පූඩළුඔය ගඟ කරන්නාගොඩට දෙයි !

15

පරිසර නීති උල්ලංඝනය කරමින් පූඩළුඔය ගඟ හරස් කර කුඩා විදුලි බලාගාර ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට අනුමැතිය ලබාදීමේ උත්සාහයක් ක්‍රියාත්මක වේ.
පූඩළුඔය ගඟේ වැවහේන පාලමට ඉහළින් පිහිටි වැවහේන ඇල්ල සහ එගොඩවෙල ඇල්ල හරස් කරමින් මෙම කුඹල්ඔළුව කුඩා විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත ය. මේ දියඇළි දෙක ම ගැසට් කිරීමට නියමිතව ඇති දියඇළි වේ.
2016 වසරේ දී මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූවද, ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය නිසා එය අතරමග නතර කෙරිණි. ඉන්පසු නැවත 2019 වසරේ දී ද එවැනි උත්සාහයක් ක්‍රියාත්මක විය. නමුත් වසන්ත කරන්නාගොඩ හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව පැවැති නාවික කප්පම් නඩුවේ චෝදනා ද ඉවත් කරගන්නා බව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් අධිකරණයට දැනුම් දුන් දිනවලින් පසු, අදාළ ව්‍යාපෘතියේ කටයුතු ද කඩිනම් කිරීමේ උත්සාහයක් පවතී.
පසුගිය 23 වැනිදා මධ්‍යම පළාත් පරිසර අධිකාරියේ ඉහළ නිලධාරියෙකු විසින් මේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. මෙවැනි ව්‍යාපෘතියක් අනුමත කළ යුතු ආයතනවලින් බහුතරයක් නොමැතිව, එම නිලධාරියා විසින් අන්තර්ජාලය ඔස්සේ මේ පිළිබඳ හදිසි සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙන බව ද වාර්තා වේ. මීට විරෝධය දක්වමින් රාජ්‍ය ආයතන කිහිපයක් දැනුම් දී ඇත්තේ අදාළ ස්ථානය නිරීක්ෂණය කළ යුතු බවයි.
එහෙත් අදාළ නිලධාරියා එය වළක්වා ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා එවැනි නිරීක්ෂණ චාරිකාවක් සැලසුම් කළ නොහැකි බව පවසමිනි. කෙසේ වෙතත් පරිසර නීති සියල්ල නොතකමින් සිදුකිරීමට උත්සාහ කරන මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය නිසා ලබන 07දා මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට එකඟ වී තිබේ.
මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ස්ථානය දිය ඇළි හතක් එකට පිහිටි සුවිශේෂී පරිසර පද්ධතියකි. එයින් දියඇළි දෙකක් හරස් කිරීමට මුලදී සැලසුම් කර තිබූ අතර, පසුව එක් දිය ඇල්ලක් පමණක් හරස් කරන බව ප්‍රදේශවාසීන්ට දැනුම් දී තිබේ. කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ දිය ඇළි දෙක ම හරස් කොට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන වාර්තාවක් සකස් කර ඇති බවයි.
– ශාලික විමලසේන
(මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් ලබන සතියේ 2021 -12- 05 ‘ලංකා’ පුවත්පතේ පළවේ.)

Previous articleහොරුන්ව ඇල්ලීම – “හොරුන්ට හසුවීම”
Next articleනීතිපතිගේ විරෝධතා ප්‍රතික්ෂේපයි – කැබිනට් තීරණයට එරෙහි පෙත්සම විභාගයට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here