නිවෙස්වල සහ වැඩබිම්වල ‘පුපුරණ ද්‍රව්‍ය’ මිලියන 9ක්..!

12

ඇමතිවරුන්ට දැනුම්දුන්නත් ප්‍රතිචාරයක් නෑ-
රට තුළ ගෑස් හිඟයක් පවතින්නා සේ ම පෝලිමේ සිට ලබා ගත් ගෑස් සිලින්ඩරය තමන්ට මරු කැඳවාදැයි මර බියෙන් පසු වීමට ද ජනතාවට මේ වන විට සිදුව තිබේ. ඒ ගෑස් සිලින්ඩර පුපුරා ගිය බවට තොරතුරු වාර්තා වීම හේතුවෙනි.
ගෑස් සිලින්ඩරයක් පුපුරා යෑමෙන් පුද්ගලයකු මිය ගොස් තවත් පිරිසක් තුවාළ ලබා තිබිණි. මෙලෙස පුපුරා ඇත්තේ, වැලිගම ප්‍රදේශයේ අවන්හලක ගෑස් සිලින්ඩරයකි. එහි දී අවුරුදු 70ක පමණ පිරිමි පුද්ගලයකු මිය ගොස් ඇත.
නිසි විමර්ශනයක් නෑ
මෙවැනි සිද්ධීන් කිහිපයක්ම රට තුළින් වාර්තා වීමත් සමඟ බොහෝ දෙනා ඊට හේතු සොයා බලන්නට වූහ. එහි දී වාර්තා වන්නට වූයේ ගෑස් සමාගම් දෙකම හොර රහසේ ගෑස් සංයුතිය වෙනස් කර ඇති බවකි. මේ සම්බන්ධයෙන් ‘පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය’ විසින් ප්‍රමිති ආයතනයට පැමිණිලි ද කර තිබිණි.
නමුත්, තවමත් ජාතික මට්ටමේ විද්‍යාත්මක විමර්ශනයක් මේ සම්බන්ධයෙන් කර නැත. කොළඹ තුරඟ තරග පිටියේ ප්‍රේක්ෂකාගාර ගොඩනැඟිල්ලේ පිහිටි මැක්ඩොනල්ඩ් අවන්හලේ පිපිරීමක් වූයේ 20දා උදෑසන ය. ඉන් හට ගත් ගින්නෙන් තරුණයන් දෙදෙනකුට සුළු තුවාළ සිදු වූ බව පොලිසිය සඳහන් කළේය. එසේම මෙම ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට රජයේ රස පරීක්ෂකවරයා කළ පරීක්ෂණවල දී තහවුරු වූ බව ද පොලිසිය ප්‍රකාශ කළේ ය.
මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයක ද මේ ආකාරයටම පිපිරුමක් සිදු වූ අතර, එයට හේතුව ලෙස සඳහන් කළේ ද ගෑස් කාන්දුවකි. එයට අමතරව මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගින්නට හේතුව ද ගෑස් කාන්දුවක් නිසා ඇති වූ පිපිරුමක් බවට තොරතුරු හෙළිදරව් වූයේ ය.
ගෑස් කාන්දු වීමෙන් වූ අනතුරු ගැන වරින් වර වාර්තා වුව ද, ළඟ ළඟ පිපිරුම් කිහිපයක් වීම අසාමාන්‍ය තත්ත්වයකි. නමුත්, ඒ ගැන සමාජයේ වැඩි අවධානයක් යොමු නොවුණ ද, පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් මේ සම්බන්ධයෙන් සමාජය තුළ බියක් හට ගත්තේ ය.
සංයුතිය වෙනස් කිරීම
විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන කී කතාව වන්නේ, මෙරට මේ වන විට අලෙවි වන එල්. පී. ගෑස්වල ප්‍රමිතිය බාල වී ඇති බවකි. එල්.පී. ගෑස් යනු රසායනික ක්‍රියාවලියකි. ගෘහස්ථ ගෑස් තුළ පවතින ‘බියුටේන්’ සහ ‘ප්‍රොපේන්’ අනුපාතය වෙනස් කොට ඇති බව ඔහු කීවේ ය. ප්‍රොපේන් සංයුතිය වැඩි කිරීම හේතුවෙන් ගෘහස්ථව ගෑස් සිලින්ඩර භාවිත කරන ජනතාව හමුවේ අනතුරක් නිර්මාණය වී ඇති බව එහි දී අනාවරණය විය. එයට හේතුව ප්‍රොපේන්වල තාපාංකය නැතිනම් ගිනි ගැනීමට තිබිය යුතු උෂ්ණත්වය බියුටේන්වලට සාපේක්ෂව බෙහෙවින් වැඩි වීමය.
