රකින්න ආ රට විකුණන ආණ්ඩුව

10

බල අරගලය

අද පැහැදිලිවම ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර මහා බල අරගලයක් ඇති වෙමින් තිබේ. ඇමති ‘කටුවලින්’ සතුටු වී සිටින ඇමති මණ්ඩලය ඉන්නේ ද සිය බලතල අඩු වීම පිළිබඳව කනස්සල්ලෙන් බව පැහැදිලිය. රාජ්‍ය ඇමතිවරුන් සැනසීමට ලේකම්වරුන් පත් කර ආයතන බෙදා දීමට සිදුව තිබේ. සියලු බලතල කේන්ද්‍ර වී ඇත්තේ, රාජපක්ෂවරුන්ටය. ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ආදිය සඳහා මහින්ද සිය දේශපාලන ගැති අය පත් කරන අතර, ඒ බොහෝ දෙනකුට දූෂණ, වංචා චෝදනා තිබේ. ඒ අතර ගෝඨාභය රාජපක්ෂ තම ජනාධිපති ලේකම් තනතුර සඳහා පත් කර ගත්තේ, පී. බී. ජයසුන්දරය. වරෙක අධිකරණයෙන් තීන්දු කළේ ඔහුට රජයේ කිසිදු තනතුරක් දැරීම තහනම් බවය.

දැන් මේ ආණ්ඩුවට ඉදිරියට යාමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය ය යන්න පසෙක තිබිය දී, ජනපති ගෝඨාභය උත්සාහ දරන්නේ ව්‍යවස්ථා සංශෝධනයකටය. ඒ සඳහා දෝ විජේදාස රාජපක්ෂ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අංක 21 සහ 22 යනුවෙන් ව්‍යවස්ථා සංශෝධන දෙකක් ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයාට යළි බලතල පැවරෙන මෙකී යෝජනා හරහා සුළු පක්ෂවල පාර්ලිමේන්තු නියෝජනය අහෝසි කර දැමීම මෙහි අරමුණය.

විජේදාසගේ වැඩ

යහපාලන ආණ්ඩුව තුළට වී මේ විජේදාස රාජපක්ෂ කළේ හොරු බේරීමට කටයුතු යෙදීමය. ඔහු අධිකරණ ඇමති ලෙස පත් කළේ රනිල්ය. ‘ඇවන්ට් ගාර්ඞ්’ ජාවාරමේ ප්‍රධානියා වූ නිශ්ශංක සේනාධිපති සමඟ ඉතා කිට්ටු ඇසුරක් පවත්වමින්, ඔවුන්ගෙන් වාසි ලබා ගත් බව පැහැදිලිය. රාජපක්ෂ සමයේ සිටි දූෂිතයන්ට, හොරුන්ට නීතිය ක්‍රියාත්මක නොකෙළේ ඔහුය. එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරයකු ලෙස සිටිය ද, සිය වාසිය සඳහා පිල් මාරු කරමින්, නීතිඥ වෘත්තියේ ගරුත්වය ද කෙළෙසා දමා මේ විනාශකාරී සංශෝධන ගෙනෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ සිත දිනා ගැනීමටය.

එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුගයේ රාජපක්ෂලා තමන්ගේ නැදෑයන් යැයි කියා ඉගෙන ගත් පාඩම අද ඔහුට අමතකය. මහින්දගේ හිතවත් පත්තරකාරයන් ලවා ‘වක්කඬේ හකුරු හැංගූ කතාව’ ලියැව්වේ ඔහුටය. ඊට පසු කලක දී විජේදාසගේ මාලිගයට වෙඩි තැබූ කතාව ද, ඔහු බියට පත් වී සිටි විට මහින්ද එහි ගොස් ඔහු සැනසූ කතාව ද අතීතයට එක් වී අවසානය. ඒ රාජපක්ෂලාගේ හැටිය. එහෙව් පාඩම් ඉගෙන ගත් විජේදාස රාජපක්ෂට විලිලැජ්ජාව ගෑවිලාවත් නැති බව පෙනේ.

ලොව පුරා උස් නිදහස සොයා, සිය අයිතිවාසිකම් උදෙසා සටන් වදිද්දී, අපේ රට ගමන් කරන්නේ ලෝකය සමඟ ඉදිරියට නොවේ. අද සිදු කිරීමට යෝජිත මේ ව්‍යවස්ථා සංශෝධන වැනි දෑවලින් පෙනෙන්නේ මේ රට ආපස්සට යන බවය. රාජාණ්ඩු ක්‍රමය හෝ ගෝත්‍රික ක්‍රමය හෝ වෙනුවෙන් මිලිටරිවාදී ක්‍රමයක් කෙරෙහි අනුගත වෙමින් පවතින බවට සාධක බොහෝය. මේ ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීමට ක්‍රියා කිරීම ගැන මේ රටේ ජනතාව අවධානය යොමු කළ යුතුය.

