නවා. දුප්පත්කම නිසා ම ඒක ඇතුළට ගිහින් ඉගෙන ගන්න අවස්ථාව තිබුණෙ නෑ. ඇත්ත ම කියනවා නම්, දුප්පත්කමෙන් බැට කාලා ම පසුගාමී මානසිකත්වයක් ඇති වී තිබුණා. මාස්ටර් ‘කැලෑ මල්’ කරන හැටි අහගෙන හිටියා. ඒ නිසා ම දෝ ඉස්කෝලේ දී සංගීත අංශයෙන් තෑගි පවා ලැබී තිබුණා…” මේ දිගහැරෙන්නේ නිකම් ම ජීවිත කතාවක් නොවේ. තවත් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකට මේ දිවයිනේ පොදු වූ ජීවිත කතාවක් බව පැහැදිලි ය.

“මගේ ඉස්කෝලේ සංගීත ගුරුතුමා මාව ඒ අංශයෙන් ඉදිරියට යවන්න මට සංගීතය ඉගැන්නුවේ නෑ. මම කල්පනා කළා, එහෙ ම කළේ ඇයි කියලා. පස්සේ දී තමයි, මට කාරණය පැහැදිලි වුණේ. දුප්පත් අපි වාගේ අයට කලාව ඉගෙනගෙන විශේෂයෙන් ම සංගීතය ඉගෙනගෙන ඉස්සරහට යන්න බෑ…” ඔහුගේ සංගීතය පිළිබඳ සිහිනවලට ගුරුතුමා බාධා කළා නොවේ. පවතින තත්ත්වය නිසා නොසලකා හැරියා පමණි ය. ඒ සමඟ ම ඔහුගේ පාසල් ගමන ද නිමා කිරීමට කාලය පැමිණ තිබුණේ, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව රැකියාවක් සොයා ගැනීමට බල කෙරුණු පසුබිම යටතේ ය.

“පන්සලෙන් පල්ලියෙන් කෝවිලෙන් පාසලෙන්

තනයි නම් සිත්සතන් පොවා නැණ ගුණ උතුම්

මිනිස් ලොව ඇයි කුරිරුකම්

වනේ මෘගයෝ ලෙසින්…”

ඔහුගෙන් නිර්මාණ කෙරෙන්නේ අද්‍යතන සමාජ, ආර්ථික සහ දේශපාලනික වටාපිටාව විෂයමූලික කරගෙන ය. මෙවැනි නිර්මාණ වෙළෙඳ භාණ්ඩ නොවේ. එහෙයින් ම ඒ නිර්මාණවලට ඉඩක් අහිමි වීම විමතියට කරුණක් ද නොවේ මැයි. අහිමි වී ගිය ඒ සිහිනයේ මතක අතර සැරිසරන ඔහු යළිත් හඬ අවදි කළේ, “ඒ කාලේ ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ ‘මැලිබන් ගුවන් තොටිල්ල’ කියලා ආධුනික ගායන තරගයක් තිබුණා. එක අවුරුද්දක මැලිබන් ගුවන් තොටිල්ලේ තිබුණු ‘ප්‍රෝග්‍රෑම්’ එකක පුන්සිරි සොයිසාත්, පුණ්‍යා කත්‍රිආරච්චිත්, මමත් සින්දු කිව්වා. පළමුවැනියා පුණ්‍යා කත්‍රිආරච්චි, දෙවැනියා පුන්සිරි සොයිසා, තුන්වැනියා මම. මේ ප්‍රෝග්‍රෑම් එකේ නිවේදන කටයුතු කළේ කරුණාරත්න අබේසේකර. පුන්සිරිගේ තාත්තා කරු අයියාට කියලා, එයාව ‘ළමා මණ්ඩපයට’ දා ගත්තා. මමත් කීවා නම්, කරු අයියා ඒ අවස්ථාව ලබා දෙයි. නමුත්, මට ගිහින් ඉල්ලන්න හිතුණේ නෑ. පස්සේ දී ‘පිබිදෙන ගායක පරපුර’ ආවා. රෝහණ බෝගොඩ, එඞ්වඞ් ජයකොඩි වාගේ අය සංගීතය ඉගෙනගෙන හිටියත්, ජනප්‍රිය වී ඉදිරියට ආවේ මේ වැඩසටහන්වලින්.” තම සමකාලීනයන් ප්‍රවීණයන් වූ මඟ පිළිබඳව ඔහු අතීතාවර්ජනයක යෙදුණේ එසේ ය.

ආර්ථික ගැටලු ජීවන මඟ අහුරාගෙන බර අවි ප්‍රහාර එල්ල කරන කල සුන්දර සිහින පසුපස කෙසේ නම් දුවන්න ද?

“අන්තිම අමාරුවෙන් ජීවත් වුණු අයියටයි, අක්කටයි දෙන්නට තව දුරටත් බරක් වෙන්න මට බෑ. ඒ නිසා සාමාන්‍ය පෙළ සමත් වූ වැඩ හතයි සම්මාන පහට මම වී අලෙවි මණ්ඩලයේ රස්සාවක් හොයා ගත්තා. සංගීත ක්‍ෂේත්‍රයට පිවිසෙන්න මට අත්වැලක් දෙන්න ඉදිරිපත් වූ පළමු පුද්ගලයා හමු වුණේ වී අලෙවි මණ්ඩලයේ දී. අපේ ගණකාධිකාරී කෙනෙක් හිටියා වාස් ගුණවර්ධන කියලා. එයා ඉදිරිපත් වෙලා මාව ගුවන් විදුලියේ ලලිත් එස්. මෛත්‍රීපාල මහත්මයා ළඟට යැව්වා. අන්න එතැන දී ලලිත් එස්. මෛත්‍රීපාල මහත්මයා මට මඟපෙන්වීමක් කළා…” අත්හැර දමා තිබුණු බලාපොරොත්තු නැවත දැල්වුණේ කවරාකාරයෙන් දැයි මේ මොහොතේ දී පවා දිදුලන ඔහුගේ මුහුණෙන් කියැවේ.

