කුම්භ ලංකාව සහ කුම්භාණ්ඩයෝ !

පසුගිය කාලය තුළ ජ්‍යෝතිෂ වැඩසටහන් ප්‍රචාරය නොකළ ජාතික රූපවාහිනී සේවය වාස්තු මිථ්‍යා වාණිජ වැඩසටහන ප්‍රචාරය කිරීම ආරම්භ කිරීමෙන් පසු ස්වාධීන රූපවාහිනී සේවය ද එම මඟ යමින් දෙසැම්බර් 26 වැනි දින සිට රාත්‍රී 10.00 සිට පැය දෙකක කාලයක් ‘තීරණය’ නමැති ජ්‍යෝතිෂ වැඩසටහනක් ප්‍රචාරය කරන ලදී. මෙය වාණිජ වැඩසටහනක් නොවූ අතර, එහි මාතෘකාව වූයේ ‘2020 ඔබට, රටට කොහොම ද?’ යන්නය.

මෙම වැඩසටහනට ජ්‍යෝතිෂඥයන් හතර දෙනකුට ආරාධනා කළ බව ද, එහෙත්, පැමිණ සිටින්නේ තුන් දෙනකු බව ද දැන් වූ නිවේදකයා එම අයගේ නම් දන්වා එදිනට වසර 15කට පෙර ඇති වූ සුනාමියෙන් ජීවිතක්ෂයට පත් වූ අය සමරනු ලැබීය.

ජ්‍යෝතිෂඥයන්ගෙන් එම අවස්ථාවේ දී ඇසිය යුතුව තිබුණේ, ඒ අයට සුනාමියෙන් සිදු වූ ඒ විශාල ජීවිත හානිය සහ විනාශය ගැන අනාවැකියක් කීමට නොහැකි වූයේ ඇයි ද යන්නය.

මෙයට පෙර ජ්‍යෝතිෂඥයන් මහින්ද රාජපක්ෂ ජනාධිපති වන බවට කළ ප්‍රකාශයෙන් පසු පසුගිය ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන බවට කළ ප්‍රකාශය ද වැරදී ගියේ ය. වැරදුණු විට එයට ද හේතු දැක්විය හැකි මේ කපටියන් ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස ගැන කළ අනාවැකිය වැරැදුණේ, ඔහුගේ ලග්නය වෘෂභ ද, මිථුන ද යන්න නිශ්චිත නොවූ නිසා බව ය.

විද්‍යාත්මක දැනුම මෙතරම් දියුණු කාලයේ දී මහජන මුදලින් යැපෙන රාජ්‍ය ආයතනයක් වන ස්වාධීන රූපවාහිනී සේවය 2020දී රටට සිදු විය හැකි දේ ගැන විමසිය යුත්තේ, විවිධ ක්ෂේත්‍ර ගැන විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ගෙනි.

ලංකාවේ දේශගුණය කවර අන්දමින් වෙනස් වේ ද යන්න ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයකුගෙන් විමසිය යුතුය. එම කාලගුණය අපේ කෘෂිකර්මයට බලපාන අන්දම ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයකුගෙන් විමසිය යුතුය. එසේ රටවැසියන්ට ප්‍රයෝජනවත් වැඩසටහනක් වෙනුවට ජ්‍යෝතිෂඥයන් යොදමින් ප්‍රචාරක කාලය අපතේ හරිමින්, මහජනයා මෙම මිථ්‍යාව කෙරෙහි නැඹුරු කරවීමට කරන ලද උත්සාහය ගැන අපි කනගාටු වෙමු.

මෙම වැඩසටහන නැරැඹීමේ දී මට ඇති වු ගැටලුව වූයේ අනාගතය කිව හැකි බවට උදම් අනන මෙම ජ්‍යෝතිෂඥයන් අතුරින් මෙම වැඩසටහනට නොපැමිණි ජ්‍යෝතිෂඥයාට එදින එයට සහභාගී වීමට නොලැබෙන බව කලින් ම දැනගත නොහැකි වූයේ ඇයි ද යන්නය.

