ආන්තික සමාජ විෂමතාව තුළින් පොළාපනින ‘‍විෂම භාග’

චිත්‍රපටය පුරා උච්චතම අවස්ථා (Climax) ගණනාවක් නිර්මාණය කරන ලලිත්ගේ තිර පිටපත ඒ සෑම අවස්ථාවක ම ප්‍රේක්‍ෂකයා මංමුළා කරවයි. උච්චතම අවස්ථා ගිලිහී සාමාන්‍ය තත්ත්වයට පත් වන්නේ ප්‍රේක්ෂක සිතුවිලි පරාසයෙන්  පරිබාහිරවය. එය කිසියම් නාටකීය ගුණයක් හා ප්‍රේක්ෂකයා හා චිත්‍රපටය අතර අවිච්ඡින්න සම්බන්ධකමක් ගොඩනඟයි.

කලාත්මක සිනමාව හුදු හිතලුවක් ලෙසට ලඝු කර ඇති ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තය විනෝදාස්වාදනය අලෙවි කරන වෙළෙඳපොළක් බවට පත් වී බොහෝ කල්ය. ඒ අතරතුර වුව ද, දුරාවාරයේ පන්තිමය සමාජ ව්‍යුහයක, සමාජය විසින්ම ආන්තිකකරණය වූ ජන කණ්ඩායම්වල ඛේදනීය ඉරණම සිනමා අත්දැකීමක් ලෙස අපට සම්මුඛ කිරීම සිනමා කර්මාන්තය විසින් ම ආන්තිකකරණය කළ අප යළි සිනමා ශාලාව වෙත කැන්දන ආකර්ෂණයක් බව සඳහන් කළ යුතුය. එවැනි සිනමා කෘතියකින් ඇති වන සසල වීම ජීවිතය පිළිබඳව තේරුම් ගැනීමට වෙනස් කවුළුවක් අපට විවෘත කර දීමකි.

පුබ්බරු පුතේ දුක බෝමයි හඬන කොට

වෙනදාටත් වඩා තනිකම දැනෙයි මට

නුඹත් හඬනවා පැටියා මළ දුකට

කිරිල්ලියේ මම මොනවා කරන්න ද

ජනශ්‍රැතියේ එන ගායනයක් බඳු මේ ගැයුම වෙන් වීම, හැඟවීම පමණක් නොව ඒ හැඟීම දැනවීම සඳහා අවශ්‍ය පරිසරය ද අපේ සිත තුළ නිර්මාණය කරන්නකි.  පළමුවරට ගැයුමක් ලෙස සිනමා ශාලාව තුළ දී මෙය ඇසූ විගස මෙහි මූලාශ්‍රය සොයා යා යුතු යැයි අපට හැඟි‍ණි. වැලපුම් ගීයක ස්වරූපයෙන් හා ස්වර රටාවලින් හෙබි මේ ගැයුම චිත්‍රපටයේ මුඛ්‍යාර්ථය සමග සහසම්බන්ධ වන්නේ අවියෝජනීය ලෙසය.

චිත්‍රපටය: විෂම භාග

අධ්‍යක්ෂ: ලලිත් රත්නායක

නූතන ශ්‍රී ලංකාව නූතන දැයි සිතෙන තරමට සෑම ක්ෂේත්‍රයකම දකින්නට ලැබෙන්නේ එක්කෝ යල්පැනගිය ක්‍රමවේදයන් භාවිතයට ගැනීමකි. නැත් නම්, එකිනෙකට නොගැළපෙන දේ එකට පවත්වාගෙන යාමට උත්සාහ ගැනීමකි. මෙය බොහෝ ගැටලු නිර්මාණය කිරීමට හේතුවක් වී තිබෙන බව සරල අවබෝධයක් ඇති ඕනෑම කෙනකුට වටහා ගත හැකිය. අනෙක් ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව ගත් කල රටක අධ්‍යාපන ක්ෂේත්‍රය යනු එහි අනාගත පදනම බව අවිවාදිතය. එහෙත්, වර්තමාන ශ්‍රී ලාංකික අධ්‍යාපනය ඒ අනාගත පදනම ශක්තිමත්ව සකස් කිරීමේ අවංක වුවමනාවෙන් කටයුතු කරන්නේ දැයි සැකසහිත වේ. තවමත් ලංකාවේ පාසල් තුළ ක්‍රියාත්මක වන්නේ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය විනා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් නොවේ. මේ යල්පැනගිය ක්‍රමය දරුවන් තුළ ඇති සුවිශේෂ නිසග විභවතාවන් උපන් ගෙයිම මරා දමන්නට සමත් වේ. ලලිත් රත්නායක නම් වූ සලරූ අධ්‍යක්ෂවරයා සිය ප්‍රථම නිර්මාණය සඳහා යොදා ගන්නේ මේ සමාජ – දේශපාලන ගැටලුවයි.

