දිය ඇදි කළය බිඳිනවා ද?

33

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2020 වසරේ සහභාගී වූ පළමු තරගාවලිය නිමාවට පත් වූයේ අමිහිරි පරාජයක් ලබා දෙමින් ය. විස්සයි 20 තරග තුනකට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගිය ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට සිදු වූයේ 2-0ක් ලෙස තරගාවලියෙන් පරාජයට පත්වීමටයි. පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල නොවුණේ නම්, බොහෝ විට පරාජය 3-0ක් විය හැකිව තිබූ බව පැහැදිලි ය.

විස්සයි 20 ලෝක කුසලානයට තවත් ඉතිරිව ඇත්තේ මාස කිහිපයක් පමණි. ඊට පෙර ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරගවලට ද ක්‍රීඩා කළ යුතුව ඇත. මේ තරග රටාවට අදාළ ක්‍රීඩකයන් රැසක් වර්තමානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුව ද, මාලිංග විස්සයි 20 නායකයා ලෙස තව දුරටත් කටයුතු කළ යුතු දැයි සිතාබැලිය යුතුව ඇත. මාලිංග අතිදක්ෂ ක්‍රීඩකයකු බව කිසිදු පැකිලීමකින් තොරව පැවසිය හැකි වුවත්, ඔහුගේ නායකත්වයෙන් ගත් තීරණ දෙස බැලීමේ දී තව දුරටත් නායකත්වයේ වගකීම ඔහු වෙත ලබා දී පරාජය දිගින් දිගටම රඳවා ගන්නේ ද යන්න ක්‍රිකට් පරිපාලනය මේ මොහොතේ කල්පනා කළ යුතු ය. නායකත්වය ගැන තීරණයක් ගැනීමට මාලිංග සූදානම් බව පැවසුනද ඔහුගේ නායකත්වයේ අසාර්ථක බව පිළිගන්නට හෝ ප්‍රතිඵලවලින් පෙන්වා දෙන යථාර්ථය අවබෝධ කර ගන්නට හෝ නොහැකි උඩඟු‍කමකින් ඔහු පෙළෙන බව පරාජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි පසු මාධ්‍ය ඉදිරියේ පැවසූ දේවලින් පැහැදිලි විය. නායකත්වය අහිමි කළ අවස්ථාවල දී කළ අදහස් දැක්වීම්වල දී පරාජයේ වගකීම් එම නායකයන් වෙත වක්‍රාකාරයෙන් යොමු කරන්නට කටයුතු කළ මාලිංග වෙනුවෙන් එවකට උපකාරයට ඔහුගේ බිරිඳ ද එකතු වීම යම් අශ්ලීල තත්ත්වයක් පෙන්නුම් කළේ ය. නමුත්, අද පරාජය සම්බන්ධයෙන් මාලිංග පෙන්වා දෙන්නේ කණ්ඩායමේ අදක්ෂතාවන් වසා දමන්නට නායකයාට නොහැකි බව ය.

හිටපු නායකයකු වූ ඇන්ජලෝ මැතිව්ස් බංකුවේ තැබීම මෙන් ම, නායකයකු ලෙස ජාත්‍යන්තරයේ අවධානයට පාත්‍ර වී සිටින දසුන් ශානක සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පමණක් සරල උදාහරණ ලෙස දැක්විය හැකි ය.

වර්තමාන ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මේ දක්වා විස්සයි 20 තරග විසිදෙකකට නායකත්වය ලබා දී ඇති අතර, ඉන් තරග හතක් ජයග්‍රහණය කර ඇති අතර, පරාජයට පත් තරග සංඛ්‍යාව 13කි. එක් තරගයක් ලකුණු සම වී ඇති අතර, විසඳුමකින් තොරව තවත් තරගයක් අවසන් වී ඇත. ඔහුගේ ජයග්‍රහණ ප්‍රතිශතය සියයට 35.71කි. මාලිංග නායකත්වයට පත් වූයේ 2014 වර්ෂයේ ය. ඔහු 2016, 2018 හා මේ දක්වා විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය හොබවන අතර, එම කාලය අතරතුර දී උපුල් තරංග හා තිසර පෙරේරා සහ දසුන් ශානක යම් යම් අවස්ථාවල දී නායකත්වයට පත් වී ඇත.

ප්‍රවීණ ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත්ව ගිය පසු මාලිංගට ලැබුණ විස්සයි 20 කණ්ඩායමේ සිටියේ තරුණ ක්‍රීඩකයන් බව සැබෑ ය. නමුත්, දසුන් ශානක ද පකිස්ථානයට ගියේ අත්දැකීම් අඩු තරුණ ක්‍රීඩකයන් සමඟින් ය. ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටි කණ්ඩායම 3-0ක් ලෙස මවු රටේ දී ම පරාජයට පත් කිරීමට ඔහුගේ නායකත්වය සමත් විය. අනවශ්‍ය පීඩනයක් නොගෙන ක්‍රීඩකයන් ස්ථානගත කිරීම, පන්දු යවන්නන්ගේ සංකලනය, පිතිකරුවන්ගේ අනුපිළිවෙළ සකස් කිරීම ආදිය ඔහු සිදු කළේ පළපුරුදු අයකු විලසින් ය.