ආරම්භයේ දී ග්‍රහලෝක ආදියෙන් මිනිසාට බලපෑම් සිදු වේ ද යන්න ගැන නිවේදකයා විසින් එක් එක් ජ්‍යෝතිෂඥයන්ගෙන් විමසූ විට ඔවුන් දුන් කිසිම පිළිතුරක් විද්‍යාත්මක නොවූ අතර, ඒවා විශ්වාස පමණක් විය. එක් අයකු විශ්ව ශක්තිය ග්‍රහයන්ට පැවරී ඉන් පසු ග්‍රහයන් මඟින් මිනිසාට ලැබෙන බවට ප්‍රකාශයක් කළේය. ජ්‍යෝතිෂය අවුරුදු ලක්ෂ ගණනක සිට පැවතෙන බව ප්‍රකාශ කළ ද, මිනිසාගේ ශිෂ්ටාචාරය ආරම්භ වී ගතව ඇත්තේ, අවුරුදු 15,000ක් පමණය. විශ්වයේ පවතින්නේ, ගුරුත්වාකර්ෂණය, විද්‍යුත් චුම්බක බලය, දුබල පරමාණුක බලය සහ ප්‍රබල පරමාණුක බලය යන බල හතර වුව ද, ඔහු සඳහන් කළේ නොදියුණු මිනිසා විශ්වාස කළ පංච මහා භූත බලවේග ගැනය.

තවත් ජ්‍යෝතිෂඥයෙක් ආධ්‍යාත්මිකභාවය, භව චක්‍රය යනාදී විශ්වාස ගැන ද, තුන්කල් දක්නා සෘෂිවරුන් විසින් ජ්‍යෝතිෂය සකස් කර ඇති බව ද, ජ්‍යෝතිෂය  ගවේෂණාත්මක විෂයයක් බව ද සඳහන් කළේය. තුන්වැනිව කතා කළ ජ්‍යෝතිෂඥයා ජ්‍යෝතිෂය බුදුදහමට ඈඳීමට උත්සාහ කළේ ය. ඔහු දැක් වූ අදහස වූයේ ජ්‍යෝතිෂය මඟින් කර්මය පැහැදිලි කරන බවය. සෙනසුරු ඒරාෂ්ටකය සමහර අයට ගුණදායක වන අතර, සමහර අයට එයින් අනතුරු සිදු වන බව ද, සෙනසුරු ශරීරයේ අස්ථි කොටස නියෝජනය කරන බව ද, මේ ආත්මයේ දී අස්ථි කොටස් බිඳෙන අය පෙර ආත්මයක දී යම් සතකුගේ අත-පය බිඳ ඇති බව ද, එය පල දෙන්නේ සෙනසුරු ඒරාෂ්ටක කාලයේ බව ද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේ දී එම ජ්‍යෝතිෂඥයාගෙන් ඇසිය යුතුව තිබූ එක් ප්‍රශ්නයක් නම්. යම් සතකුගේ අත-පය කැඩූ විට එය සිදු කළ තැනැත්තාගේ ඊ ළඟ භවයේ දී ඔහුගේ අත-පය කැඬේ නම්, එම සතාගේ අත-පය කැඩුණේ එම සතා විසින් පෙර භවයක යමකුගේ අත-පය කඩා ඇති නිසා ද යන්න ය. සතාගේ අත-පය කැඩූ මිනිසා සිදු කර ඇත්තේ, එම සතාගේ කර්මය පල දීමට උපකාර කිරීමක් නොවේ ද?

රටකට කේන්ද්‍රයක් ඇත් ද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ජ්‍යෝතිෂඥයන්ගේ මතය වූයේ ලංකාවේ ලග්නය කුම්භ බවය. යමකුගේ ලග්නය වශයෙන් දැක්වෙන්නේ යමකු ඉපදුණු වේලාවට නැඟෙනහිර ක්ෂිතිජයේ දක්නට ලැබෙන තාරකා සමූහයේ නමය. ලංකාව පෘථිවිය මත ඇති වූ අවස්ථාවේ ලග්නය දැනගත්තේ කවුරුන් ද යනු ප්‍රකාශ නොකළ මේ අය ලංකාව නිරක්ෂ රේඛාවට දක්වන සම්බන්ධකම මත එය නිගමනය කර ඇති බව දැන්වීය. කුම්භ රාශියට අධිපති ග්‍රහයා සෙනසුරු බව ද, එම නිසා ලංකාවේ කේන්ද්‍රයේ අයිතිකරු සෙනසුරු බව ද, ඔහු නිර්මාණකරුවකු බව ද, ඔහුට පැය 24 ම ශක්තිය ලබා දිය හැකි බව ද සඳහන් විය.