ලලිත් සිය නිමිත්ත සිනමා ආඛ්‍යානයක් ලෙස ගොඩනඟන්නේ, සිනමාව යනු සාහිත්‍යමය කටයුත්තක් නොව රූපමය කටයුත්තක් බව තරයේ අවබෝධ කර ගනිමිනි. ඒ නිසා ලලිත් සෑම විටම රූපය සිය ප්‍රමුඛ ප්‍රකාශන මාධ්‍ය බව දැන මුළු‍ සිනමා පටය පුරා ම එය අපූරුවට භාවිත කරයි. වියළි කර්කෂ භූමියක පැළ වෙන්නට වෙර දරන දරුවන් දෙදෙනකු හා ඔවුන් මුහුණ දෙන ජීවන අරගලය පදනම් කරගෙන චිත්‍රපටයේ  මූලික කතා පුවත ගොඩනැඟේ. බැලූබැල්මට බොහෝ දෙනකුට මෙහි කතාවක් නොමැති බව පෙනී ගිය ද, තල දෙකකින් දිව යන කතා පුවතක් ඊට අන්තර්ගත වේ. එය හුදු කතාන්දරයක් නොවේ. කතා නිමිත්තකි. ඒ නිමිත්ත ඔස්සේ තම තමන්ගේ ජීවිත යළි පිරික්සා බලන්නැයි ලලිත් ප්‍රේක්ෂකයාට ආරාධනා කරයි. නිවුන් සොහොයුරන් වන රුවන්සිරි (පන්සිළු වික්‍රමරත්න) හා කමල්සිරි (පංකජ වික්‍රමරත්න) ඉතා දුෂ්කරව සිය අධ්‍යාපනය කරගෙන යාමට උත්සාහ දරන්නෝය. නිවුන් සොහොයුරන් වුව ද, දෙදෙනා එකිනෙකාට පරස්පර වේ. වැඩිමල් දරුවා ලෙස රුවන්සිරි සිය පවුලේ දුෂ්කරතා අවබෝධ කර ගත්තෙකි. ඔහුගේ වැඩි නැඹුරුවක් හා දක්ෂතා ඇත්තේ සෞන්දර්යය විෂයයන් කෙරෙහිය. නමුත් බාල සොයුරා කමල්සිරි පවුලේ කටයුතුවලට වඩා සිය අධ්‍යාපන කටයුතු කෙරෙහි නැඹුරු වූවෙකි. රුවන්සිරි ගණිතයට අකැමැති අතර කමල්සිරි ගණිතයට ප්‍රියය. ලලිත් මෙහි දී සංකේතාත්මකව ගණිතයේ එන විෂම භාග පාඩම චිත්‍රපටයට භාවිත කරයි. සොහොයුරන් දෙදෙනා නිවුන් අය වුව ද, එක් මව කුසින් උපන්නේ වුව ද, එකිනෙකාට වෙනස්ය. දෙදෙනා විෂම භාගයන්ය.

