ලියා ගන්න බැරි කාලෙදි අත්දැකීම්වලට පල්වෙන්න ඉඩ දෙන්න ඕනෑ

12

මලිඳු කාවින්ද කුමාරසිංහ

මේ විශ්වයේ කොයි ම තැනක වුණත් තවෙකකුගෙ වේදනාවක් තමන්ගෙම කරගෙන රිද්දගන්නත්, ඒක හරි සියුම්ව කවියක තියල තවත් හිත්වලට දනවන්නත් කවියකුට පුළුවන්. එහෙම ලියපු කවියන් අතීතය තුළ වගේ ම වර්තමානය තුළත් ප්‍රේමය, මනුෂ්‍යත්වය, ලිංගිකත්වය, නිදහස, දේශපාලනය වගේ විශ්වීය දේවල් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. ඉතින්, එලෙස තමන්ට හැඟෙන, දැනෙන දේ පන්හිඳකින් අකුරු මතින් මුදාහැරීම හරහා බිහිවුණු නවක කවියකු සමඟයි අද අපේ සංවාදය. කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව සහ ටෙලිනාට්‍යකරණය පිළිබඳව හදාරන ඔහු නමින් මලිඳු කාවින්ද කුමාරසිංහ.

■  ඔබේ අත්දැකීම්, සිතුවිලි කවිය හරහා එළිදැක්වීම ඔබට දැනෙන්නෙ කොහොමද?

කවිය හරහා එළිදැක්වීම කියලා විශේෂයක් මට දැනෙන්නෙ නෑ. මට දැනෙනවා මං ලියනවා. මං විඳිනවා, මං ලියනවා. මං අඬනවා, මං ලියනවා. ඒවා සමහරක් කවි වෙනවා. සමහරක් කවි වගේ දේවල් වෙනවා. සමහරක් ඒ මොකකටවත් නෑ. මං හිතන්නේ, එක ම දේ මට මේක පිට කර ගන්න ඕනෙ. ඒක ලිව්වට පස්සෙ එඩිට් කර කර තමයි, ඒවා කවි වගේ වෙන්නෙ. සමහර ඒවා අතරමඟ නවතිනවා. සමහර ඒවා සෑහෙන කාලයක් ළඟ තියා ගන්න ඕනෙ වෙනවා.

■  මලිඳු, ඔබේ නිර්මාණ සඳහා යම් ආභාසයක් ලබාගන්නා හෝ යම් අධ්‍යයනයක් කරන හෝ පුද්ගලයන් සිටිනවාද?

එහෙම නෑ. අපි නොදැනුවත්වම අපිට ආභාසය එන්න පුළුවන්. ඒත් අපි දන්නෙ නෑ කාගෙන් ද මේ ආභාසය ආවෙ කියල. අපි කියවන කවියන්ගෙන් එන්න පුළුවන්. සමහර වෙලාවට ඔය මොකුත්ම නැතුව එදිනෙදා අපිට හම්බ වෙන මිනිස්සු කතා කරන දේවල් ඇතුළෙත් කවි බස තියෙනවා. ඒවට ඇහුම්කන් දීල බලන්න. අපිටම අපි ගැනම හිනා යන කතන්දර තියෙනවා. එහෙම නැතුව කවියකට කොහොම ද අත්දැකීමක් අරන් ඒක සහෘදගත කරන්නෙ කියල බැලු‍වොත්, ඒක හොඳටම කරන කීප දෙනෙක් ඉන්නවා. රුවන් බන්දුජීව, වර්ණ රසිකා, කල්පනා ඇම්බ්‍රෝස්, මංජුල වෙඩිවර්ධන මේ කාලෙ මං කියවන්න කැමති අය. ඒත් ඔය මොකුත් හිත හිත නෙමෙයි නෙ ලියවෙන්නෙ. දැනෙන තැන ලියනවා.

■  බොහෝ වෙලාවට අපට දකින්න පුළුවන් සරසවි සමයේ බිහිවුණු කවීන් දිගු කාලයක් පවතින්නෙ නැහැ. සරසවි දිවියත් සමඟම පාහේ ඔවුන්ගේ කවීත්වයත් නිමවෙලා යන අවස්ථා තිබෙනවා. මේ ගැන ඔබේ අදහස ?