2020දී රටට සිදු වන දේ ගැන අදහස් දැක් වූ එක් ජ්‍යෝතිෂඥයකු සඳහන් කළේ ග්‍රහ යුද්ධ 11ක් අතුරින් පහක දී බුධ පරාද වූ බවත්, වර්ෂයේ දී සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ හයක් ඇති වන බවත් ආදිය ගැන මිස පලාපල ගැන නොවේ. තවත් අයකු ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයෙන් සිදු වූ දේශපාලන වෙනස තව දුරටත් ස්ථාවර තත්ත්වයකට පත් වන බවය. තව ද, 2020දී සෙනසුරු මකර ලග්නයට ගමන් කරන නිසා රටට සුබදායක බවය. ජාත්‍යන්තර බලපෑම්, නීතිමය බලපෑම්, නායකයන් අපේ රටට ඇඟිලි ගැසීම්, අත්අඩංගුවට ගන්නා අය ගැන ඇඟ කිලිපොළාගෙන යන තොරතුරු දැනගැනීම් ආදිය ගැන සඳහන් විය.

සූර්යග්‍රහණයෙන් සිදු විය හැකි පලාපල ගැන විමසූ විට ජ්‍යෝතිෂඥයන්ගේ අදහස් වූයේ ආර්ථිකයට හොඳ බව ද, ගස්වැල්වල ප්‍රබෝධයක් ඇති වන බව ද, ආගමික නායකයන්ගේ ප්‍රබෝධයක් ඇති වන බව ද, පාරිසරික වර්ධනයක් සිදු වන බව ද වශයෙනි.

විවිධ පාෂාණ වර්ග ද, මැණික් වර්ග ද පැළඳ සිටි එක් ජ්‍යෝතිෂඥයකුගෙන් ඒවා ගැන විමසූ විට ඔහු දුන් පිළිතුර වූයේ ඒවා පළඳින්නේ තම අභිමානය පෙන්වීමට බවයි. මේවා කර්මයට බලපෑම් නොකරන බවත්, එය ආභරණයක් පමණක් බවත් ය. එහෙත්, අපල දුරු කිරීමට විවිධ මැණික් වර්ග පැළඳිය යුතු බව ප්‍රකාශ කර එම මැණික් විශාල මුදලකට විකුණන ජ්‍යෝතිෂඥයෝ විශාල සංඛ්‍යාවක් අප රටේ සිටිති.

විචාර බුද්ධියෙන් යුතු එක් ප්‍රේක්ෂකයකු විසින් විමසන ලැබූ ප්‍රශ්නය වූයේ, රුවන්මැලි සෑයට අකුණු වැදීම වැළැක්වීමට අකුණු සන්නායකයක් යොදා ඇති නිසා ද, දේවාලවල සීසීටීවී සවි කර ඇති නිසා ද 2020දී ජ්‍යෝතිෂය වැනි දේ විනාශ වේ ද යන්නය. මෙයට එක් ජ්‍යෝතිෂඥයකුගේ පිළිතුර වූයේ, රුවන්මැලි සෑය මෙතෙක් පැවැතියේ ආදි කාලයේ දී සන්නායක නොදා තිබිය දී බවය. එහෙත්, පුරාවිද්‍යාඥ බෙල් මහතාගේ කාලයේ රුවන්මැලි සෑය පැවතුණේ පස් ගොඩක් වශයෙන් මිස ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ඇති වූ අද දක්නට ලැබෙන ස්වභාවයෙන් නොවන බව කිව යුතුය. දේවාලවල සීසීටීවී කැමරා යොදා ඇත්තේ, දෙවියන්ට ඕනෑ නිසා නොවන බව ද, එය ආරක්ෂා කිරීමට දෙවියන්ට අවශ්‍ය නැති බව ද එක් ජ්‍යෝතිෂඥයකුගේ අදහස විය. අපට ඇති ප්‍රශ්නය නම්, දේවාලයේ තබා ඇති වස්තුව ආරක්ෂා කිරීමට නොහැකි දෙවියන් ඔහුගෙන් පිහිට පතන අයට ආරක්ෂාව දෙන්නේ කෙසේ ද යන්නය.

2020දී රට ගැන වැදගත් කිසි ම කරුණක් ප්‍රකාශ කිරීමට නොහැකි වූ මෙම ජ්‍යෝතිෂඥයන් මෙවැනි සාකච්ඡාවකට කැඳවා ජ්‍යෝතිෂයට පණ දීමට උත්සාහ කළ ද, නූතන විද්‍යාත්මක දැනුම ප්‍රචාරය වීමත් සමඟ එය ළඟදීම ප්‍රතික්ෂේප වනු ඇත.

ඒ.ඩී. ගුණසේකර

හිටපු අධ්‍යක්ෂ,

පශ්චාද් උපාධි ගුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුව. ජාතික අධ්‍යාපන ආයතනය

Leave A Reply

Your email address will not be published.

19 − nine =