රුවන්සිරි කිසියම් මානසික පීඩාවකින් ද පෙළෙයි. පියා වකුගඩු රෝගයෙන් මිය ගොස්ය. සීයා රෝගීය. මව රෝගී වෙතැයි ඔහු තුළ ඇත්තේ අනියත බියකි. ඒ නිසාම බොන්නට පිරිසිදු වතුර සොයා ඔහු දුරබැහැර කඳුමුදුනක් වෙත ගොස් ස්වාභාවික ජල උල්පතකින් ජලය රැගෙන එයි. අනෙක් පැත්තෙන් සාම්ප්‍රදායික ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ඔහු පාසලේ දී පීඩාවට පත් කරයි. ගණිත ගුරුවරයා සිතන්නේ ගණිතය සමත් වීම ජීවිතය ගලවා ගැනීමේ ඒකායන මාර්ගය ලෙසයි. සෞන්දර්ය විෂයන්ට නැඹුරු වීම ඔහුට අනුව දරුවන් කැලේට දැක්කීමකි. නමුත්, රුවන්සිරිගේ සතුට උපදින්නේ සෞන්දර්ය විෂයන් ඇසුරේය. මේ උභතෝකෝටිකය මුළු‍ චිත්‍රපටය පුරාම දිවෙන්නෙකි. ලලිත් එය සිනමාරූපී රූපමය බසකින් අපට කියයි. ඔහු බොහෝ විට රූප රාමුව දෙකට බෙදා වෙන් වන ආකාරයේ දර්ශනයන් රූගත කරයි.  යුගල වස්තූන් භාවිතය ද වරින්වර සිදු කරයි. ඒ සෑම එකකින්ම අවධාරණය කෙරෙන්නේ චිත්‍රපටයේ තේමාව තුළ දිවෙන ද්විඝටනාත්මක බව මතුකරලීමයි. පුවක් ගෙඩියේ පියලි දෙක, වැලේ වනා ඇති සුදු කමිස දෙක, ලී කුලුනක් මැදි කර දැක්වෙන මැදි දුර රූප චිත්‍රපටයේ වරින්වර දක්නට ලැබේ.

දරුවන් දෙදෙනාගේ ගතිලක්ෂණ පෙන්වන රූප රාමු ගණනාවක් ද ලලිත් මෙහි දී භාවිත කරයි. දරුවන් දෙදෙනා පාසල් යන ආකාරය මෙයට කදිම උදාහරණයකි. කමල්සිරිට ඇත්තේ වේගවත් ගමනක්ය. රුවන්සිරිට ඇත්තේ, සෙමෙන් ගමනක්ය. රුවන්සිරි සතුන්ට ආදරය කරයි. කමල්සිරි එසේ නොවේ. මඟ වඩින හාමුදුරුවන් කමල්සිරි ගණනකට නොගනී. රුවන්සිරි නියරින් බැස හාමුදුරුවන්ට ගෞරවනීය ලෙස ඉඩ දෙයි. රුවන්සිරි නිවස දෙසට හැරුණෙකි. නිවසේ කටයුතු කෙරෙහි ඔහු සිය වයස ඉක්මවා ගිය මැදිහත් වීමක් කරයි. කමල්සිරි එසේ නොවේ. දෙදෙනා සමාන භාග නොවී විෂම භාග වන්නේ එලෙසිනි. ගණිත ගුරුවරයා වන හේමචන්ද්‍ර මේ දෙදෙනා අතර ඇති මේ පරස්පරතාව අවබෝධ කර ගැනීමට අසමත් වේ. ඔහුට ගුරු භූමිකාව තුළ සාම්ප්‍රදායිකව නිමවා දී ඇති කෝවට මේ දරුවන් දෙදෙනාම දමන්නට උත්සාහ ගනියි. එසේ නොවෙන විට කිපෙයි. රුවන්සිරිට පාසල අප්‍රසන්න තැනක් බවට කෙමෙන් පත් වේ. ලලිත් එය අපූරූ රූපමය දර්ශනයකින් අපට ඉඟි කරයි. එකම වැලේ වනා ඇති රුවන්සිරිගේත් කමලසිරිගේත් පාසල් සුදු කමිස දෙකෙන් එකක් සුළඟට හසුව වැලෙන් ගිලිහී යන දර්ශනය අපට සන්නිවේදනය කරන්නේ එයයි. ලලිත්, නළු නිළි මුවගට නඟන දෙබස්වලින් නොව රූපයෙන් අප සමඟ සන්නිවේදනය කරන්නේ එලෙසිනි.

