හඬපට මල් වෙඩිල්ලෙන් වැසෙන ඇත්ත ප්‍රශ්න

14

එසේ ඥාති හිතවතුන්ට පත්වීම් ලබා නොදෙන බවට හත්පොළේ හැපෙමින් කියා සිටිය ද, ‘කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි’ යන්න පෙන්වමින් ඥාති හිතවතුන්ට හොඳ හොඳ පුටු වෙන් කර ඇති බවට වන හොඳම උදාහරණ දෙකක් පසුගිය සති දෙක තුළ දකින්නට ලැබිණි. ඉන් එක් උදාරහණයක් වූයේ සිවිල් ගුවන්සේවා අධිකාරියට කරන ලද පත් කිරීම් දෙකකි.

මේ වන විට සියලුම දේශපාලන සහ ආර්ථික තත්ත්වයන් යටපත් කරමින් රන්ජන්ගේ හඬපට කතාව මතුපිටට පැමිණ තිබේ. ඒ වෙනුවෙන් පෙනී සිටින භික්ෂුන් කිහිප දෙනකුට සහ අනෙකුත් පුද්ගලයන් අතට දිනකට එකක් බැගින් දිනපතා හඬපට ලැබෙමින් තිබේ. ඔවුන් ඒ වෙනුවෙන් දිනපතා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සිටිනු ලැබේ.

මෙසේ හඬපට ජවනිකාවෙන් ජනතා දෑස් නිලංකාර කරමින් සිටිය දී ආණ්ඩුවට මාස දෙකක් ගත වී ඇත. ඒ මාස දෙක ගත වන්නට පෙර, එනම් ජනාධිපතිවරණ සමයේ සහ ඊට පෙර ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මෙන්ම ඔවුන්ට සහාය පළ කළ දේශපාලන පක්ෂත්, අනෙකුත් කණ්ඩායම් සහ එම පෙරමුණේ භික්ෂුන් ද පෙනී සිටි මතවාද ව්‍යාජයන් ලෙසින් මේ මාස දෙක ගත වෙද්දීම නිරාවරණය වෙන්නට පටන් ගෙන තිබේ.

ජාතික සම්පත් විකිණීම

පැවති ආණ්ඩුව ජාතික සම්පත් විකුණමින් සිටින බවත්, තමන් බලයට පැමිණි පසු කිසිදු ජාතික සම්පතක් විකුණන්නේ නැති බවත්, විකුණා දැමූ සියල්ල ද ආපසු අත්පත් කර ගන්නා බවත් දිගින් දිගටම පොදුජන පෙරමුණ කියා සිටියේය. හම්බන්තොට වරාය යළි පවරා ගැනීම ඒ අතුරින් ප්‍රමුඛ විය. එහෙත් ඒ වෙනුවට ගාලුමුවදොර පිහිටි ෂැංග්‍රිලා හෝටලයට යාබදව පිහිටි ඉඩම් අක්කර තුනක් සිංගප්පූරු සමාගමකට විකිණීමට සැලසුම් කිරීමත් සමඟ ජාතික සම්පත් විකිණීමට එරෙහි වීම හුදු දේශපාලන රැවටිලිකාර කතාවක් පමණක් බව පැහැදිලි විය.

ලබ්බට තැබූ අත පුහුලටත්

සිංගප්පූරු සමාගමකට ගාලුමුවදොර ඉඩම විකිණීම හුදු අහම්බයක් නොවන බවත්, එය පසුගිය ආණ්ඩුව විසින් කර තිබූ සැලසුමක්ම මේ ආණ්ඩුව විසින් ඉන් ඉදිරියට ක්‍රියාත්මක කරනු ලැබීමක් බවත් දැන් කාටත් රහසක් නොවේ. එතැනින් නොනවතින මේ ආණ්ඩුව පසුගිය ආණ්ඩුව කළ පරිදිම විදේශයන්ට ලංකාවේ ඉඩම් මහා පරිමාණයෙන් ලබා දීම ද මේ වන විට ආරම්භ කර තිබේ. ලුණුගම් වෙහෙර ජාතික වනෝද්‍යාන මයිමේ ඇති ‘වන්දම’ වන අලි කළමනාකරණ රක්ෂිතයෙන් අක්කර 5,000ක් චීන ආයෝජන කලාපයක් සඳහා බදු දෙන්නට සූදානම් කරන්නේ ඒ අනුවය. ආණ්ඩුව විසින් එවැනි තීරණයක් ගනු ලබන්නේ පැවැති ආණ්ඩුව විසින් අක්කර 5,436.318ක් පමණ වන වන්දම, දෙමළිය රක්ෂිතයෙන් ඉඩම් අක්කර 2,786ක් හම්බන්තොට වරාය සංවර්ධන වැඩසටහන යටතේ කර්මාන්ත පුරයකට වෙන් කර තිබිය දී හා තවත් ඉඩම් අක්කර 1,000ක් විදෙස් කෙසෙල් සමාගමක් හා දේශීය සමාගමක් අඹ වගා කිරිමට අත්පත් කරගෙන තිබියදීය. ඒ සමාගම් වන්නේ ‘ඩෝල්’ සහ ‘නෙල්නා’ යන සමාගම්ය. චීන සමාගමකට ලබා දීමට සැලසුම් කර ඇති අක්කර 5,000ක භූමි ප්‍රමාණයට දැනට ඉතිරිව ඇති දෙමළිය කැලෑවේ ඉඩම් අක්කර 1,650ක ප්‍රමාණයෙන් කොටසක් ද ඇතුළත්ය.