රට විකිණීම

පසුගිය හවුල් ආණ්ඩුව මඟින් ජනවාරියේ වැඩි කිරීමට තිබූ වැටුප් වැඩි වීම දැන් ලැබෙන්නේ නැත. ජනතාවට ලබා දෙනවා යැයි කියූ සහනාධාර මල්ල ද ලැබෙන පාටක් නැත. බඩු මිල ද ඉහළ යමින් තිබේ. ලැබෙන විදේශ ආයෝජනයක් ද නොපෙනේ. විශ්වවිද්‍යාලවලට වැඩියෙන් සිසු සිසුවියන් ගන්නා බවට ප්‍රකාශ වුව ද, ඒ සඳහා කිසිදු වැඩපිළිවෙළක් නැත. තරුණයන්ට රැකියා දීම ද ප්‍රශ්නකාරීය. ඒ ලබා දෙනවා යැයි කියන රැකියා ලක්ෂයේ ‘ජොබ් හමුදාව’ ඉටු කෙරෙන කාර්යභාරය අපැහැදිලිය. රටේ සංවර්ධන කටයුතුවලට ද මුදල් නැත. දැන් සිදු වන්නේ විවිධ සංදර්ශන ඔස්සේ ආණ්ඩුව ඉදිරියට යාමය.

එදා මහින්ද රාජපක්ෂ යුගයේ ගෝල්ෆේස් පිටියේ විකිණූ ඉඩම ගැන පොහොට්ටුවේ කිසිවෙක් කතා නොකළහ. ඒ අයට එය ‘මවුබිම විකිණීමක්’ නොවේ. ඒ ඉඩම චීනයේ ‘ෂැංග්‍රිලා’ සමාගමට විකුණා ඇති බවටත්, එයින් ලද මුදල් අවභාවිත කළ බවට වූ චෝදනාවලටත් තවම පිළිතුරු නැත.

දැන් රාජපක්ෂවරුන් විසින් යළිත් මේ ඉඩම් විකිණීම අරඹා තිබේ. ෂැංග්‍රිලා හෝටලයට යාබද ඉඩම සිංගප්පූරු සමාගමකට විකිණීමට සියලු කටයුතු මේ වන විට සූදානම්ය. එදා ඔවුන් කියූ කතා අද ඇසෙන්නේ ද නැත. මේ පොළොව විකුණන්නට ඉඩ නොදෙන බවට වහසිබස් දෙඩූ රාජපක්ෂලා හැම දාම බලය ලැබුණු පසු කළේ මේ ටිකමය. ‘රටවත් ඉතිරි කර ගැනීමට’ ඡන්දය දුන් අයට රට ඉතිරි නොවනු ඇත. යහපාලනයේ මලික් සමරවික්‍රමලා ආරම්භ කළ මෙම ඉඩම විකිණීමේ ජාවාරම පෞද්ගලික වාසි ලබමින්, විකුණා දැමීමට රාජපක්ෂලා දැන් කටයුතු කරමින් සිටිති.

කතාව සහ කෙරුවාව

පසුගිය දා අසන්නට ලැබුණු නව ආණ්ඩුවේ රාජාසන කතාව ද අර පරණ ආණ්ඩුවල කෙරුවාවේම තවත් කොපියකි. “කරනවා”, “දෙනවා”, “උත්සාහ කරනවා” හැරුණු විට මෙහි ද කිසියම් ස්ථිරසාර විසඳුම් හෝ ක්‍රමෝපායයන් ඇතුළත්ව නැත. පසුගිය දා

අගමැති මහින්ද අනුරාධපුරයට යාමට හෙලිකොප්ටර් යොදා ගත්තේය. මේ පසුගිය මාසයට පමණත් මහින්ද රාජපක්ෂ අනුරාධපුරයට සහ මහනුවරට වන්දනාවේ යාමට වියදම් කළේ මහජන මුදල් නොවේ ද? තමාගේ පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට මෙලෙස මහජන මුදල් මේ ආත්මයේ දී වැය කිරීම සාධාරණීයකරණය කරන්නේ කෙසේ ද?

එක් ආණ්ඩුවක් අත්සන් කළ ගිවිසුමක් ඊ ළඟට පත් වන ආණ්ඩුවකට අවලංගු කිරීමට නොපුළුවන් බව පොහොට්ටුවේ පණ්ඩිතයත් දැන්වත් වටහා ගත යුතුය. පරණ වැඩපිළිවෙළම තවත් වටයකින් ඉදිරියට ගෙන යාම පමණකි දැන් සිදු වන්නේ. ඒ ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවලංගු කිරීමට තබා වෙනස් කිරීමටවත් මේ ආණ්ඩුවට නොහැකිය. එදා දෝෂ දර්ශනයට ලක් කළ සියලුම ගිවිසුම් මේ ආණ්ඩුව අත්සන් කරනු ඇත.