අවස්ථා දෙකක දී චිත්‍රපටයේ පෙන්වන ගම හරහා ඇවිද යන පැවිදි රුව සංකේතවත් කරන්නේ කුමක් ද? එය තවමත් ලංකාවේ ගම තුළ මුල්බැස ගත් ආගමික අධිපතිවාදය නියෝජනය කරන්නකි. විසල් ලෝක දැක්මක් නැති ගැමියා තවමත් තමන් පෙළන සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු පවට හිලවු කරන, ඒ සඳහා අවසාන වශයෙන් ආගමෙන් විසඳුම් පතන පසුගාමී ස්වරූපය සංකේතවත් කරන්නකි. 

චිත්‍රපටයේ දෙවන තලයේ දිවෙන කතාව වන්නේ බැරලෝහ සහිත පොහොර හා විෂකාරක නාශක ද්‍රව්‍ය ද භාවිත කිරීම නිසා වියළි කලාප ආශ්‍රිත ගොවීන්ගේ ජීවිත විෂමකාරී ව්‍යසනයන්ට පත් වෙන ආකාරයයි. අධ්‍යාපනයේ සමාජ ගැටලු‍වත්, කෘෂිකර්මාන්තයේ සමාජ ගැටලු‍වත් එකිනෙක හා බද්ධ වන ආකාරයෙන් ලලිත් සිය නිර්මාණය තුළ වෙළුකවන්නේ (Twisting) ඉතාම නිර්මාණශීලී ආකාරයෙනි. එක් තැනක බණ්ඩාරගේ (ප්‍රියන්ත සිරිකුමාර) මුවට නංවන දෙබස “තව ටික දවසකින් හාල්වලටත් තෙල් ගහන්න වෙයි”‍ යන්න කෘෂිකර්මාන්තයේ වත්මන් අර්බුදයේ ස්වභාවය සාරාංශගත කරන්නකි.

විෂම භාග චිත්‍රපටයේ සමස්ත නළු ‍නිළියන් හැසිරවීමේ දී ඔවුන්ගෙන් 100%ක් ලබා  ගැනීමට ලලිත් සමත් වී ඇති ආකාරය ද සඳහන් කළ යුතු ය. විශේෂයෙන් නවක ළමා නළුවන් වන පංකජ හා පන්සිළු ඔහු හසුරුවන්නේ මැටි පිඬකින් පිළිම නෙළන්නකු  ලෙසිනි. එයින් ද රුවන්සිරිගේ චරිතය නිරූපණය කරන පන්සිළුගේ රංගනයන් දියුණු තලයක තබා හසුරුවන්නට ලලිත් සමත් වේ. රුවන්සිරිගේ මුහුණෙන් හැඟීම් දැනවීම (Facial Expressions) අත්දැකීම් සහිත රංගන ශිල්පියකුගේ රංගකාර්යයන් ඉක්මවා යන්නකි. ඉතා කෙටි පෙනීසිටීමක් වුව ද, සංගීත ගුරුවරිය වන සකුන්තලා (තිලක්ෂිණී රත්නායක)ගේ නිරූපණ හැකියාව ද පෙරා ලබා ගන්නට ලලිත් සමත් වී ඇත. ලලිත් කිසිම විටක දෙබස් උපයෝගී කර චරිත හඳුනා ගන්නට ඉඩ සලස්වන්නේ නැත. චරිතයේ රංගන ස්වභාවයන් ඔස්සේ ප්‍රේක්ෂකයාට චරිතය ත්‍රිමාණිකව හඳුනා ගැනීමට ඉඩ සලසයි.

පාලිත පෙරේරාගේ සිනමා ඡායාරූපකරණය රූප සත්කාරය යනු කුමක් දැයි හදාරන විද්‍යාර්ථීන්ට අභ්‍යාස වැඩබිමකි. පාලිතගේ අඳුර හා ආලෝකය සංකලනය, කාල අවකාශ තරණය, දුර රූප, මැදි රූප හා සමීප රූප සංකලනය කාව්‍යමය රූප බසකි. පොළොව විෂකුරු වී ඇති බව හඟවන වියළී ගිය කුඹුරක් මතින් සමීප රූපයකින් කැමරාව ධාවනය කිරීම අපූරූ රූපමය උපක්‍රමයකි.