එහෙමම කියන්න බෑ. දැන් රුවන් බන්දුජීව, ළහිරු කිතලගම වගේ අද කාලෙ කවියෙක් ගත්තත්, ඔවුන් සරසවි සමයෙදි කවි පොත් කරපු අය. නමුත්, ඔවුන් ඔවුන්ගේ කවියට සීරියස් වෙලා තියෙනවා. අවංක වෙලා තියෙනවා. අද වෙන කොට ඔවුන්ගේ කවි කියවද්දි ඒක අපිට දැනෙනවා. හැබැයි මෙහෙම එකකුත් හිතෙනවා, මං මේ ප්‍රශ්නෙම අනිත් පැත්තට හරවමු. සරසවි සමයෙදිම කවි පොතක් කළ පමණින් ඔවුන් කවියෙක් වෙනව ද? කොටින්ම මට වුණත් ඒ ප්‍රශ්නෙ අදාළයි නෙ. මං හිතන්නෙ ජීවිතේ විඳීම්, විඳවීම් එක්ක කවිය ප්‍රැක්ටිස් එකක් විදියට පවත්වාගෙන යන්න ඕන. ඒකෙන් කියන්නෙ නෑ එකදිගට ලියන්න ඕන කියලා.

■  මිනිසුන්ගේ දෛනික ජීවිතය අතිශය කාර්යබහුල වීමත් සමඟ කවිය මූලික කොටගෙන අනෙකුත් කලාවන්ගේද භාවිතය හා රසවින්දනය ඔබ දකින ආකාරයට මොන වගේ තැනකද තිබෙන්නේ?

කවි කියවන්න නම්, නිවීහැනහිල්ලෙ මිසක් බෑ. හැබැයි කාර්යබහුල ජීවිත ඇතුළෙ මිනිස්සුන්ට කවි කියවන්න කෙසේ වෙතත්, අඩුම ගාණෙ ෆිල්ම් එකක්, ඩ්‍රාම එකක් බලන්නවත් වෙලාවක් තියෙනව ද කියන එකයි ප්‍රශ්නෙ. වැඩ, වැඩ, වැඩ. අන්තිමට මේකෙ තේරුම මොකක් ද කියල මං මගෙන්ම අහන වෙලාවල් තියෙනවා. මිනිස්සුන්ට ඕනෙ හිනාවෙන්න. ඉතින් හිනාවෙන නාට්‍ය මිනිස්සු බලනවා. ටෙලිනාට්‍ය සිනමාව ලංකාවෙ ඇතුළෙ නම්, “අනේ මන්ද” කියල මිසක් කියන්න වෙන වචනයක් නෑ. කවිය කියන්නෙ ලියන්න වගේම කියවන්නත් ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන දෙයක්. කවියට විතරක් නෙමේ හැම කලා මාධ්‍යයක්ම එහෙමයි. එහෙම තියෙන අය කියවනවා. හිස්තැන තියෙන්නේ එතැන නෙමෙයි. ඔබ කිව්ව වගේම කියෙව්වට රසවින්දනය නෑ. ඒක තමන්ගෙ කරගෙන විඳින්න වෙලාවක් නෑ. විඳින විදියක් දන්නෙ නෑ. හැබැයි අනිත් පැත්තෙන් විඳින්න පුළුවන් කලා කෘති තියෙනවා. ඒවා හැංගිලා. පරිභෝජනවාදී සමාජයක් ඇතුළෙ වැඩිපුර උඩට එන්නෙ බොම්බයි මොටයි.

■  සමාජ මාධ්‍ය මලිඳුගේ ලිවීමට කරපු බලපෑම මොන වගේද?

කියන්න තරම් බලපෑමක් නෑ. මාත් ෆේස්බුක් එකට කවි ලිව්වා. ඉඳහිට අදටත් ලියනවා. සමහරු හාට් රියැක්ෂන් දානවා. ආදරෙයි කියනවා. ලස්සනයි කියනවා. සමහරු ඇත්තටම ඒක කියවල විඳිනවා. සමහරු නොදා බැරිකමට ලයික් දානවා. ඒත් ඒකෙන් ප්‍රැක්ටිස් එකට ලොකු හානියක් වෙනවා. ඒක හරියට ක්ෂණික නූඞ්ල්ස් වගේ විනාඩි 3යි. දැම්මා, ගත්තා, කෑවා. රසයි, සුපිරියි, දයියා. ඒත් කවියක් කියන්නෙ එහෙම ද? අනේ මන්ද මං ඉතින් හිතනවා. ෆේස් බුක් එකේ කවි ලියල කමෙන්ට් වැඩි වෙච්ච ගමන් සමහරු ඇන්දෙනවා මං හෙණ කවියෙක් කියලා. අන්න ඒකයි භයානකම. මං ඒකයි මට කවියෙක් කියන්න බය. මං පුවත් පත් පිටුවලට කවි ලිව්වා සෑහෙන කාලයක්. මං හිතන්නෙ එතැන යම් කිසි සංස්කරණයක් එක්ක දෙයක් ගොඩනැඟෙනවා. ඒත් ෆේස් බුක් එක නිදහස්. ලියන්න හොඳ අවකාශයක්. ඕනෑ දෙයක් ලියන්න පුළුවන්. ස්වයං සංස්කරණය වගේම ෆේස් බුක් එකෙන් ඇඳගන්නෙ නැතිව ඉඳීමත් තමන්ගේ වැඩක්.  එහෙම බැලු‍ව ම ෆේස් බුක් එක මේ වෙලාවෙ කවියට මාර සේවයක් වගේම හානියකුත් කරනවා.