මේ ආණ්ඩුව යම් යම් ආයතනවල සේවකයන් ඉවත් කිරීම ද ප්‍රශ්නයක් වී තිබේ. ලංකා ඛනිජතෙල් සංස්ථාවේත්, නිවාස අධිකාරියේත් මේ ආකාරයට විශාල පිරිසක් ඉවත් කරන බවට තොරතුරු තිබේ.

තවද, ආණ්ඩුවේ ‘වැට්’ බදු අඩු කිරීම තුළින් රටේ ජනතාවට කිසිදු සහනයක් අත් වී නොමැත. මේ ආණ්ඩුව පත් කිරීමට දායක වූ බොහෝ පිරිස් අද හැසිරෙන්නේ ‘කෂාය බිව් ගොළුවන්’ පරිද්දෙනි. මහා මැතිවරණය තුනෙන් දෙකක බලයක් සහිතව ජයග්‍රහණය කිරීම සිහිනයක් පමණි. නාමයෝජනා සඳහා සියලු දිස්ත්‍රික්කවල දැනට මත් ගැටුම්ය. ‘බොර දියේ මාළු බා ගැනීමට’ බොහෝ දෙනා සූදානමින් සිටිති.

පරණ පාර

මේ රජය කරන ඇතැම් කටයුතු නිසා කාට වුව ද, මේ අය මර්දනකාරී මිලිටරි යුගයකට පියවර නඟන්නේ දැයි යන හැඟීමක් ඇති වීමට පුළුවන. සියලු රාජ්‍ය ආයතනවලට බුද්ධි අංශ නිලධාරීන් යොදවන්නේ කුමක් නිසා ද? ආණ්ඩුවට එරෙහි සංවිධාන, මතවාද, අදහස් ආදිය පිළිබඳව ඔවුන් ආණ්ඩුවට තොරතුරු සපයනවා විය හැකිය. විශේෂයෙන් ශිෂ්‍ය දේශපාලනය මේ ආණ්ඩුවට මහත් හිසරදයක් බව පෙනේ. මේ හදන්නේ ජනතාව නොහිතන පැතිකඩක් හරහා බලය ගෙන යාමටය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසු සිසුවියෝ ලක්ෂය ද ඉක්මවා සමත් වී සිටිති. ඉන් සරසවි ප්‍රවේශය හිමි වන්නේ විසි දෙදහසක පමණ සංඛ්‍යාවකට පමණි. මැතිවරණ ප්‍රකාශනවලින් පොරොන්දු වූ පරිදි මේ අයට සරසවි වරම් ලබා දීමට ආණ්ඩුවේ කිසිදු සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැත.

දැන් දැන් මේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි සංඝයා ද මැසිවිලි, චෝදනා නඟනු පෙනේ. ‘සිහල රාවයේ’ මාගල්කන්දේ සුදත්ත භික්ෂුව කියන්නේ, මහින්ද රාජපක්ෂට විශ්‍රාම යන ලෙසය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ රාජිත සේනාරත්නගේ සුව දුක් විමසීමට ගියහ. ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරී සංගමය දූෂිතයන් බව උන් වහන්සේ කියති. ජාතිවාදී, ආගම්වාදී බලවේග සමඟ ආණ්ඩුවක් කිරීම අසීරු බව මේ නායකයන්ට තවම වැටහී නොමැත. එදා බණ්ඩාරනායක පත් වූයේ ද මෙවැනි ම අර්බුදයකටය.

වසර 71ක් ම මේ දේශපාලන පක්‍ෂවලට රැවටුණු රටේ ජනතාව මෙවර ද ඉහළම අන්දමට රැවටී සිටිති. ආණ්ඩු බලය කුමන ආකාරයෙන් හෝ ගැනීමට දක්ෂ වුව ද, රට නිසි ආකාරයට පාලනය කිරීමට මේ අයට නොහැකිය. අද තිබෙන්නේ, ප්‍රතිකර්ම යෙදිය නොහැකි තරමටම ජරාජීර්ණ වී ඇති දේශපාලන පල් වළකි. එහි කරවටක් ගිලුණු බොහෝ මිනිසුන්ට ද එහි ගඳ දැනෙන්නේ නැත.

ඩී.බී. ඇල්කඩුව

Previous articleරාජ්‍ය සේවක වැටුප් කප්පාදුව ඇරඹේ
Next articleඋසස් පෙළ A තුනක් දහඅටදාහයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here