චාමර රුවන්තිලක නම් නවක සංගීත අධ්‍යක්ෂවරයා ගැන ද යමක් සඳහන් කළ යුතුය. කතා තේමාවේ අභ්‍යන්තර ගතිලක්ෂණ, චිත්‍රපටයේ රිද්මය හා ළය මනාව හඳුනාගෙන ඔහු සංගීතය නිර්මාණය කර තිබීම අනාගතය පිළිබඳව අප තුළ බලාපොරොත්තු දනවන්නකි. ඉහත සඳහන් පැදි පෙළ ගායනයේ දී ද ඔහු මුසු කරන වේදනාත්මක සංගීත ඛණ්ඩය චිත්‍රපටයේ සමස්ත ශෝකී බව මිටට හකුළාලන්නකි.

චිත්‍රපටය පුරා උච්චතම අවස්ථා (Climax) ගණනාවක් නිර්මාණය කරන ලලිත්ගේ තිර පිටපත ඒ සෑම අවස්ථාවකම ප්‍රේක්‍ෂකයා මංමුළා කරවයි. උච්චතම අවස්ථා ගිලිහී සාමාන්‍ය තත්ත්වයට පත් වන්නේ ප්‍රේක්ෂක සිතුවිලි පරාසයෙන්  පරිබාහිරවය. එය කිසියම් නාටකීය ගුණයක් හා ප්‍රේක්ෂකයා හා චිත්‍රපටය අතර අවිච්ඡින්න සම්බන්ධකමක් ගොඩනඟයි. චිත්‍රපටයේ අවසානය ද එබන්දකි. භාග සුළු කිරීමකට රුවන්සිරි හසු කර ගන්නට උත්සාහ කරන ගුරුවරයාට රුවන්සිරි සිය සීයාගෙන් උගත් වැලපුම් ගීතය ගායනා කරයි. මේ ප්‍රතිවිරෝධය (Contrast) ජීවිතය මෙබඳු යැයි අප සිතා සිටින දෙය කෙරෙහි අනෙක් අතට බලපායි. එය අපූරුය.

කෙසේ වෙතත්, ලලිත් රත්නායක නම් අධ්‍යක්ෂවරයාගේ පළමු සිනමා සම්ප්‍රාප්තියෙන් ම ඔහු කෙබඳු අධ්‍යක්ෂවරයකු වන්නේ දැයි තේරුම් ගැනීමට අපට ආලෝකයක් සපයයි. ඔහු රූපයෙන් සිනමාකරණයේ නියැළෙන, සිනමාවේ ප්‍රමුඛ සන්නිවේදන මාධ්‍ය වන්නේ රූපය බව අවබෝධ කර ගත් අධ්‍යක්ෂවරයෙකි. සිනමාවේ දී ඔහුට දෙබස් ද්විතීයික කාරණයක් වේ. එසේම ඔහු සිනමා කාව්‍ය රචකයෙකි. ඔහුගේ රූපමය බස කාව්‍යමය බස්වහරකි. අපව සිනමා ශාලාවේ අසුන් මත කෙළින් සිටවන්නේ මේ සෞන්දර්ය ගුණයයි. සිනමා නිර්මාණයකට මහා දිග කතන්දර අවශ්‍ය නොවන බව ‘‍විෂම භාග’ අපට කියා දෙයි. අවශ්‍ය වන්නේ ක්ෂුද්‍රමය වශයෙන් ජීවිතයේ අංශුවක් ගෙන ඒ මත නිර්මාණාත්මක පරිකල්පනයක් ගොඩනැඟීම පමණි. එයින් ජීවිතය යළි කියැවීමට ඉඩ සැලැසීමක් පමණි. ලලිත් රත්නායක සිය පළමු උත්සාහයෙන් ම එය අපූරුවට ජයගෙන ඇති බව ‘‍විෂම භාග’ උස් හඬින් සහතික කරයි.

කපිල එම්. ගමගේ

Leave A Reply

Your email address will not be published.

twenty − 4 =