“මල්ලි ඔය ප්‍රෝග්‍රෑම් එකෙන් දිනපු හැමෝට ම ස්පෙෂල් සරල ගී වැඩසටහනක් දුන්නා. ඔයාත් ඒක ඉල්ලලා, මට ලියුමක් ගෙනැත් දෙන්න කියලා ලලිත් එස්. මෛත්‍රීපාල මහත්මයා මට කිව්වා. මම ලියුමක් දුන්නා. එයා මට උත්තර එවලා තිබුණා, ‘ඉල්ලීම ඉහළට දැම්මා’ කියලා. ඊට පස්සේ කිසි ම දෙයක් වුණේ නැහැ. කීප වතාවක් ම ගිහින් ඔහුව හමු වුණා. එයා මට කිව්වේ, ‘අනේ මල්ලි… මට කරන්න පුළුවන් දේ මම කළා” කියලා. ඔහුගේ ඒ බලාපොරොත්තුව ද අළු දූවිලි වී ගොස් තිබෙන්නේ එසේ ය.

ඔහුගේ භාවිතය රැඳී තිබුණේ, පවතින මේ ජරාජීර්ණ ක්‍රමයේ වැටී තවත් ඉහඳ පණුවකු වීමට නොවේ. මේ ක්‍රමය වෙනස් කර වඩාත් මානවවාදී සුසාදිත රටක්, ලෝකයක් පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන ක්‍රියා කිරීමට ය. එනම්, කොටින් ම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වීමටයි. එහෙයින්, එක් එක් පුද්ගලයාට පඬුරු පාක්කුඩම් පිරිනමමින්, දණින් වැටී යම් අවස්ථාවක් ලබා ගැනීමේ පෙළැඹුමක් ඔහුට නොවී ය. ඒ නිසා ම ගායකයකු වීමේ සිහිනය සදාකාලයට ම ඉවතට ඇදී ගියේ ය. එසේ වන විට ‘විමුක්ති ගී’ කණ්ඩායමේ ඉඩක් ඔහු වෙනුවෙන් වෙන් විය. භීෂණය යළි යළි නැඟෙමින් තිබූ 1990 මුල දී ඔහු විදේශගත වූයේ ඒ ධවල භීෂණයෙන් බේරීමට ය. කුවේට් දේශයට වී අන්ත දුෂ්කර  රැකියාවක් කරන අතර, එරට ශ්‍රී ලාංකිකයන් එක් කරගෙන කලා, සංස්කෘතික කටයුතු රැසක් ඇරැඹී ය.

සියල්ල දැන් අතීතයට අයත් දේ ය. වර්තමානයේ ඔහුගේ එක ම එක පැතුමක් සමඟ ජීවිතය ගෙවී යමින් තිබෙන්නේ ය. “මට ඕනෑ කරන්නේ, මේ නිර්මාණ මාත් එක්ක මැරිලා යන්න නොදී අලුත් පරපුරට දෙන්න. ඒ ගොල්ලන් මේවායෙන් යම් කිසි දෙයක් අරගෙන යහපත් නිර්මාණ කරනවා නම්, මට තියෙන සතුට ඒක.”

“සිහල දෙමළ මුස්ලිම් ලක් දරුවෝ

කිතුනු හින්දු බොදු ඉස්ලාම් සිරිලක් දරුවෝ

එක ම ධජය සෙවණේ

අපි එකට හිඳිමු, සමඟියෙන් වෙසෙමු

ශ්‍රී ලංකා මවගේ සෙවණේ…”

ඔහුගේ හද රැඳි එක ම පැතුම එය ම ය. ආගම් භේද, ජාතිකත්ව භේදවලින් තොරව එක ධජයක් යටතේ එකට හිඳීමට ය. එක ම මවගේ දරුවන් වී ජීවත් වීමට ය. ඒ වෙනුවෙන් දහසක් දේ කිරීමට ඉතිරිව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. රිය අනතුරකින් ආබාධිතව, රෝද පුටුවක පාළුවෙන් සිටින ඔහුගේ ප්‍රාර්ථනයට කලා නිර්මාණවලින් ජීවය දෙන්න සිටින තරුණ පරපුරට ඔහුගේ අත්දැකීම් සහ නිර්මාණ විවෘතව පවතී. වානේ පන්නරය ලබන්නේ මෙවැනි දිරිය මිනිසුන් දෙන මිටි පහරවල් ද එක් වීමෙන් බව පසක් කර ගැනීම අවශ්‍ය ය.

■ සංවාද සටහන

  ප්‍රියදර්ශන දයාරත්න

Previous articleදිය ඇදි කළය බිඳිනවා ද?
Next articleමුස්ලිම් සමාජ ප්‍රතිසංස්කරණයකට ආණ්ඩුව අධික උනන්දුවක?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here