එතෙකිනුදු නොනැවතී දෙමළිය රක්ෂිතයේ ඉතිරිව පවත්නා කැලෑ ඉඩම්වලින් අක්කර 250ක් නැවත තම පාක්ෂිකයන් පිරිසකට කුඹුරු ඉඩම් ලෙස බෙදා දීමට නිදහස් කරන ලෙස වන නිලධාරීන්ට කරන බලපෑම කනගාටුදායක බව පරිසර සංවිධාන චෝදනා කරති.

වන්දමට නැති විල්පත්තු ප්‍රේමය

පසුගිය කාලයේ විල්පත්තුව සුරැකීම සඳහා බොහෝ දෙනා ඉදිරිපත් වී සිටි බව කවුරුත් දන්නා කරුණකි. විල්පත්තුව ආශ්‍රිත ප්‍රදේශයේ සිදු වූ ඒ වන විනාශයට එරෙහිව පෙනී සිටින්නන් සියලුම දෙනා හුදු පරිසර ප්‍රේමීන් පමණක් බව එවකට පෙනෙන්නට තිබුණ ද, ඉන් බහුතරයක් වෙනත් න්‍යාය පත්‍රයක කොටසක් ලෙස විල්පත්තුව යොදා ගත් බව දැන් පැහැදිලිය. ඒ විල්පත්තුව රැක ගැනීමට තිබූ උනන්දුව වන්දම කැලෑවත්, එහි සිටින අලි ගහනයත් වෙනුවෙන් නොමැති වීමෙනි. වන්දම – දෙමළිය නම් මෙම හුදකලා වනාන්තරය ප්‍රදේශයේ වන අලි බහුලවම ගැවසෙන ප්‍රදේශයකි. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළ සිට හඳපානාගල වැවට යන එන වන අලින්ගේ අලිමංකඩ වැටී ඇත්තේ මෙම වනාන්තරය හරහාය. මේ නිසා උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ කිරිඳිඔය ගංගා ද්‍රෝණි සංවර්ධන වැඩසටහන යටතේ සකස් කළ පරිසර තක්සේරු බලපෑම් වාර්තාව මඟිනුත්, 2013 සැප්තැම්බර් 27 දින මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කර තියෙන පරිසර අනුමත අංක 2.1(්) දරන කොන්දේසියට අනුවත් මෙම දෙමළිය කැලෑව වන අලි කළමනාකරණ රක්ෂිතයක් හෝ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර සංරක්ෂණයට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබේ. චීන සමාගමකට මේ කැලයෙන් ඉඩම් අක්කර 2,786ක් ලබා දීමට පැවති ආණ්ඩුව තීරණය කර ඇත්තේ, එම ඉල්ලීම පිළිබඳව කිසිදු සැලකීමක් නොදක්වමිනි. දැන් ඉතිරි ඉඩම් චීන සමාගමකට දෙන්නට මේ ආණ්ඩුව තීරණය කරන්නේ ගිය ආණ්ඩුවටත් වඩා ඔබ්බට එය පුළුල් කරමිනි. දැන් ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම්වලට එදා තිබූ විල්පත්තු ප්‍රේමය අද වන්දම, දෙමළිය වනාන්තරය සම්බන්ධයෙන් ඇති වන බවක් පෙනෙන්නට නැත.

