බිඳුණු දුරකථනයේ නොබිඳුණු හිමිකරුවා

සෙනෙගාල් ජාතික කණ්ඩායම නියෝජනය කරන සාදියෝ මැනේගේ බිඳුණු දුරකථනය සමඟ වන පින්තූරයක් මුහුණු පොතේ සැරිසැරූ කතාවක් ‘ලංකා’ පිටු අතර රඳවන්නට තීරණය කළා. ප්‍රිමියර් ලීග් තරගාවලියේ රන් සපත්තුව දිනා ගන්නට තරම් වේගවත් ප්‍රහාරකයෙක් වන සාදියෝ, ප්‍රතිවාදී ආරක්ෂක බලමුළු කඩාබිඳ සුනුවිසුණු කරන්නට ඇති අපූරු හැකියාවට ඔහු දිනා ඇති සම්මාන, කුසලතා මෙන්ම ප්‍රිමියර් ලීග් තරගාවලියේ වේගවත්ම ගෝල ත්‍රිත්වයේ හිමිකරුවා වීමත් සාක්ෂි ලෙස දැක්විය හැකියි.

ඒ හිත්පිත් නැති ලෙස ප්‍රතිවාදීන්ට දැවැන්ත දරුණු පරාජයන් උරුම කර දෙන සාදියෝ, සිය ඉමක් නොපෙනෙන තරම් තෙතක් ඇති හදවතකින් සිය ජනතාව සිප ගන්නා අයුරු කෙතරම් අපූරු ද? ඒ නිසාම සාදියෝ මැනේ ගැන මුහුණු පොතේ සටහන ඒ ආකාරයෙන් ම මෙහි සටහන් කරන්නේ, ඒ සංවේදී බව පළමුව අකුරු කළ සංවේදී හදවතට එහි පූර්ණ ගෞරවය හිමි කර දෙමින්ය.

එමෙන්ම අපේ බොහෝ ක්‍රීඩකයන්ට පූර්වාදර්ශයක් වන්නට ය.

මේ බිඳී, ඉරිතැළී ගිය දුරකථනය කාගේ ද?

එය සාදියෝ මැනේගේ බැව් කී විට ඔබ එය විශ්වාස කළ යුතුය.

සාදියෝ, සෙනෙගාල් ජාතික පාපන්දු ක්‍රීඩකයකු බැව් නොදන්නේ නම්, ඔබ ඒ බව වහා දැනගත යුතුය.

ඒ දැන, පහත බිඳී ගිය දුරකථනයෙහි හිමිකරු වන ඔහු ලිවර්පූල් පාපන්දු කණ්ඩායම සමඟ මී ළඟ වසර පහ සඳහා ඇති කර ගත් ගිවිසුමෙහි වටිනාකම රුපියල් කෝටි 527.8ක් බව දැන, එය හෙමිහිට සිතට ධාරණය කර ගත යුතුය.

දැන් ඒ දුරකථනය දෙස වරක් බලමු ! යළිත් කියවමු.

මෙම මිනිසාගේ සතියක වැටුප රුපියල් කෝටි දෙකකි. අහා ! කෙතරම් සරල මිනිසෙක් ද? ඔබ සිතනා බැව් දනිමි. නමුත්, මෙහි ඊට එහා ගියා වූ කතාන්දරයක් ඇති බැව් ඔබ දන්නේ නැත. ඒ නොදන්නා වූ මිනිසත්කමෙහි කතාන්දරය පිළිබඳව ඔහුගේ  වචනයෙන් පැවසුව අපූරු. වසරක – දුක, සැප අඩු වැඩිව කැන්දූ, පුදුමාකාර වසරක – අගිස්සෙහි හිඳ ලියා තබාම ඊට සමු දෙන්නට සිතමි.

සාදියෝ ගේ හඬින්,  “මට සුඛෝපභෝගී මෝටර් රථ දහයක්, දියමන්ති ඔරලෝසු විස්සක් හෝ පෞද්ගලික ගුවන් යානා දෙකක් අවැසි වන්නේ ඇයි ? එවැනි වස්තු කන්දරාවක්, මට හෝ මා අවට ලෝකයට ඉටු  කරන කාරිය කිම ?

මම ඒ මුදලින් පාසල් ඉදි කළෙමි. ඔවුහු එහි අකුරු උගනිති. ක්‍රීඩාංගණ ඉදි කළෙමි. මට වඩා මතු දිනෙක හැකි වන පොඩිවුන් එහි දැන් ක්‍රීඩා කරති. දරිද්‍රතාවයේ අත්‍යන්ත මිරිකීමෙන් තැවෙන සෙනෙගාලයේ ඇතැම් ගම්මානවල හැම වැසියකුටම මසකට යුරෝ හැත්තෑවක් ලැබෙන පරිද්දෙන් මා ලබන වැටුප මම විසුරුවා හැරියෙමි. ඉන්, ඔවුහු වැරැහැලි උනා දමා අලු‍ත් ඇඳුම් අඳිති. කුස පිරෙන අහර කති. පොත් පත් ගනිති. ස්වයං රැකියා කරති. අවසානයේ ඉන් ඔවුහු සමස්ත සෙනෙගාල් ආර්ථිකයම පැතිකඩකින් ඔසවා ගන්නට වෙර දරති.

සුඛෝපභෝගී මෝටර් රථ දහයක්, මසකට වරක් මිල අධික නිවාඩු නිකේතන ගමනාන්තයක්, මිලෙන් ඔපවත් කළ නිවෙසක් හෝ පෞද්ගලික ගුවන් යානා දෙක තුනක් එහෙයින් මට අවැසි නැත. ඒ වෙනුවට ජීවිතය මට උපයා දුන් දෙයින් කොටසක් මම මගේම මිනිසුන්ට ලැබෙන්නට මාවත සකස් කර දෙමි.

දැන් නම් අලුත් දුරකථනයක් අවැසිය. ඊ ළඟ මසෙහි වැටුපෙන් කොටසක් මම ඊට වෙන් කර ගතිමි.”‍

සාදියෝ සිනාවක් මුවග රන්දා මාධ්‍යවේදියාට සමු දිණි!

මිතුරනි, ජීවිතය ඔබට උපයා දුන් දෙයින් කොටසක්, ඉන් බිඳුවක් වපුරා හරින්නට හැකි නොවන වසරක් උදා වී කුමට ?

මම ද එලෙසින් සිතා ගනිමි. සිත් දිරි මඳි වූ ආත්මාර්ථයේ වංකගිර අභියස කළු සුරතක රැඳුණු, බිඳුණු දුරකථනයක් දකිමි. ඔබ ද ඒ දැකිය යුතුමය.

ජීවිතය ඔබට, මට උපයා දුන් දෙයින් බිඳක් වපුරා හරිමු ! එවිට අපට, පෝලිමට සැම පැතූ සුභ නව වසර උදා වනු ඇත !

■  ජේ. නරේන්ද්‍ර

Leave A Reply

Your email address will not be published.

four × three =