ගෑස් සිලින්ඩරයක තිබෙන්නේ එල්.පී. ගෑස් ය. එය ප්‍රොපේන් සහ බියුටේන් යන රසායනිකයන්ගේ සංයෝගයකි. මෑතක් වන තුරුම ගෘහස්ථ එල්.පී. ගෑස් සංයුතිය පැවැතියේ ප්‍රෙපේන් 20% – 30%ත් අතර ප්‍රතිශතයකි. බියුටේන් 70% – 80ක ප්‍රතිශතයකි. එසේ කරනුයේ නිසි ලෙස ගෑස් උදුන වෙත යොමු කිරීමට බව රසායන ඉංජිනේරු චන්දන පීරිස් කීවේ ය.
ප්‍රොපේන් ඉක්මනින් ගිනි ගැනීමට ලක් වන බැවින්, ප්‍රොපේන් ප්‍රතිශය වැඩි නොකරන බව ද ඔහු සඳහන් කළේය. ප්‍රෙපේන් වැඩි කිරීම හේතුවෙන් ඉක්මනින් දහනය වන නිසා ගෑස් භාවිතය වැඩි වී ගෑස් ඉල්ලුම ද ඉහළ යනු ඇත.
නීති විරෝධී ක්‍රියාවක්
පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන එම තනතුරේ සිටිය දී ම ගෑස් සමාගම් මෙරට එල්. පී. ගෑස් සංයුතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් කතා කළේ ය. ඔහු කීවේ මෙරට පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් ගෑස් සමාගම් ප්‍රොපේන් සහ බියුටේන් ප්‍රතිශතය වෙනස් කර ඇති බව ය. එසේ ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කිසිදු නිල අවසරයකින් තොරව හිතුමතේ ගෑස් සංයුතිය වෙනස් කර ඇති බව ද ඔහු සඳහන් කර ඇත. ගෑස් සමාගම් දෙක යම් එකඟතාවකට පැමිණ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ සංයුතිය වෙනස් කර ඇති බව ද තුෂාන් ගුණවර්ධන කීවේ ය.
මෙම වසරේ අප්‍රේල් මාසයේ සිට ගෑස් සිලින්ඩරයේ ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය 50% – 50% මට්ටමට ගෙනැවිත් තිබේ. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක තිබිය යුතු ප්‍රොපේන් ප්‍රතිශතය ඉහළ දැමීම භයානක කරුණක් බව ද රසායනික ඉංජිනේරු චන්දන පීරිස් ප්‍රකාශ කළේය. තුෂාන් ගුණවර්ධන කියනුයේ පාරිභෝගික
අධිකාරිය ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාර වාර්තාවක් මඟින් ගෑස් ප්‍රතිශතය වෙනස් කළ බව තහවුරු කර ගත් බව ය.
ඇමති දෙපළට දැනුම් දීමක්
එය බරපතළ කරුණකි. මෙම කාරණය ගැන පාරිභෝගික අධිකාරිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට දැනුම් දී තිබේ. කාර්මික කටයුතුවල දී බහුලව භාවිත වන බියුටේන් ප්‍රතිශතය වැඩි කිරීම ගෘහස්ථ ගෑස් භාවිතයට තර්ජනයක් වන්නේ මෙයින් පීඩනය වැඩි කරන නිසා බවත් සිලින්ඩර ටැංකියේ හෝ සිලින්ඩර වෑල්වයේ යම් පළුදු වීමක් ඇතිව තිබුණහොත්, ගෑස් කාන්දුවක් ඇති වීමට ඉඩ තිබෙන බවත් රසායන ඉංජිනේරු පීරිස් සඳහන් කළේ ය.
කෙසේ නමුත්, පාරිභෝගික අධිකාරිය ඇමැතිවරුන් දෙපළට දැනුම් දී ඇත්තේ, ප්‍රොපේන්වල තාපාංකය පහළ අගයක් එනම් සෙල්සියස් අංශක සෘන 42ක් පමණ අගයක් ගන්නා නිසා එය පහසුවෙන් දැල්වීමේ සහ වාෂ්ප වීමේ හැකියාවක් පවතින බැවින්, එය ශීත කාලගුණයක් පවතින රටවලට ගැළපුණ ද, ලංකාව වැනි රටවල ගෘහස්ථ භාවිතයට සුදුසු නැති බව ය.