රස්සා ටිකත් හිතවතුන්ට

දේශපාලන හිතවත්කම් මත රැකියා ලබා දීම කිසිදු අයුරකින් තමන් බලයට පැමිණි පසු සිදු නොවන බවට ගහපහ දෙමින් කියා සිටි මේ ආණ්ඩුව මාස දෙක ගත වන්නටත් පෙර ඒ පොරොන්දුව ද අමු අමුවේම උල්ලංඝනය කරමින් සිටියි. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් මෙහි එක් පියවරක් ආරම්භ කර ඇති අතර, ඒ බවට ලිඛිත සාක්ෂි ද අනාවරණය වී තිබේ. 2019 දෙසැම්බර් 29 වන දිනැතිව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම් කැළුම් ප්‍රියංකරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක සඳහන් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ‘පොහොට්ටු’ පක්ෂයේ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන්ගේ නාමලේඛනයක් සකස් කරන ලෙසයි. එම ඉල්ලීම කර ඇත්තේ, දිස්ත්‍රික්කයේ පොහොට්ටු පක්ෂයේ ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීවරුන්ගෙනි. “අඩු ආදායම්ලාභී තරුණ තරුණියන්ගේ ආර්ථික මට්ටම නඟාසිටුවීම සඳහා මුදල් අමාත්‍යාංශය හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මඟින් ක්‍රියාත්මක කරන රැකියා ව්‍යාපෘති සඳහා ඔබ කොට්ඨාසයේ පුද්ගලයන් තෝරා ගැනීමට, පක්ෂයේ ශාඛා, කාන්තා සහ තරුණ සංවිධාන සමඟ සාකච්ඡා කර නාමලේඛන සකස් කරන ලෙස ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා උපදෙස් දී ඇත” යනුවෙන් එහි සඳහන් වේ.

මේ කරන්නේ එදා සජිත් ප්‍රේමදාස සියඹලා ගසක් යට වාඩි වී ‘උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු’ ලෙස රැකියා සඳහා තම පාක්ෂිකයන් තෝරා ගැනීමේ කටයුත්තේ ම නොවේ ද? වෙනසකට ඇත්තේ, සජිත්ට වඩා ‘ස්මාට්’ අයුරින් නාමල් විසින් එය සිදු කිරීම පමණකි.

ඊට අමතරව උපාධිධාරීන්ට රැකියා ලබා දීම ද පොහොට්ටුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා සිදු කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අනුව එම කාර්යාල විසින් ඒ ඒ ප්‍රදේශවල දේශපාලන ක්‍රියාකාරිකයන් විසින් නිර්දේශ කරනු ලබන උපාධිධාරීන්ට පමණක් රැකියා ලබා දීමට පිඹුරුපත් සකස් කර අවසන් ය. ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ යන ඇමතිවරු තමන්ගේ ප්‍රදේශවල පිහිටි පක්ෂ කාර්යාලවල මෙම කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.

බලයට එන්නට පෙර මේ කණ්ඩායම කියා සිටියේ, සියලුම පත්කිරීම් සහ රැකියා ලබා දීම් සිදු කරන්නේ නිසි ක්‍රමවේදයකට අනුව බවය. ස්වාධීන කමිටු මඟින් ඒ පිළිබඳ තීරණ ගන්නා බවය. නෑදෑයන්ට සහ දේශපාලන හිතවතුන්ට රැකියා ලබා නොදෙන බවය. ආයතන සඳහා එවැන්නන් පත් නොකරන බවය.

විද්‍යානුකූල පත්කිරීම්

එසේ ඥාති හිතවතුන්ට පත්වීම් ලබා නොදෙන බවට හත්පොළේ හැපෙමින් කියා සිටිය ද, ‘කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි’ යන්න පෙන්වමින් ඥාති හිතවතුන්ට හොඳ හොඳ පුටු වෙන් කර ඇති බවට වන හොඳම උදාහරණ දෙකක් පසුගිය සති දෙක තුළ දකින්නට ලැබිණි. ඉන් එක් උදාරහණයක් වූයේ සිවිල් ගුවන්සේවා අධිකාරියට කරන ලද පත් කිරීම් දෙකකි. පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහ සහ රෝහිත රාජපක්ෂගේ නැන්දම්මා වන ඩිඩ්‍රේ ද ලිවේරා ගුවන්තොටුපොළ හා ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීමට තීරණය වීමයි. මෙම පත් කිරීම් සිදු කිරීමේ දී රාජ්‍ය ආයතන සඳහා මූලික තනතුරුවලට පත් කිරීමේ දී, එම පත්කිරීම් පිළිබඳ තීරණ ගැනීම සඳහා ඇති කරන ලද කමිටුවට සිදු වූයේ කුමක් ද යන්න කිසිවෙක් දන්නේ නැත. එසේ ම එම තෝරා ගැනීමේ කමිටුව සඳහා පත් කර ඇති රාජ්‍ය නිලධාරීන් දෙදෙනා ද මීට පෙර දූෂණ, චෝදනා ලැබූවන් දෙදෙනෙකි. ඉන් එක් අයකු වන ලලිත් වීරතුංග සුප්‍රසිද්ධ සිල් රෙදි නඩුවේ වරදකරුවෙකි. අනෙක් පුද්ගලයා වන නාලක ගොඩහේවා ද එවැනිම දූෂණ චෝදනාවන්ට අධිකරණයේ විභාග වන නඩුවක චූදිතයෙකි.