පිතිකරුවකු, පන්දු යවන්නකු මෙන් ම කණ්ඩායමේ නායකයා ද සිය වගකීම හරියාකාරව තේරුම් ගත යුතු ය. යම් පිතිකරුවකු ක්‍රීඩා කරන්නේ කුමන ස්ථානයේ ද යන්න තැනට අදාළව හා තරගයේ ස්වභාවය අනුව තීරණය කිරීමට නායකයකුට හැකියාව තිබිය යුතු ය. එමෙන් ම පන්දු යවන්නා වුවත් ඒ ආකාරයෙන් ම හැසිරිය යුතු ය. වේගය ගැනම නොසිතා ඉලක්කයට පන්දුව යොමු කර පිතිකරු මුළා කරන ආකාරයේ පන්දු යවන්නේ නම්, මෙවැනි කෙටි තරග රටාවක දී ජයග්‍රහණය කිරීම අපහසු වන්නේ නැත. ළහිරු කුමාර ද සිතා ගත යුත්තේ, වේගය පමණක්ම නොව  බුද්ධිය ද උපයෝගී කර ගන්නේ නම්, තමා දක්ෂයකු බව ලෝකයට  පෙන්වා දිය හැකි බව ය.

තමන්ට ලැබී ඇති ක්‍රීඩකයන්ගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන් නිසි පරිදි කළමනාකරණය කිරීම නායකයා සතු දෙයකි. කලකට පසුව විස්සයි 20 පිටියට පිවිසි මැතිව්ස් තෙවන තරගයේ දී පන්දු යැවීමේ දී අසාර්ථක වූ මොහොතේ ඔහු දිගින් දිගටම පන්දු යැවීමට යොදා නොගෙන දෙවන තරගයේ සාර්ථක වූ දසුන් ශානකට පන්දු යැවීමට දීමට තිබිණ. එමෙන්ම විශාල පරතර සහිතව ක්‍රීඩකයන් රඳවා පන්දුවට පහර දෙන්නාට උපරිම ලෙස වාසි වන ලෙස පිටිය සකසා තිබීම තරග පුරාවටම දක්නට ලැබුණේ ය. විභාගයට පෙර පාඩම් කළත්, උත්තර ලිවීමේ දී හරියට උත්තර නොලියන අයකු මෙන් මාලිංගගේ නායකත්වය ක්‍රියා කළේ ඉන්දියාවට පූර්ණ තරගාවලි ජයක් ලබා දෙමින් ය.

වසරේ පළමු තරගාවලිය මෙසේ එසේ නිමා වෙද්දී දැන් කණ්ඩායමට අවශ්‍ය කරන්නේ නවක ක්‍රීඩකයන් අත්හදා බැලීම නොව, පිටිය තුළ දී නිවැරැදි හැසිරවීමක් පමණි. නව පුහුණුකාරීත්වය ඒ බව තේරුම්ගෙන සිටියත්, පිටියට බසින්නේ ඔහු නොව නායකයා ඇතුළු කණ්ඩායමයි. වටු වැද්දාගේ දැලට සිර වී සිටි වටු රැළ බේරුණේ ද, කාන්තාරයේ අතරමංව සිටි වෙළෙඳ පිරිස යක්ෂයන්ගෙන් බේරුණේ ද නුවණ ඇති නායකයකු සිටි නිසාය. දක්ෂ ක්‍රීඩකයෙක් දක්ෂ නායකයෙක් ම විය යුතු නැත. මුරලි කොතරම් දක්ෂයකු වුව ද කණ්ඩායමේ නායකත්වය ඔහුට ලබා නොදී ඔහුගේ දස්කම්වලින් කණ්ඩායමට සේවයක් ගැනීමට සුදුසු ලෙස පීඩනයක් නොදී ඔහු තබා ගත් නිසාවෙන් ලෝක පූජිත ක්‍රීඩකයෙක් බිහි විය.

මාලිංග දක්ෂයකු බව පුන පුනා ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැත. එසේම ඔහුගේ දක්ෂතා රැකගෙන ක්‍රීඩා කිරීම සහ තරුණ ක්‍රීඩකයන්ට ඔහුගෙන් ලබා ගත යුතු දේ ලබා දී ක්‍රීඩා කිරීම ඔහුගේ යුතුකම සහ වගකීම වන්නේ ය. කෙසේ වුවත්, මේ මොහොත වන විට ලංකාවේ ප්‍රබල දේශපාලනික පවුලක සමීපතමයකු වීම නිසා ද මාලිංගව ඉවත් කිරීම ක්‍රිකට් පරිපාලකයන්ට යහපතක් සිදු වන තත්ත්වයක් නොවිය හැකි ය. එහෙත්, තමන්ගේ හෘදයසාක්ෂියට අවංක වීමට මාලිංගට ඇති හැකියාව කිසිවකුට නැවැත්විය නොහැකි ය. එය ඔහුගේ සුපිරි යෝකර් පන්දුවක් මෙන් කණ්ඩායමට යහපතක්ම කරනු ඇත.

අවසානයේ කියන්නට ඇත්තේ මෙපමණ ය. මෙතෙක් කලක් වතුර රැගෙන ආ කළය තමන් විසින් ම බිඳ ගන්නවා ද? නැති නම් එය රැක ගන්නවා ද යන තීරණය මාලිංග ගත යුතු බව ය.

චතුර චාමින්ද

Previous articleමැතිවරණයෙන් පසු දුමින්ද එළියට
Next articleමේ දේවල් අනාගත පරපුරට දෙන්නයි එකම බලාපොරොත්තුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here