එසේ වුව ද, සංයුතිව වෙනස් කිරීම සම්බන්ධයෙන් රට තුළ පිළිගත් ප්‍රමිතියක් නොමැති බැවින්, පාරිභෝගික
පනත සංශෝධනය කර ප්‍රමිතිගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බවට ද අධිකාරිය ඇමැතිවරුන්ගේ අවධානයට යොමු කර තිබේ.
ගෑස් ප්‍රමිතිය වෙනස් කිරීම අනතුරුදායක බැවින්, ප්‍රමිති ආයතනය මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතුය. වැලිගම ප්‍රදේශයේ හෝටලය තුළ ගෑස් කාන්දු වූ සිලින්ඩරය අලුතින් විවෘත කළ එකකි. එයින් සැලැකිය යුතු ගෑස් ප්‍රමාණයක් දිනක් තුළ කාන්දු වී තිබීම සැලැකිය යුතු කාරණයකි. අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් මෙම කාන්දුව වූයේ කොතැනින් ද යන්න පිළිබඳව සොයාබැලිය යුතු ය. එය ඉදිරි අනතුරු වළක්වා ගැනීමට හේතු වන්නේ ය.
ගෑස් සමාගම්වල ප්‍රතිචාර
ජනතාවට දැන් ගෑස් ළිප් විවෘත කිරීමට පෙර නිවසට හොඳ වාතයක් සපයා ගත යුතුව තිබේ. ඒ වෙනුවෙන් ජනතාව දැනුම්වත් නොකළහොත්, තවත් අනතුරුවලට අතවැනීමක් වනු නියත ය. මේ කාරණය සම්බන්ධයෙන් ‘ලිට්රෝ’ සමාගම ද මාධ්‍ය හමුවක් කැඳවා පිළිතුරු දුන්නේ ය. ඔවුන් කියා සිටියේ ප්‍රමිතියේ වෙනසක් සිදු කර නොමැති බව ය. අලෙවි අධ්‍යක්ෂ ජනිත පතිරත්න කීවේ, ගෑස් අනාරක්ෂිත බවට කරන ප්‍රකාශ සාවාද්‍ය බවකි.
එම සමාගමේ රසායනික ඉංජිනේරු ජයන්ත බස්නායක කීවේ, ගෑස් සිලින්ඩරයේ සංයුතියේ කිසිදු වෙනසක් කර නැති බව ය. කාලයක් තිස්සේ පවතින සංයුතිය තව දුරටත් පවත්වාගෙන යන බව ද ඔහු සඳහන් කළේ ය. ප්‍රොපේන් හා බියුටේන් ප්‍රතිශතය සකසන්නේ වාෂ්ප පීඩනයට ගැළපෙන ආකාරයට බව ද රසායනික ඉංජිනේරු බස්නායක තව දුරටත් කීවේ ය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වෙළෙඳ පොළට ගෑස් නිකුත් කරන බවද ඔවුහු පැවසුවෝ ය.
මිලියන 9ක ප්‍රමිතිය සහතික ද?
ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මිලියන 6ක් සහ ලාෆ් ගෑස් සිලින්ඩර මිලියන 3ක් ලෙස ගෑස් සිලින්ඩර මිලියන 9ක් පමණ මේ වන විට රට තුළ භාවිත වේ. මේ සියල්ල ප්‍රමිතිගත ද යන්න සොයාබැලිය යුත්තේ ප්‍රමිති ආයතනය විසිනි. කුෂාන් ගුණවර්ධන කර ඇති ප්‍රකාශය සත්‍යය ද කියා තහවුරු කළ යුත්තේ ද ප්‍රමිති ආයතනය විසින්මය.
එක පසෙකින් ගෑස් නොමැතිව ගෑස් පෝලිම් ය. අනෙක් පසින් ගෑස් මිල දී ගත්තාට පසු නිවස තුළ බෝම්බයක් තබාගෙන සිටිනවා ද යන බිය ය. ‘ලාෆ්’ ගෑස් සිලින්ඩර මිලියන 3ක් පුරවා ගැනීමට නොහැකිව ජනතාව නිවෙස් තුළ තබා ගනිමින් සිටිති. ඔවුන් මේ සිලින්ඩර ලබා ගෙන ඇත්තේ සමාගම්වලට තැන්පතුවක් ද තබමිනි. සමාගම්වලට ගෑස් දිය නොහැකි නම්, මේ සිලින්ඩර ලබාගෙන ජනතාවගෙන් ලබා ගත් තැන්පතු යළි ලබා දිය යුතුය. අවසානයේ පීඩාවට පත් වන්නේ ජනතාව ය.
– ලසන්ත වීරකුලසුරිය

Previous articleඇල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවනවරටත් පරාදයි
Next articleලංකා e-paper (2021.11.28)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here