මෙවැනි දේශපාලන පත් කිරීම් සම්බන්ධයෙන් මෑතක දී වාර්තා වූ දෙවැනි උදාහරණය වූයේ ඉරාජ් වීරරත්න ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත් කිරීමයි. පසුගිය 14 වන දිනයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත. ඉරාජ් වීරරත්න පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රචාරණ කටයුතුවල නිරත වූ අයෙකි.

මීට අමතරව 2010 – 2012 කාලයේ දී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ ශෂී වෙල්ගම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ලෙස පත් කරනු ලැබී ය. ශෂී වෙල්ගම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිව සිටිය දී දුනුකොළ ගෙන්වීමේ මුවාවෙන් රුපියල් 12,58,30,735.00ක මුදලක් සාවද්‍ය පරිහරණය කරනු ලැබී යැයි චෝදනා ලැබ සිටින පුද්ගලයෙකි. ඊට අදාළව ඔහුට එරෙහිව නඩු පැවරී ඇති අතර, මේ වන විට ද සිටින්නේ ඇප පිට ය. එසේම වංචා සහ දූෂණ චෝදනා නිසා වැඩ බලන සුරාබදු කොමසාරිස් ධුරයෙන් ඉවත් කරන ලද ඒ. බෝදරගම නැවතත් එම ධුරයටම පත් කෙරිණ.

පත් නොකිරීමේ අර්බුදය

ජනාධිපතිවරයකු පත් වී, ඔහු විසින් නව ආණ්ඩුවක් ද පිහිටුවාගෙන මාස දෙකක් ඉක්ම ගොස් ඇති මේ මොහොත වන විටත් රාජ්‍ය ආයතන බොහොමයකට සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම මඟින් ඇති වී තිබෙන අර්බුදය මෙහි අනෙක් පැත්තයි. පසුගිය කාලයක් පුරා සිදු වුණු දේශපාලන හැලහැප්පීම් නිසාත්, මැතිවරණ කාලය නිසාත් බිඳවැටුණු රාජ්‍ය යාන්ත්‍රණය නැවත ශක්තිමත් කර ක්‍රියාවට නැඟීම මේ නිසා තව දුරටත් අර්බුදයට යමින් තිබේ. ප්‍රධාන වශයෙන් විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, මහජන බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ගුවන්විදුලි සංස්ථාව, දැව සංස්ථාව වැනි රාජ්‍ය ආයතන සඳහා තවමත් අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම සිදු කොට නොමැත. ඇතැම් අමාත්‍යාංශවල කිසිදු ආයතනයක් සඳහා සභාපතිවරයකු පත් කිරීම සිදු කර නැත. ධීවර අමාත්‍යාංශය මේ සඳහා හොඳම උදාහරණයකි. ඒ යටතේ පවතින ධීවර සංස්ථාව, ධීවර වරාය නීතිගත සංස්ථාව, නාරා ආයතනය සඳහා සභාපතිවරයකු හෝ පත් කර නැත. මේ නිසා දැනට මාස හයක පමණ කාලයක සිට අකර්මණ්‍ය වී තිබෙන මෙම ආයතන තව දුරටත් පවතින්නේ තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කළ නොහැකි මට්ටමක ය.

අනෙක් පසින් එකින් එක රන්ජන්ගේ හඬපට එළියට එද්දී වැදගත් වාර්තා රැසක් යට ගසමින් සිටින්නේ ජනතාවගේ සමස්ත අවධානය හඬපට වෙත යොමු කරවමිනි. පසුගිය වසර කිහිපය පුරාම මහත් ආන්දෝලනයක් ඇති කරමින් දිගින් දිගට ඇදෙමින් තිබුණු මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සිදු කර ඇති වෝහාරික විගණන වාර්තාව මින් එකකි. කෝප් කමිටුව විසින් හෙළිදරවු කරන ලද ප්‍රධාන දූෂණ ගණනාවක් පිළිබඳ විමර්ශන මේ වන විට අවසන් කර තිබේ.

එහෙත් මේ කිසිවක් පිළිබඳ රන්ජන්ගේ හඬපටවලට තිබෙන උනන්දුව තිබෙන බවක් පෙනෙන්නට නැත.

චතුර දිසානායක

Previous articleකිසිදා ජනතාවාදී නොවන තුනෙන් දෙකේ බලය
Next articleඅධිකරණයට අපහාස කළේ රන්ජන්ද, මාධ්‍ය ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here