■  වර්තමානයේ බහුලව සිදුවන ඓතිහාසිකමය චරිත කලා නිර්මාණයන් තුළ නැවත ඉපැද්දවීම පිළිබඳ ඔබේ අදහස ?

ඒක ප්‍රශ්නයක් නෙමේ. ගාන්ධිල, මැන්ඩෙලාල, ලින්කන්ල ගැන ඔය ඕන තරම් ෆිල්ම් හැදිල තියෙන්නෙ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ආයෙම ඒ චරිතෙ අපි ඉස්සරහට ගේන්නෙ ඇයි කියන එක.  අදේශපාලනය, ජාතිවාදය, කෲරත්වය උස්සල තියන්න ඉතාම කැත විදියකට කලාව ප්‍රොපගැන්ඩා එකක්  විදියට පාවිච්චි කරනවා අපි දැකල තියෙනව. ඡන්ද කාලවලට ටෙලිවිෂන්වලින් පෙන්වන ෆිල්ම්වල පවා තියෙන්නෙ සමහර වෙලාවට ඒ අධිපති මතවාදය නඩත්තු කරන වැඬේ. එහෙම නැතුව කොයි තරම් නම් සුන්දර විදියට චරිත කතා කලා කෘතිවලින් යළි උපදවන්න පුළුවන් ද? සමකාලීන සමාජ දේශපාලන සන්දර්භ ඇතුළෙ ඒ කලා කෘති ඒ චරිත අපූර්වත්වයෙන් යුතුව යළි යළි නිපදවන්න පුළුවන් ද?

 නවක කවියකු මෙන්ම සරසවි සිසුවකු ලෙස මලිඳුගේ කියැවීම් හා රසවිඳීම් මොනවාද?

සිනමාව තමයි මං මේ මොහොතේ අධ්‍යයනය කරන විෂයය. හැබැයි සිනමාව කියන්නෙ ෆිල්ම් විතරක් නෙමේ. ජීවිතේ හැම දේම කියන්නේ සිනමාව. කවිය ඇතුළෙ පවා සිනමාව තියෙනවා. මං ගොඩක් පොත් කියවන්න කැමති කෙනෙක්. ඉතින්, මං කියවනවා. කැමැත්ත කොච්චර තිබුණත්, සමහර දේවල් එක්ක ඒ කියැවීම මඟහැරෙනවා. දැදිගම වී. රුද්‍රිගු මගේ කියැවීම් කලාපයේ වීරයෙක්. ඒ ඇරෙන්න මගෙ මේසෙ උඩින් මේ දවස්වල නොහෙල්ලෙන පොතක් තියෙනවා. ඒ අන්ද්‍රෙ ගෝස්ගෙ ඛැඑඑැර එද ෘ. 

■  සුහුඹුල් කවියකු ලෙස මලිඳු සමුදෙන්න හදන නාමලී කියන්නෙ කවුද, මොකද්ද මේ නාමලීට ගිහින් එන්නම් කියන සිදුවීම ?

නාමලී… හුඟ දෙනෙක් අහන ප්‍රශ්නයක් කවුද නාමලී කියලා. නාමලී ඉන්නවා. ජනවාරි 23 වැනිදා හවස 3.00ට මහවැලි කේන්ද්‍රයේ දී මට සිද්ධ වෙනව නාමලීට ගිහින් එන්නම් කියන්න. ඉතින් නාමලීට සමු දෙන්න ඇවිත් යන්න කියලා හැමෝට ම ආරාධනා කරනවා.

■ සංවාද සටහන

  වරුණ උදේෂ් ජයසිංහ

Previous articleපළල් ස්වීඩන් ප්‍රේමයක සිසිල ලංකාවට දුන් තෑග්ගක්
Next articleකබ්රාල් මචං සහ අර්ජුන් මචං…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here